කොවිඩ් හැදුනට පස්සේ අමාරු වෙනවාද? අමාරුවේ වැටෙනවාද?

309

කොවිඞ් රෝගය බෝවෙන්නෙ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්න දවස් දෙක, තුනකට කලින්…

කොවිඞ් රෝගීන් ජීවනී, තැඹිලි වතුර හොඳට පානය කරන්න ඕනෑ…

කොවිඞ් සුව වූ පසු ඇල්වතුර බීම, නෑමේ කිසිදු ගැටලූවක් නෑ…

කොවිඞ් රෝගියකු නැති ගමක් සොයාගැනීමට ද අපහසු තරම්ය. එතරම් ම කොවිඞ් වසංගතය මෙරට සමාජය පුරා පැතිරි ගොස් හමාරය. එහෙත් දැන් බොහෝ මිනිසුන් කොවිඞ් පයිසෙකට මායිම් නොකරන ගානය. පිටකොටුව වීදිවල පෙව්මන්ට් වෙළෙඳුන්ගේ මෙන්ම බර අදින්නන්ගේ මුව ආවරණ නිකටෙනුත් පහළට වැටී ඇති සැටි විරල දසුනක් නොවේ. එමෙන්ම ඇතැම් පෞද්ගලික බස් රථ රියැදුරන්,කොන්දොස්තරවරුන්ගේ මුව ආවරණත් නිකට ට වැටී තිබීම සාමාන්‍ය දසුනකි. පිටකොටුවේ මෙන්ම මෙරට සෙසු නගරවල තේ කඩවල, වෙළෙඳසැල්වල වැඩ කරන සේවකයන් ද මුව ආවරණ ගැන වැඩි සැලකිල්ලක් නො දක්වන බව පෙනේ. සමාජයේ සැරිසරන ඇතැම් මිනිසුන් ද මුව ආවරණ, සමාජ දුරස්ථභාවය, සෙසු සෞඛ්‍ය පුරුදු අමතක කර සිටින බව නිරන්තරයෙන් දකින්නට ලැබේ. සමාජයට පිළිල සේ හැසිරෙන එවැනි කාලකණ්ණි ගැන සොයාබැලීමට සෞඛ්‍ය නිලධාරීන් ද කටයුතු නො කිරීම ගැටලූවකි. විශාල වශයෙන් ජනතාව ඒකරාශී කරමින් දේශපාලන රැස්වීම් පවත්වන රටේ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය පුරුදු ගැන කතා කිරීම ද විහිළුවකි.

එහෙයින් අප මේ ප‍්‍රවේශය ලබාගත්තේ කොවිඞ් වසංගතයේ නැවත පිබිදීම ගැන කතා කිරීමට නොවේ. කොවිඞ් පොකුරු නිර්මාණය කිරීමට රජය ගන්නා උත්සාහය ගැන කතා කිරීමට ද නොවේ. කොවිඞ් රෝගයේ පශ්චාත් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ගාල්ල දිස්ත‍්‍රික්කයේ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන භාරව සිටි වැඩබලන කායික රෝග විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ කාළඹආරච්චි මහතා දැන් අප සමග සම්බන්ධ වී සිටින්නේය. 2020 දෙසැම්බර් මාසයේ සිට පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කොවිඞ් රැලි පාලනය කිරීමට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආරච්චිකන්ද දිස්ත‍්‍රික් රෝහලේ, රුහුණු ගුරු අභ්‍යාස විද්‍යාලයේ, කොග්ගල බීජ් සහ ක්ලබ් බෙන්තොට කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කරමින් පවත්වාගෙන යනු ලැබුයේ විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ කාළඹආරච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේය. මේ වනවිට මහඔය මූලික රෝහලේ වැඩබලන කායික රෝග විශේෂඥ වෛද්‍ය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ මහඔය මූලික රෝහලේ ශාඛා සමිති සභාපති වැඩබලන විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ මහතා කොවිඞ් පශ්චාත් තත්ත්වය ගැන අපට කීවේ මෙවැනි කතාවකි.

‘‘කොවිඞ් වෛරසය ආසාදනය වූවන්ගෙන් 80%කට විතර සුළු රෝග සහ මධ්‍ය ප‍්‍රමාණයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරලා කිසිදු වෛද්‍ය ප‍්‍රතිකාරයක් නොමැතිව සුවපත් වෙනවා. 15%කට පමණ රෝහල් ගතවීමට සහ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය වෙනවා. ඔවුන් අතරින් 5%ක් පමණ අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ සංඛ්‍යාව අතරින් 2%ක් 1%ක් මාරාන්තික තත්ත්වයට පත් වෙන්න පුළුවන්. රෝගීන්ගේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ නිධන්ගත රෝග උත්සන්නවීම තුළ කොවිඞ් සංකූලතා ඇති වී ඒ තුළින් මාරාන්තික තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි වීම මත මරණ සංඛ්‍යාව වැඩි වෙන්නත් පුළුවන්. වෛරසයේ ප‍්‍රභේදයත් මරණ සංඛ්‍යාවේ අඩු වැඩි වීමට ප‍්‍රබලව බලපානවා. විශේෂයෙන් ම පසුගිය කාලයේ පැතිරුණු ඩෙල්ටා ප‍්‍රභේදයේ මාරාන්තික තත්ත්වය ඉතා වැඩියි. කොවිඞ් නිවුමෝනියා තත්ත්වයට පැමිණීමේ වැඩි ප‍්‍රවණතාවයක් තිබුණා…’’

‘‘ ඕනෑම වෛරස් සෙම්ප‍්‍රතිෂ්‍යාවක තියෙන ලක්‍ෂණ උණ, හිසේ කැකුම, ඇඟපත වේදනවා, කැස්ස සහ නාසයෙන් සොටු දියර ගැලීම මේ රෝග ලක්‍ෂණ කොව්ඩි රෝගය වැළඳී පළමු සතියේ දී පෙන්නුම් කරනවා. උණුු වතුර හුමාලය ඇල්ලීම, උණු වතුර පාවිච්චි කිරීම, නියමිත මාත‍්‍රාවට පැරසිටමෝල් ලබාගැනීම රෝගය පාලනය කරගැනීමට හොඳට ම ප‍්‍රමාණවත්. ඒ වගේම නිධන්ගත රෝග සඳහා පාවිච්චි කරන බෙහෙත් ඒ ආකාරයෙන්ම ලබාගත යුතුයි. කොවිඞ් රෝගයට වෙනම ප‍්‍රතිජීවක ඖෂධ ලබාගැනීමක් අවශ්‍ය වෙන්නේ නෑ. විශේෂයෙන්ම ස්ටිරොයිඞ් ඖෂධය කලින් රෝගීන්ට ලබාදීම මරණවලට පවා ප‍්‍රබල හේතුවක් වෙනවා. එම ඖෂධය ලබාගැනීමෙන් ඇඟට සහනයක් ලැබුණට ශරීරය තුළ වෛරසය ව්‍යාප්ත වීම වැඩි වෙනවා. ඒ නිසා එම ඖෂධය පෙර සිට ලබාගැනීම සුවපත් වෙන්න හිටිය රෝගීන් නිකරුණේ මියැදෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ කොවිඞ් රෝහල්වල අද්දැකීම් එක්ක. ඒ නිසා නිවෙස්ගත රෝගීන්ට කියන්න තියෙන්නේ උණු වතුර හුමාලය ඇල්ලීම, උණට පැරසිටමෝල් ලබාගැනීම, ලූණු වතුරෙන් උගුර සේදීම, උණු වතුර, තැඹිලි වතුර, ජීවනි වගේ දියර ජාති හොඳට පානය කිරීම සහ විවේක සුවයෙන් කල් ගෙවීම හොඳට ම ප‍්‍රමාණවත් බවයි. ඒ හැර ප‍්‍රතිජීවක ඖෂධ ලබාගැනීමට අවශ්‍ය නොවේ…’’

‘‘ඒ වගේම කොවිඞ් රෝගය වැළඳී සංකූලතා ඇති නොවෙන්න සතියක් විතර ගත වෙනකොට සුව අතට හැරෙනවා. රෝගය බෝකිරීමේ ප‍්‍රවණතාවයත් බොහෝ දුරට අඩු වෙනවා. කැස්ස, විශේෂයෙන්ම උණ මතු වෙන්න පටන්ගෙන දින කිහිපයක් ඇතුළත රෝගියාගෙන් තවත් කෙනකුට රෝගය බෝවීමට තියෙන සම්භාවිතාවත් ඉතා අඩු වෙනවා. ඒ නිසා තමයි නිරෝධායන කාලය දැන් දවස් හතකට අඩු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කොවිඞ් රෝගය බෝවෙන්නේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්න දවස් දෙකකට හෝ තුනකට කලින්. බොහෝ රෝගීන් කොවිඞ් රෝගය බෝකරන්නේ රෝග ලක්‍ෂණ පහළ වෙන්න කලින් හෝ රෝග ලක්‍ෂණ නැති අවස්ථාවලයි. ඒ නිසා තමයි සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළඳීම, අනෙකුත් සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි කියන්නේ. මේ සෞඛ්‍ය පුරුදු නිසියාකාරව පිළිපඳිනවා නම් රෝගියෙක්ගෙන් වුණත් කොවිඞ් බෝවන සම්භාවිතාව අතිශය අවම වෙනවා…’’

‘‘ඒ වගේම කොවිඞ් රෝගය සුවපත් වුණාට පස්සෙත් මාස එකහමාරක් දෙකක් යනකම් ඇල්වතුර නාන්න හොඳ නෑ. ඇල්වතුර, සීතල බීම ජාති පානය කරන්න හොඳ නෑ කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒවා දුර්මත. ඇල්වතුර නෑවා කියලා පෙණහලූ තෙමෙන්නෙ නෑ. ඒ නිසා සෙම හැදෙන්න විදිහක් නෑ. හොඳට අව්ව තියෙන දහවල් කාලයේ දී ස්නානය කිරීමෙන් කිසිම ගැටලූවක් ඇති වෙන්නේ නෑ. අපේ රෝහල්වල ගොඩක් අසාධ්‍ය තත්ත්වයේ ඉඳලා සුවපත් වෙච්ච කොවිඞ් රෝගීන්වත් ඔක්සිජන් ගලවලා ඇවිඳගන්න පුළුවන් තත්ත්වයට පැමිණි හැටියේ දහවල් කාලයේ දී හොඳට නාවනවා. එහෙම නැව්වා කියලා අපේ රෝහල් ඇතුළේ කිසිම රෝගියෙක්ට ගැටලූවක් වෙලා නෑ. ඒ නිසා උණ අඩු වෙලා, ඇඟට සනීපයක් දැනෙන්න පටන්ගෙන සතියකට විතර පස්සේ නෑවට කිසිම ගැටලූවක් නෑ…’’

‘‘උණ සෙම්ප‍්‍රතිෂ්‍යාව නැති නම් ඇල්වතුර බීමේත් කිසිම ගැටලූවක් නෑ. ඒ වගේම කොවිඞ් හැදිලා සුවපත් වෙච්ච අයට ටික කාලයක් යනකම් තැඹිලි වතුර බොන්නත් හොඳ නෑ කියලා සමාජයේ මතයක් පැතිරිලා තියෙනවා. තැඹිලි කියන්නේ ඉතා හොඳ පානයක්. තැඹිලි බොන්න වෙලාවක් අවශ්‍ය නෑ. ඒ වගේම සෙමයි, තැඹිලියි අතර කිසිම සම්බන්ධයක් නෑ. අපේ රෝහල් ඇතුළේ තැඹිලි බීලා කිසිම රෝගියකුට හානියක් වෙලා නෑ. ඒත් ශීතල බීම පානය කිරීමේ දී පොඩි ගැටලූවක් තියෙනවා. ශීතල ජාතියක් උගුරේ ගෑවුණා ම ලේ ගමන් කිරීම අඩු වීම තුළ ඒ ස්ථානයේ ප‍්‍රතිශක්තීකරණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ශීතල බීම වැඩිපුර ගන්නකොට උගුරේ අමාරු, සෙම්ප‍්‍රතිෂ්‍යාව ඇති වෙන්නේ. කොවිඞ් සුවපත් වෙලා තමන්ගේ ශරීරය හොඳට ම නිරෝගීමත් කියලා දැනෙනකොට සීතල බීම බිව්වට ගැටලූවක් නෑ. කොවිඞ් හැදුණා කියලා හැමදාම කෑම, බීමවලින් ඇත් වෙලා ඉන්නත් බෑ…’’

‘‘කොවිඞ් ආසාදනය වෙච්ච ශ්වසන, පිළිකා, කොවිඞ් නිවුමෝනියා තතත්වයට පත් වෙච්ච රෝගීන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ස්නායු රෝග, අඝාතය, පර්යන්ත ස්නායු පද්ධතියේ යම් පණ නැතිවීම්, අත් පාවල හිරි ගති, පණ නැතිවීම්, හෘද රෝග සහ කොවිඞ් සංකූලතා මත ශරීරයේ ඕනෑම අවයවයකට හානි වෙන්න පුළුවන්. වයස්ගත පුද්ගලයන්ට මද රෝග ලක්‍ෂණ මතු වෙන්න පුළුවන්. ඒ නිසා එම රෝගීන් සුවපත් වුණාට පස්සේ කාලයක් යනකම් කායික රෝග සායනවලට කැඳවලා වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු කරනවා. මාස තුනක්, හයක් ගතවෙනකොට ඒ රෝගීනුත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. කොවිඞ් හැදිලා වෛද්‍ය ප‍්‍රතිකාරයක්වත් නොගෙන සුවපත් වෙච්ච බහුතරයක් වූ රෝගීන්ටත් හතිය, මාංශ පේශී රුදාව, හන්දි අමාරුව, හිසේ කැකුම, කම්මැලිකම, නිදිමත ගතිය, පපුවේ වේදනා, කැස්ස, බඬේ කැකුම, කෑම අරුචිය සහ බඩ බුරුල් කර යෑම ආදී සංකූලතා ඇති වෙන්න පුළුවන්. මාස දෙකක්, තුනක් යනකොට එම රෝගී තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒත් කොවිඩි පශ්චාත් සංකූලතා සියල්ල ම සත්‍ය රෝග නෙමෙයි. ඒ නිසා වැදගත් වන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ පවුලේ වෛද්‍යවරයා හමු වී එම රෝග ලක්‍ෂණ නිවැරැදිව හඳුනාගැනීමයි. යම් රෝගී තත්ත්වයක් තිබේ නම් ඉදිරියට කළ යුතු දේ එම වෛද්‍යවරු තීරණය කරයි. ඒ නිසා කොවිඞ් හැදිලා සුව වුණාට පස්සේ මොනයම් හෝ අමාරුවක් තියෙනවා නම් හොඳම දේ වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබාගැනීම. හෘද රෝග, ශ්වසන, ස්නායු, මානසික, විවිධ ඉන්ද්‍රීීය දුර්වලතා සඳහා සාර්ථක ප‍්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තුළ තියෙනවා. ඕනෑම සුදුසුකම්ලත් කායික රෝග වෛද්‍ය සායනයක දී මේ සඳහා ප‍්‍රතිකාර ලබාගන්න පුළුවන්. ඒ වගේම කොවිඞ් පශ්චාත් සංකූලතාවලට හොඳම විසඳුම පෙර පරිදි වැඩ කරගෙන යෑම, ව්‍යායාමවල නිරතවීම. ‘දැන් මට වැඩ කරන්න අමාරුයි…’ කියලා නිවෙස් තුළට ම වෙලා හිටියොත් සංකූලතා සුවපත් වෙන්න තියෙන කාලය තවත් වැඩි වෙනවා. ඒ නිසා කොවිඞ් හැදිලා සුව වුණාට පස්සේ පුළුවන් තරම් ඉක්මනට සුපුරුදු ජීවන රටාවට යොමු විය යුතුයි…’’

කොවිඩ් හැදුනට පස්සේ අමාරු වෙනවාද? අමාරුවේ වැටෙනවාද?

‘‘ඒ වගේම උණු වතුර පමණක් බීමෙන්, අධික රස්න වතුරෙන් හුමාලය ඇල්ලීමෙන් කොවිඞ් ආසාදනයෙන් වැළකී ඉන්න පුළුවන් කියලා කිසිදු පරීක්‍ෂණයකින් ඔප්පු වෙලා නෑ. උණු වතුර බීම, අධික රස්න වතුරෙන් හුමාලය ඇල්ලීම ශ්වසන පද්ධතියට හානි වෙන්න පුළුවන් කියලා පරීක්‍ෂණවලින් සනාථ වෙලා තියෙනවා. කොවිඞ් රෝගයෙන් වැළකී සිටින්නට නම් දුරස්ත භාවය, නිවැරැදි මුව ආවරණ පැළඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු නිවැරැදිව පිළිපැදිය යුතුයි. ඒ වගේම කොවිඞ් සංකූලතා වළක්වාගැනීමට ඇති හොඳම ක‍්‍රමය කොවිඞ් එන්නත් කරණය යි. රෝගය වැළඳීම, රෝගය ආසාදනය වුණත් උත්සන්නවීම සහ මරණයෙන් වැළකී සිටීමට එන්නත් කරණය බොහෝ උපකාරී වෙනවා. එන්නත් කරණය තුළින් කොවිඩි රෝගියකුගෙන් තවත් කෙනකුට බෝවීම අවම කරනවා. ඒ නිසා බූස්ටර් එන්නත් කරණයෙන් මදසරු භාවය, ගබ්සා, මළදරු උපත්, ලිංගික බෙලහීනතාවයන් ඇති වෙනවා කියන මිත්‍යා මතවලින් ඈත් වී ලැබුණු පළමු අවස්ථාවේදීම බූස්ටර් එන්නත ලබාගෙන ඔබෙත්, සමාජයෙත් සුරක්‍ෂිතාව ඇති කිරීමට වගබලාගන්න කියලා වගකීමෙන් මම කියනවා…’’

‘‘එන්නත් යනු මේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව වෙනස් කරපු තාක්‍ෂණය. එන්නත් හඳුන්වාදීමට පෙර මේ ලෝකයේ මිනිස්සු පෝලියෝ රෝගයෙන් මිය ගියා වගේ ම අබ්බගාතයන් බවට පත් වුණා. සරම්පාවලින් ළමයි මිය ගියා. කක්කල් කැස්ස, ගලපටලය වැනි රෝග නිසා ඇති වූ සංකූලතාවලින් මරණ සිද්ධ වුණා. ඒ සියලූ රෝග මේ ලෝකයෙන් ඉවත් කළේ එන්නත් කරණය තුළින්. රෝගයක් හැදෙන්න පෙර වළක්වාගැනීමේ සංකල්පය ලෝකයට ආවේ එන්නත් හඳුන්වාදීමත් සමගයි. ලෝකයට ම වසංගතයක් වෙලා තියෙන කොවිඞ් රෝගයටත් එන්නත්කරණය හැර සාර්ථක ප‍්‍රතිකාරයක් තවම සොයාගෙන නෑ. ඒ වගේම මේ වනවිට අපේ රටේ ජනතාවට එන්නත් වර්ග හතරක් ලබාදී තිබෙනවා. ඒ එන්නත් හතරෙන් හොඳම ප‍්‍රතිශක්තීකරණය ලබාදෙන්නේ ෆයිසර් එන්නතෙන්. තුන්වැනි මාත‍්‍රාව විදිහට ලබාගැනීමට ඇති හොඳම එන්නත ෆයිසර් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකයේ අනෙකුත් සෞඛ්‍ය සංවිධානත් නිර්දේශ කරලා තියෙනවා. විශේෂයෙන්ම තුන්වැනි මාත‍්‍රාව විදිහට එම්. ආර්. එන්. ඒ. එන්නතක් නොහොත් ෆයිසර් එන්නත ලබාගත යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා තමයි තුන්වැනි මාත‍්‍රාවට ෆයිසර් එන්නත තෝරාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ව්‍යාප්ති වේගය පස් ගුණයකින් වැඩි ඔමික්‍රොන් ප‍්‍රභේදය පාලනය කිරීමට හොඳම එන්නත ෆයිසර් බූස්ටර් එන්නතයි. මේ එන්නත මුළු ලෝකයේම පරීක්‍ෂණය කරපු එන්නතක්. ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයන් මිය යෑමේ සම්භාවිතාව ඉතාම අඩුයි. ඒ වගේම ඕනෑම එන්නතක් ලබාගන්නා පුද්ගලයන්ගේ ප‍්‍රතිශක්තිය මත විවිධ සංකූලතා මතු වෙන්න පුළුවන්. වෙනත් එන්නත්වලට සාපේක්‍ෂව ෆයිසර් එන්නතෙන් වාර්තා වන සංකූලතාත් අඩුයි. රුධිරය කැටි ගැසීමේ අවධානම ෆයිසර් එන්නතේ අතිශය අවමයි. කොවිඞ් රෝගීන් විදිහට මේ දිනවල මෙරට තුළ මිය ගිය කිසිම පුද්ගලයෙක් බූස්ටර් එන්නත ලබාගෙන නෑ. ඒ වගේම මේ වෙනකොට වයස අවුරුදු 12ට වැඩි ළමයින්ට ෆයිසර් එන්නත ලබාදෙනවා. එන්නත ලබාගත් කිසිදු දරුවෙක් බරපතළ සංකූලතාවලට ලක් වෙලා කියලා වාර්තා වෙලා නෑ. ඒ නිසා නැවත මම කියනවා මිත්‍යා මතවලට රැවටී නිකරුණේ ජීවිතය අවදානමට ලක් කරගන්න එපා. කොවිඞ් ආසාදනය මගින් මඳසරු භාවය, ඔසප්වීමේ සංකූලතා, ගර්භණී මවුවරුන්ට සංකූලතා ඇති වෙනවා කියලා ලෝකයේ පරීක්‍ෂණවලින් සනාථ කරගෙන තියෙනවා. ඒ නිසා මෙරට සියලූ වැසියන් උත්සාහ කරන්න ඕනෑ කොවිඞ් ආසාදනයෙන් වැළකී සිටින්න…’’ විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ මහතාගේ වටිනා අදහස් දැක්වීම අවසානය.

රටක් වශයෙන් මේ වසංගතයෙන් ගොඩඒමට නම් පුරවැසියන් විදිහට අප කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අකුරට පිළිපැදීමය. එන්නත් ලබාගැනීමය. කොවිඞ් එන්නත් ලබාගත්ත ද නිවැරැදි මුව ආවරණ, දුරස්ත භාවය සෙසු සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින්න කොවිඞ් බෝවීම නතර කළ නොහැකි බව විශේෂඥ වෛද්‍ය මතයයි. එවැනි පසුබිමක ජන රැළි පවත්වමින් රජය විසින් රට්ටුන්ට ලබදෙන ආදර්ශය සම්බන්ධයෙන් අපට ඇත්තේ කම්පනයකි…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment