සාකච්ඡා කළේ-
අමරනන්ද විජේසේකර
ඕනෑම ව්‍යසන අවස්ථාවක දී රටේ අධ්‍යාපනය බිඳ වැටීමකට ලක් නොවී පවත්වාගෙන යෑමට නම්, අධ්‍යාපනය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් අනිවාර්යෙන් ම තිබිය යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායක මහතා සඳහන් කරයි. මේ වනවිට රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට එල්ල වී ඇති බලපෑමේ අහිතකර ප‍්‍රතිඵල රටට අත්විඳීමට සිදුවන්නේ ඉදිරි දශක දෙක තුළ දී බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දිවයින සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ප‍්‍රශ්නය :- වර්තමානයේ කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අප රටේ අධ්‍යාපන රටාව ගැන සඳහන් කළොත් ?
මෙය සමස්ත පෘථිවි තලයටම උදාවුණ තත්ත්වයක්. මේ ”ඛේදවාචකය” කියන වචනය අපි හැමදාම හඳුනාගෙන තිබුණේ පෘතුවියට වෙන ව්‍යසනයන් හැටියට මානව කියන කෝණයේ ඉඳලා. හැබැයි මේ සියලූ කෝණයන් හමුවේ මේ මහ පොළොවට විනාශයන් එක් කරන එකම සත්ත්වයා මිනිසා ය. එය අප අවබෝධ කරගත යුතුයි. නමුත් මිනිසුන්ට ප‍්‍රථම වතාවට විශාල බලපෑමක් එල්ල වූයේ මේ කොවිඞ් වසංගත තත්ත්වයි. මේ කොවිඞ් වසංගතය පිළිබඳව අපේ මත දෙකක් තිබෙනවා. අපිම හිතනවා මේක සොබාදහමෙන් ඇති වෙච්චි දෙයක් කියලා. අනිත් එක තමයි මේක මිනිසුන් විසින් රසායනාගාරයක් තුළ උත්පාදනය කළ රසායනික අවියක් කියල. හැබැයි මේ කාරණා දෙකම සම සමව මේ ලෝකේ තියෙනවා. නමුත් අපි මේ මානව පරිණාමයත් එක්ක එහෙම නැත්නම් මේ සමස්ත ලෝකයේ සොබාදහම එක්ක ගත්තම ඒක අත්යන්තයෙන් ඇතිවෙච්ච දෙයක් වුවත්, මිනිසුන් විසින් සිදුකළ දෙයක් වුවත් , මේ දෙකම මම නම් දකින්නේ සොබාදහමේ ප‍්‍රතිඵලයක් හැටියට. ඒ කියන්නෙ මිනිස්සු සහ මිනිසුන්ගෙ චේතනා කියන මේ දෙකම අයිතිවෙන්නෙ මේ ඉරහඳ අහස යටට. මෙය එක් විදිහකට තුන්වැනි ලෝකේ යුද්ධයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒතරම් ව්‍යසනයක්. සමහරවිට යුද්ධයකින් පහරදීම් ඇතිවන තත්ත්වයට වඩා මේ වෛරස් එකෙන් මිනිස්සු මරලා තියෙනවා. එතකොට දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ අත්දැකීම් අපට විඳින්න සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මේ සියලූ දේවල් අතර දීර්ඝ කාලීන ප‍්‍රතිඵල ලබන්න වෙන කාරණය බැලූවොත් ඒ තමා අධ්‍යාපනය කියන එක.
හැබැයි අනිත් දේවල් අපට සමනය කරගන්න, තුලනය කරගන්න ඒවා නැවත හදාගන අපට අවස්ථාව තියෙනවා. කෘෂිකර්මය වැනි මාතෘකාවක් ගත්තොත් අපට නැවත එම තැනට එන්න පුළුවන් වෙයි. නමුත් අධ්‍යාපනය ගැන ගන්නකොට නැවත එම තැනට එන්නනොහැකි වෙයි. අපි සාමාන්‍යයෙන් හෝඩිය පන්තියට ඇතුළු කරන ළමයෙක් එයාගේ ප‍්‍රතිඵල අපි රටට උදා කර ගන්නේ දශක දෙකකට පස්සේ. එතකොට මේ කොවිඞ් වසංගතයේ නියමාකාර ප‍්‍රතිඵල, අනිසි ප‍්‍රතිඵල අපට අත්විඳින්නට වෙන්නෙ විශේෂයෙන් අපේ වගේ රටකට දැනෙන්න ගන්නේ තව දශක දෙකකට පස්සේ.
ප‍්‍රශ්නය :- කොවිඞ් වසංගත තත්වත්වය හමුවේ අධ්‍යාපන කටයුතු පවත්වා ගැනීමට නොහැකිව වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්බද දරුවන් ය. එම විෂමතාවය කුමන ආකාරයට ද දකින්නේ, ඒ වගේම සමස්ත ලෝකයට බලපාන ආකාරය සඳහන් කළොත් ?
පිළිතුර :- කොවිඞ් වසංගත තත්ත්වය නිසා ලෝකය නතර වෙලා කියලා කොටසක් හිතාගෙන ඉන්නවා. තව කොටසක් හිතනව නෑ ලෝකය ගමන් කරනවා කියලා. හැබැයි මේ නතර වෙලා තියෙන්නෙ නැති බැරි අයට. ආර්ථික වශයෙන් විවිධ දරිද්‍රතා තියෙන ආදායම් අඩු දුගී අයටයි. අපේ රටේ ගත්තොත් කොළඹ අගනුවරින් ඈත ප‍්‍රදේශවල ජීවත්වන අයට ලෝකය නතර වෙලා . එතකොට ඒ දරුවෝ ගෙවල්වල හිරවෙලා ඉන්නවා. ඒ අම්මලා හිතනවා කවදහරි දවසක පාසල් විවෘත වෙයි කියලා. හැබැයි මේ ගමන් කරනව කියන එක දැනීමේ ප‍්‍රතිශතය ඉතාම අඩුවෙන් දැනෙන පිරිස තමයි ඇති හැකි, ආදායම් හොඳ, තාක්ෂණික උපාංග පහසුකම් තියෙන අපේ රටේ නම් කොළඹ අවට, අගනුවර තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වන, තාක්ෂණික ගැටලූ නොමැති, ගල් උඩ, කඳු උඩ, ගස් උඩ අට්ටාල හදාගන්න අවශ්‍ය නැති පිරිසයි. හැබැයි කොළඹ තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වන අය පවා යම් ගැටලූවලට මුහුණ දෙනවා.
මේ කාරණයේ දී සමස්ත ලෝකය දෙස බැලූවම ලෝකයේ දියුණු , නොදියුණු, දියුණු වෙමින් පවතින රටවල තියෙන පහසුකම් ගත්තම සියයට හැටතුනකට නිවාසවලට මේ මාර්ගගත ක‍්‍රමයට ප‍්‍රවේශ වීමට පහසුකම් නෑ. මේ අනුව මාර්ගගත ක‍්‍රමය සූදානම් කළාට ලෝකයේ ම අඩු ප‍්‍රතිශතයක් තමයි තියෙන්නෙ. එහි දී ඇමෙරිකාව, චීනය, ජපානය, එංගලන්තය, ප‍්‍රංශය වැනි දියුණු ප‍්‍රභල බලවතුන් හා අපි සංසන්දනාත්මකව සලකා බලද්දී මම වගකීමෙන් කියනවා අපේ රටට ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නෑ කියලා. ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් කියන්නේ ඇමැතිවරයකුට, මන්ත‍්‍රීවරයකුට හෝ යම් කණ්ඩායමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක සමස්ත රටේ නියෝජනයක් වන්නට ඕන. මේ සමස්ත ලෝකයත්, මානව පරිණාමයත් එක්ක ගත්තහම ශ‍්‍රී ලංකාවේ යටත් විජිත යුගයෙන් පසු අධ්‍යාපනයේ මූලික ඓන්ද්‍රීය සාධකය වූයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර අධ්‍යාපන පනතයි. ඒ අධ්‍යාපන පනතෙන් පසුව අධ්‍යාපන අමාත්‍යවරු කොච්චර පත්වුනත්, කොතරම් ප‍්‍රතිසංස්කරණ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇති වුවත්, මේ තමයි මේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වුණ ප‍්‍රථම අරගලය සහ ජයග‍්‍රහණය. එතකොට මම කලින් සඳහන් කළා වගේ මේ ව්‍යවසන තත්ත්වය මත අවුරුදු විස්සකට පස්සේ ඒ කියන්නෙ දශක දෙකකට පස්සේ අපිට ලැබෙන අනිසි ප‍්‍රතිඵල ගැන කියපු කාරණය මම අනිත්පැත්තට දකිනව. එදා ඇති කළ නිදහස් අධ්‍යාපන පනතේ අවසන් ඵල නෙළාගන්නා අවධියේ මේ අපි ඉන්නෙ. දැන් මේ මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉන්න පිරිස ඒ වගේම අමාත්‍යාංශවල ලේකම් ධුර දරන මේ රටේ ඉහළ පරිපාලනමය තානාන්තර දරන පිරිස තමයි නිදහස් අධ්‍යාපනයේ අවසන් හෙවනැලි. අපෙන් පස්සේ ඒක වියැකී යනවා. ඊට පස්සේ මොන වගේ තත්ත්වයක් උදාවෙයි ද දන්නෑ. එතකොට යුග වශයෙන් ගත්තහම පැරණි , නූතන සහ පශ්චාත් නූතන අවධියේ කියන එකේ තමයි අද අපි ඉන්නෙ. එතකොට පශ්චාත් නූතන අවධියේ දරුවෝ කියල කියන්නෙ ඒ ගොල්ලො ඩිජිටල් නේටිවුස්ලා. ඒ අය පතපොත කියවන පත්තර බලන අය නෙවෙයි. ඒ ගොල්ලො ඩිවයිස්වලින් ලෝකය දකින අය. ඒක රූප ලෝකයක්. ඒක ස්මාර්ට් අවධියක් එතකොට ලෝකය ස්මාර්ට් අවධියේ ඉන්නකොට තමයි මේ ව්‍යසනය ඇතිවුණේ. එතකොට මේ ඇතිවීම අපි එදා ඉඳල අද දක්වාමත් හෙටත් මම හිතන්නෙ දියුණු වෙමින් පවතින රටක් හැටියටයි. එදා අපි ජයග‍්‍රහණයෙන් අත්පත් කරගත්තු විලස ඒ කියන්නෙ නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ආසියාතික ලෝකයේ අපි ප‍්‍රභල ස්ථානයක සිටියා. අපි ජපානයටත් ආධාර දීල තියෙනව. එංගලන්තයට ආධාර දීල තියෙනවා. එතකොට ඒ රටවල්වල සහසම්බන්ධතා දිහා බලපුවම අපි ආසියාවේ දියුණු ජාතියක් විදිහට හිටපු පිරිසක්. නමුත් ක‍්‍රමානුකූලව අපි ඒකෙ අඩියටම බැහැල තියෙනවා. ඒකට හේතුව තමයි අනිත් රටවල් දියුණුවීමට උත්සාහ කරන ප‍්‍රධාන සාධකය හැටියට, අධ්‍යාපනය සඳහන් කළ හැකියි. ඒක මම උදාහරණයක් හැටියට දැක්වුවහොත් ජපානය වාගෙ රටක් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මේජි ( meigi) ප‍්‍රතිසංස්කරණය එක්ක තමයි ඒ ගොල්ලො 18 වැනි සියවසේ මධ්‍යභාගයේ අනාගතය සඳහා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය සකස් කළේ. මේජි ( meigi) ප‍්‍රතිසංස්කරණය යටතේ වැඩිපුරම මුදල් වැය කළේ අධ්‍යාපනය සඳහාය. ඉන් වැඩිපුරම යොදන්නේ මිනිසුන්ගේ මානවීය දේවල් සඳහා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මිනිසුන්ගේ බිඳුණු සිත් හදන්නට. ඔවුන්ගේ ගුණ වැඩි කරන්න. ඒකට තමයි ඒ අය සෞන්දර්යය අධ්‍යාපනයට වැඩිපුර ප‍්‍රතිශතයක් වියදම් කළේ. ඒ විදිහට තමයි ජපානය ලෝකයේ හිනි පෙත්තටම නැඟ්ගේ. එතකොට අපිත් ජපානයත් එක්ක සමසමව හිටපු අවධියක ඒ අය ජයග‍්‍රහණය කරා ළඟාවුණේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති එක්ක. නමුත් අපිට බැරිවෙලා තියෙනව නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ අවම වශයෙන් ඊට ආසන්න තත්ත්වයකටවත් ළඟා වෙන්න. හැබැයි ඔබට මට ඕන තරම් අත්දැකීම් තියෙනව සුපිරි පාසල්, සපිරි පාසල්, නවෝද්‍යා, මහින්දෝදය මේවා සියල්ල එක එක දේශපාලන පක්ෂවලට ජනප‍්‍රිය වෙන්න හදපු ව්‍යාපෘති. ඒ ඒ පක්ෂවලට කේන්ද්‍ර වුණ ව්‍යාපෘති. හරියට මේව විනෝදාංශ වගේ දේවල් .මේව ජාතික තලයේ දේවල් නෙවෙයි. නමුත් රටක නිදහස් අධ්‍යාපනය සමස්ත රටට ම දැනුණු දෙයක් එහි ඵල අවසන් වශයෙන් නෙළා ගන්නවා. ප‍්‍රශ්නය ඔබත් මමත් ඒ යුගයට වැටෙන අය. ඒවායේ හෙවනැලි වගේ ඉන්න අයගෙන් තමයි ඔබ මේ ප‍්‍රශ්න කරන්නෙ. එහෙම නොවී සමස්ත රටටම ගැළපෙන අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් කරන්න අවශ්‍යය යි. ඒක මේ රටේ තාමත් වෙලා නෑ. ඒක වෙලා නැති නිසා කොවිඞ් වසංගතය තුළ අපිට විවිධ අංශවලින් දැනෙන දේවල් වැඩියි. අපේ බඩට ,පොකට් එකට දැනෙන්න හේතුවෙලා තියෙන්නෙ අපි එදා ඒකට සූදානම්කර නොතිබීම.
ලෝකයේ වෙනත් රටවල් මේ වගේ ව්‍යසනවලට පෙර සූදානමක් තියෙනවා. නමුත් අපි ඒ තත්ත්වයට එන්න අසමත් වෙලා තියෙන්නේ අතීතයේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස් නොවුණ නිසා.
ප‍්‍රශ්නය :- ඔබතුමා සඳහන් කරන ආකාරයට සමස්ත ලෝකයේම මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපන රටාව පවත්වාගෙන යන්නේ සියයට හතළිහක් පමණ, ඒ අනුව සියයට හැටකට පහසුකම් නෑ. ඒ හිදැස පුරවන්න මොනවගේ ක‍්‍රමයක්ද අනුගමය කරන්න වෙන්නෙ ?
පිළිතුර :- මේ මාර්ගගත ක‍්‍රමය කියන එක ධනපති සංකල්පයක්. ඇති හැකි අයගේ සංකල්පයක්. ඒක හොඳටම ලබාගන්න පුළුවන් ඒ අයට.
අපේ රටේ බැලූවොත් ගිරාදුරුකෝට්ටේ, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය ඒ ප‍්‍රදේශවල අපි දකිනවා දරුවෝ ගලක් උඩට ගොඩ වෙනවා, සිග්නල් ලබාගන්න. සතුන්ගෙන් බේරෙන්න පැල්පත් හදනව වගේ අවදානම් තත්ත්වය නොබලා ගස්වල පැල්පත් හදලා ඒව උඩට නඟිනවා. සමහර අයට ස්මාර්ට් ෆෝන් නෑ. සිග්නල් තිබුණත් ඬේටා ගන්න මුදල් නෑ. කොවිඞ් වසංගතය හේතුවෙන් නිවසකට ගිහිල්ලා ඒ උදව්ව ගන්න බැහැ. මේ වගේ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තියෙන්නේ. මේ සංකල්පය ග‍්‍රහණය කරගන්න දරුවන්, දෙමාපියන් විශාල අරගලයක නිරත වෙනවා. රජය ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යය යි.
ප‍්‍රශ්නය :- මහාචාර්යතුමනි, පාසල්වලින් කියනවා විෂය නිර්දේශ ආවරණය කරලා ඉවරයි කියලා. විභාග ක‍්‍රියාවලිය සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විභාග තියෙනවා එතකොට දැන් අපි කතා කරපු දෙහිඅත්තකණ්ඩිය ,අම්පාර වැනි ප‍්‍රදේශවලට ලොකු අසාධාරණයක් වෙනවා ඒකට මොකක්ද ගන්නා පියවර ?
පිළිතුර :- හොඳ ප‍්‍රශ්නයක්, මේ පුංචි රටේ එහි පරිපාලනය කියන එක ගත්තම ජනාධිපතිවරයාගේ ඉඳන් ගමේ ග‍්‍රාමසේවක දක්වා අපිට තනතුරු කොච්චර තියනවද. අධ්‍යාපනය කියන තේමාව ගත්තොත් අධ්‍යාපන ඇමැතිගේ ඉඳන් වගකිවයුතු අමාත්‍යවරු කීදෙනෙක් ඉන්නව ද? අද අපිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අමාත්‍යාංශ කීයක් තියෙනවද? ඒ වගේම පළාත් සභාව අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මේ වගේ විශාල තානාන්තර ගොඩක් තියෙනවා. මේවායේ වගකිවයුතු නිලධාරීන් විශාල පිරිසකට අද කෝටි කීයක් වියදම් කරනවද? අද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ වැටුප ලෝකයේ දියුණුම රටක වැටුපට වඩා ලොකු වෙනසක් නෑ. ඒ වැටුප මමත් ගන්නවා. මම යෝජනා කරනවා පවතින ව්‍යයසනය හමුවේ රජයට අපට මුළු වැටුප ගෙවන්න එපා කියලා. කොහොමද මේ රට කරන්නේ. අද කවුරුත් ඒව දන්නෑ. අද මේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ ඉහළම තානාන්තර දරන අයට ඉහළම වැටුප් ලැබෙනවා. හැබැයි ඒගොල්ලෝ නිහඬව ගෙවල්වලට වෙලා ඉන්නවා. මේ රටේ අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසක් ඉන්නවා. ඒ අය සඳහා හඬක් නැෙඟන්නේනෑ. කීපදෙනෙක් පමණක් ඉදිරිපත් වෙනවා. මට පුදුමයි කොහොමද මේ මුදල් අච්චු ගහලා හරි මේ මුදල් ගෙවන්නේ. ඒ නිසා මම කියන්නේ අද අපෙන් ඉටුවන යුතුකම් සහ වියදම් අඩු වෙලා තියෙනවා. වෙනද තරම් මගේ වාහනයට තෙල් ගහන්නෙ නෑ. මට යම් යම් දේවල්වල වියදම් අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ මම සඳහන් කරපු අනිත් අයටත් ඒ වගේ තමයි කියල. එහෙම නම් මම යෝජනා කරනවා මේ සුපිරි තනතුරුවල වැටුප යම් ප‍්‍රමාණයකට අඩුකරන්න කියල. මගේ නම් මම කියන්නෙ රුපියල් ලක්ෂයක් විතර වැටුප කපන්න කියලා. මම ඒක ප‍්‍රසිද්ධියේ කියනවා. මේ ව්‍යසනයට මුහුණ දීමට දරිද්‍රතාවයෙන් පෙළෙන පහසුකම් නොමැති අයව ගොඩ ගන්න නම් අපි යම් තරමට පරිත්‍යාග කිරීමක් සිදු කරන්න ඕන. ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න අපට මොන තත්ත්වයක් උදාවෙයිද කියලා අපි දන්නෑ. එහෙම තැනක ඉන්න අපි යම් පරිත්‍යාගයක් කරන්න ඕන. එතකොට දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉන්න අය ඇත්ත ද නැත්ත ද කියලා අපි දන්නෑ මේ වෛරස් එකට ගහන එන්නතෙනුත් පගා ගහනව කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට අපි වසරකට ලක්ෂ හතරකට ආසන්න මුදලක් වියදම් කරනවා. මේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 1000ට වැඩියි. ඒ වගේම ලයිට් බිල් වතුර බිල් සඳහා විශාල මුදලක් ගෙවනවා. ඒ වගේ අන්තර්ජාල දුරකථන සඳහා අපි මාසෙකට ලක්ෂ හතරකට ආසන්න බිලක් ගෙවනවා. එතකොට විශාල මුදලක් මේ ව්‍යසනය හමුවේ විශ්වවිද්‍යාලවල තැන්පත් වෙලා තියෙනවා. එතකොට අර දරිද්‍රතාවට මුහුණ දීලා ඉන්න අයට ඒ මුදලින් යම් සහනයක් සලසන්න හැකි වන බවයි මගේ විශ්වාසය.
|