කොවිඩ් වසංගතය හමුවේ බෝ නොවන රෝග වර්ධනය ඉහළයි; ප‍්‍රතිකාර ලබා ගන්නවාට වඩා රෝගවලින් ආරක්ෂා වීමයි වැදගත්…

690

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි

කොවිඩ්-19 රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන හා මරණයට පත්වන වැඩි පිරිස බෝනොවන රෝගවලට ප‍්‍රතිකාර හෝ ඖෂධ ලබමින් සිටි අයය. එසේම, කොවිඩ් නිරෝධායන සංචරණ සීමා පවතින මේ සමයේ බෝනොවන රෝගවලට ගොදුරුවීමේ හැකියාවද ඉහළය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි මහත්මිය ‘දිවයින’ සමග කළ සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – කොවිඩ්-19 හා බෝ නොවන රෝග අතර ඇති සම්බන්ධතාව කෙබඳු ද?

පිළිතුර – කොවිඩ්-19 රෝගය හැදෙන්නේ ‘සාර්ස් කොවි-2’ (SARS CoV-2) වෛරසය ශරීර ගතවීම නිසයි. ඒ වෛරසයට එරෙහි ව ක‍්‍රියා කළහැකි ප‍්‍රතිශක්තියක් ශරීරය තුළ තිබුණොත් විතරයි වෛරසයෙන් වන හානි වළක්වා ගන්න ශරීරයට හැකියාව තියෙන්නේ. ඉතින් මේ ප‍්‍රතිශක්තිය අඩුවුණාම වෛරසයෙන් ශරීරයට හානි වෙනවා. කාලයක් තිස්සේ නිදන්ගත රෝගයක් ශරීරගතව තියෙන කෙනෙක්ගේ ප‍්‍රතිශක්තිය නිරෝගී කෙනෙකුට සාපේක්ෂව අඩුයි. බෝ නොවන රෝග ලෙස හඳුන්වන්නේ දියවැඩියාව, හෘද රෝග, දීර්ඝ කාලීන ශ්වසන රෝග – ඇදුම, වකුගඩු රෝග, පිළිකා යන ආදිය යි. මේ කියන පාලනය නොවූ බෝ නොවන රෝග තිබෙන අයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳුණු විට සංකූලතා ඇතිවීමේ හා මරණය සිදුවීමේ ප‍්‍රවණතාව වැඩි බව තහවුරු වී තිබෙනවා.

ප‍්‍රශ්නය – මෙතෙක් සිදු වූ කොවිඩ්-19 රොගීන්ගේ වාර්තා අනුව බෝ නොවන රෝග ඇති අය පිළිබඳ වාර්තා මොනවා ද?

පිළිතුර – මරණවලින් 60%ක් පමණ තහවුරු කරන ලද දීර්ඝ කාලීන රෝගවලින් විශේෂයෙන් ම බෝ නොවන රෝගවලින් පෙළෙන අය යි. ඒ අතරින් දියවැඩියාව 54%ක්, අධි රුධිර පීඩනය 52%ක්, හෘද රෝග 24%ක්, දීර්ඝ කාලීන වකුගඩු රෝග 19%ක්, දීර්ඝ කාලීන ශ්වසන රෝග 18%ක්, ආඝාතය 7%ක්, නිදන්ගත අක්මා රෝග 5%ක්, පිළිකා 8%ක් ලෙස දැනට වාර්තා වී තිබෙනවා. ඒ වගේම කොවිඩ්-19 රෝගයෙන් සිදු වූ මරණවලින් 75%ක් පමණ වයස 60 ට වැඩි අය යි. ඒ අය අතරින් 70%ක් පමණ ‘‘තහවුරු කරන ලද” බෝ නොවන රෝගවලින් පෙළෙන අය යි.

මේ නිසා බෝ නොවන රෝග සම්බන්ධව මෙම කොවිඩ්-19 වසංගත කාලය තුළ වෙනදාටත් වඩා දැඩි අවදානයක් යොමු කළයුතු වෙනවා.

ප‍්‍රශ්නය – බෝ නොවන රෝග ඇති අය කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද?

පිළිතුර – බෝ නොවන රෝගයකින් පෙළෙන රෝගියෙකුට කොවිඩ්-19 රෝගයකදි පෙන්නුම් කරන රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගත යුතුයි. ඔවුන් වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් හා නියමිත ඖෂධ ලබාගැනීමෙන් තම රෝගය පිළිබඳ ප‍්‍රශස්ත පාලනයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. ප‍්‍රශස්ත රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීම, රුධිර පීඩනය පාලනය කිරීම, ඩයලිසිස් කරන රෝගීන් නියමිත කාලසීමාව තුළදී ඩයලිසිස් අඛණ්ඩව සිදුකළ යුතු අතර වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් කල් නොදැමිය යුතුයි.

දැන්ටමත් බෝ නොවන රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට නිර්දේෂ කර ඇති බෙහෙත් නිර්දේශ පරිදි ලබා ගත යුතුයි. දැනට රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න රෝගීන්ට මෙම ලොක්ඩවුන් කාලය තුළ තැපැල් මගින් බෙහෙත් ලබාදීම සිදු කෙරෙනවා. මාස දෙකකට සෑහෙන පරිදි සායනවලින් බෙහෙත් නිකුත් කරනවා. තැපැල් මගින් බෙහෙත් නොලැබුණු කෙනෙක් සිටී නම් රෝහල/ සායනය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඒ බව දන්වන්න පුළුවන්. තැපැල් මගින් බෙහෙත් නොලැබුණු කෙනෙක් සිටීනම් දිනපතා බෙහෙත් නිකුත් කිරීමට රෝහල්වල කවුළුවක් වෙන්කර තිබෙනවා. එය වෙත පැමිණ බෙහෙත් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා. වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කිරීමට සහ රසායනාගාර පරීක්ෂණ කර ගැනීමට අත්‍යවශ්‍ය රෝගීන් හට සායනයට පැමිණිය හැකියි. එලෙස අත්‍යවශ්‍ය නොවන රෝගීන්ගේ පවුලේ අයෙකුට හෝ රැුකබලාගන්නෙකුට සායනයට පැමිණ ඖෂධ ලබා ගත හැකියි. සායනයේ පොත ඉදිරිපත් කර නිවසට ළඟම ඇති රෝහලෙන් ඖෂධ ලබා ගන්නත් පුළුවන්.

දියවැඩියා රෝගීන්ගේ රුධිර පීඩනය හා රුධිරයේ සීනි පරික්ෂාව ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා රෝහල්වල බාහිර රෝගී අංශ තුළ වෙනම ස්ථානයක් (Front Desk) පිළියෙල කර තිබෙනවා.

රෝහල් සායනවලින් බෙහෙත් ලබා ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳ දැනගැනීමට විශේෂ දුරකථන අංක (0720720720 හා 0720606060) ක‍්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය අංශ මේ අය ගැන මේ තරම් උනන්දු වන්නේ කොවිඩ්-19 රෝගය මේ රෝගීන්ට බොහෝ අවදානම් නිසයි. මෙවැනි රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම වැළැක්වීම සඳහා මද්‍යසාර, දුම්කොළ භාවිතය, අධික ලූණු සහ සීනි පරිභෝජනය වැනි අවදානම් සහිත හැසිරීම් මඟහරවා ගැනීමටත් කටයුතු කළ යුතුයි.

ප‍්‍රශ්නය – නිරෝධායන සංචරණ සීමා සමයේ බෝ නොවන රෝග වැඩිවීමේ ප‍්‍රවණතාවක් තියෙනවා නේද?

පිළිතුර – මේ කාලයේ දී මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සැලකිය යුතු ලෙස අඩාල වී තිබෙනවා. බෝ නොවන රෝග සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමත් අභියෝගයක් වී තිබෙනවා. සංචරණ සීමා හා නිවසේ සිට වැඩ කිරීම නිසා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ලබා ගැනීම (සීනි, ලූණු, තෙල් අධික ආහාර*, දුම්කොළ සහ මද්‍යසාර භාවිතය වැඩි වීම සහ උදාසීන ජීවන රටාවක් අනුගමනය කිරීම ඇතුළු අයහපත් ජීවන රටාවන් වැඩිවී තිබෙනවා.

මේ කාලයේ බොහෝ අය දුම්පානයට වෙනදාට වඩා යොමුව තිබෙනවා. දුම්පානය නොකරන පුද්ගලයන් හා සසඳන විට දුම්පානය කිරීමේ ඉතිහාසයක් තිබීම නිසා කොවිඩ්-19 රෝගීන් සඳහා අහිතකර සෞඛ්‍ය ප‍්‍රතිඵල ඇතිවීමේ ඉඩකඩ සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

මත්පැන් භාවිතය, විශේෂයෙන් එය අධිකව භාවිත කිරීම නිසා ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එමඟින් වෛරසයකින් බෝවන කොවිඩ්-19 රෝගයට මුහුණ දීමේ හැකියාව අඩු කරනවා.

පිෂ්ඨය, සීනි, ලූණු, මේදය/තෙල් අධික වීම, පලතුරු හා එළවළු අඩු වීම බෝනොවන රෝගවලට හේතු වන අතර ම බෝනොවන රෝග පාලනය කර ගැනීම දුෂ්කර වෙනවා. දිනකට ලූණු ආහාරයට ගැනීම ග‍්‍රෑම් 5කට වඩා අඩුවිය යුතුයි. අධික සෝඩියම් රසකාරක (උදා. සෝස්), සීනි පරිභෝජනය දිනකට ග‍්‍රෑම් 30කට සීමා කළ යුතුයි. සීනි අධික සිසිල් බීම සහ අනෙකුත් පැණි බීම ගැනීම සීමා කළ යුතුයි. (උදා: රස කිරි, යෝගට් බීම ආදිය). මේදය සහ තෙල් මධ්‍යස්ථ ප‍්‍රමාණයක් අනුභව කළ හැකියි. ගෙවතු වගාවේ යෙදීම, නිවසේදී පලතුරු සහ එළවළු වගාකිරීම ගොඩාක් හොඳයි.

මිනිසුන්ට ‘නිවසේ රැඳී සිටින ලෙස’ උපදෙස් දෙන විට, මිනිසුන් වාඩි වී සිටීමට, සැලකිය යුතු කාලයක් තිරයක් ඉදිරිපිට ඒකාකාර ව රැුඳීසිටීම (රූපවාහිනිය, ජංගම දුරකතන, පරිගණක) ශාරීරිකව ක‍්‍රියාශීලි නොවන උදාසීන හැසිරීම්වල යෙදීම ඉතාමත්ම හානිකරයි. මෙවැනි පිළිවෙත් නිසා බෝනොවන රෝගවලට ගොදුරු වෙනවා.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාවේ බෝ නොවන රෝග, හානිදායක තත්ත්වය හා විකාශනය කෙබඳු ද?

පිළිතුර – වසර ගණනාවක් පුරාවට ශ‍්‍රී ලංකාවේ බෝ නොවන රෝග ක‍්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2016 වර්ෂයේදී මෙරට සිදු වූ මුළු මරණවලින් 83%ක්

සඳහා වගකිව යුත්තේ බෝ නොවන රෝග යැයි ගණන් බලා තියෙනවා. හෘද වාහිනී රෝග 34%ක්, පිළිකා 14%ක්, නිදන්ගත ශ්වසන රෝග 8%ක්, දියවැඩියාව 9%ක් සහ අනෙකුත් බෝ නොවන රෝග 18%ක් ඒ අතර වෙනවා. හෘද රෝග යනු ශ‍්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සඳහා අංක එකේ හේතුවයි. ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් වයසට යන ජනගහනයක් සිටින අතර වයසට යෑම බෝ නොවන රෝග වර්ධනය සඳහා හේතුවන සාධකයක් බවට පත්ව තිබෙනවා.

ප‍්‍රශ්නය – බෝ නොවන රෝග සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකර තිබෙනවා ද?

පිළිතුර – ඔව්. ශ‍්‍රී ලංකාවේ බෝනොවන රෝගවල ව්‍යාප්තිය සහ ඒවායේ අවදානම් සාධක තක්සේරු කිරීම සඳහා වයස අවුරුදු 18-69 අතර පුද්ගලයින් 5188ක් අතරින් STEPS සමීක්ෂණ (සෞඛ්‍ය අමාත්‍යයංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව වසර 5 කට වරක් සිදුකරන සමීක්ෂණ) 2015 දී පවත්වනු ලැබුවා. මෙම සමීක්ෂණයට අනුව, අවුරුදු 40-69 අතර වයසේ පසුවන. ශ‍්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් 9.1% කට බෝ නොවන රෝගයක් තිබෙන අය හෝ නැතිනම් අවුරුදු 10 ක් ඇතුළත හෘද රෝගයක් හෝ අංශභාගය වැළඳීමට ඇති අවදානම 30%කට වැඩි අය බව එයින් සොයා ගැනුනා. STEPS සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 26% කට අධික රුධිර පීඩනය හෝ අධි රුධිර පීඩනය සඳහා ඖෂධ ලබා ගන්නා අතර, 23.7% කට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක් ඇති බවත්, 7.4%ක් නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක් ඇති බවත් සොයා ගැනුනා.

2015 දී සිදු කළ මෙම STEPS සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් 46%ක් දුම්කොළ නිෂ්පාදන භාවිතකරන අතර, ශ‍්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් 35%ක් මද්‍යසාර පරිභෝජනය කරන බව හෙළිදරව් වුණා. ශ‍්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 73%ක් ප‍්‍රමාණවත් පලතුරු සහ එළවළු පරිභෝජනය නොකරන බවත්, 26%ක් පමණ ලූණු සහිත සැකසූ ආහාර අනුභව කරන බවත් එයින් සොයා ගැනුනා. එසේ ම ශ‍්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් 30.4%ක් ශාරීරිකව ක‍්‍රියාශීලි නොවන අතර ශ‍්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් 25%ක් සහ ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගෙන් 34%ක් අධික බරින් (BMI> 25kgm2) යුක්ත බවත් එම සමීක්ෂණයෙන් හෙළිදරව් කෙරුණා.

ප‍්‍රශ්නය – බෝ නොවන රෝගවලින් වැළකීම සඳහා ජනතාව අනුගමනය කළයුත්තේ මොනවාද?

පිළිතුර – සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්

අනුගමනය කළයුතු වෙනවා. දුම්පානය හා මත්පැන් පානයෙන් මුළුමනින් ම වැළකී සිටීම අත්‍යවශ්‍ය යි. හැකිතාක් සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම, ලූණු සහ සීනි අඩුවෙන් කෑමට ගැනීම, තෙල් සහිත ආහාර සීමා කිරීම, ශරීරයට අහිතකර ආහාර (ක්ෂණික ආහාර, සැකසූ ආහාර හා කෙටි ආහාර) ගැනීමෙන් වැළකීම, අවම වශයෙන් දිනකට ජලය වීදුරු 6-8ත් අතර ප‍්‍රමාණයක් පානය කිරීම, පැණි බීම ගැනීමෙන් වැළකීම, සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ නිවසේ සිටියදී ක‍්‍රියාශීලි වීම, ශාරීරික අභ්‍යාස කිරීම, වැඩි වෙලාවක් එක දිගට හිඳගෙන රූපවාහිනිය නැරඹීම, පරිගණකය හා ජංගම දුරකථන භාවිතය නො කිරීම අත්‍යවශ්‍ය යි. මිනිත්තු 30කට වරක් නැගිට අත් පා දිග හැරීම, එකතැන ඇවිදීම, පියගැට පෙළ නැගීම වැනි කෙටි ක‍්‍රියාකාරකමක යෙදිය යුතුයි. නිවසේ හෝ නිවස අවට මිදුලේ ඇවිදීම කළ හැකියි. නිවසේ සාමාන්‍ය වැඩ වන අතු ගෑම, පිරිසුදු කිරීම, රෙදි සේදීම, ගෙවත්තේ වැඩෙහි යෙදීම, දරුවන් සමග ක‍්‍රීඩා කිරීම වඩාත් සුදුසුයි. අවුරුදු 6-17 අතර ළමුන් සහ නව යොවුන් දරුවන් දිනකට අවම වශයෙන් විනාඩි 60 ක්වත් ශාරීරික ව ක‍්‍රියාශීලීව සිටිය යුතු අතර වයස අවුරුදු 18 ට වැඩි වැඩිහිටියන් අවම වශයෙන් සතියකට මිනිත්තු 150 ක් (දිනකට මිනිත්තු 30 ක් සහ සතියේ දින 5 ක්* සතිය පුරාම ශාරීරික ක‍්‍රියාකාරකම් කළ යුතුයි. දිනකට අවම වශයෙන් පැය 6 සිට 8 දක්වා ප‍්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් අවශ්‍ය යි. යෝගා සහ භාවනා ක‍්‍රියාකාරකම්වල යෙදීම වඩාත් සුදුසුයි.

ප‍්‍රශ්නය – කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වීමට බෝනොවන රෝගවලින් පෙළෙන අයට එන්නත්කරණයෙන් වාසි තිබෙනවා ද?

පිළිතුර – කොවිඩ්-19 රෝගයෙන් මියගිය 88%ක් දෙනා එන්නත් නොගත් අයයි. එයින් 10% ක් පිරිස එන්නතේ පළමු එන්නත් මාත‍්‍රාව පමණක් ගත් අයයි. 2%ක් මාත‍්‍රා දෙක ම ලබාගෙන නැහැ. දැනටමත් බෝ නොවන රෝගී තත්ත්වයෙන් පෙළෙන අය එන්නත් ලබාගෙන නැත්නම් ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලබාදෙන එන්නත

ලබාගැනීම ඉතාම වැදගත් වෙනවා. එන්නත් කරන ස්ථානය වෙත යෑමට අපහසු එකතැන් වූ රෝගියෙක් වේ නම් ඒ බව ඔබ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතා වෙත දැනුම් දුනහොත් නිවසට පැමිණ එන්නත ලබා දීමටත් දැන් අවකාශ සලසා තිබෙනවා.

සාකච්ඡා කළේ
තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment