කොවිඩ් 19 වසංගත කාලයේ මනස හදාගන්නේ කොහොමද……?

358
කොවිඩ් 19 වසංගත කාලයේ මනස හදාගන්නේ කොහොමද......?
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස


කොවිඞ් 19 වසංගතය මෙරට ජනයාගේ සමාජ චර්යාවන් සඳහා මෙන්ම මානසික චර්යාවන් කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියි. මෙවැනි පසුබිමක් තුළ ජනතාවට සිය මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යෑම අභියෝගයක් බවට පත්ව ඇත. කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ජනතාව පෙළෙන මානසික ගැටලූ සඳහා ප‍්‍රතිකාර කිරීම සංකීර්ණ කාර්යකි. කොවිඞ් 19 වසංගතය පදනම් කරගනිමින් හුවමාරු වන මිථ්‍යා අදහස් සහ ව්‍යාජ තොරතුරු නිසා මානසිකව පීඩාවට පත් වී සිටින ජනයා ඉන් මුදා ගැනීම ද අපහසු කාර්යකි. කොවිඞ් වසංගතය නිසා මානසික වශයෙන් පීඩාවට පත්ව සිටින අය ද හෙට දිනයේ මානසික පීඩාවන් සඳහා ගොදුරු විය හැකි අය ද එයින් මුදා ගැනීම පිණිස කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා දැක් වූ අදහස් අනුව මේ සංවාදය සැකසුණි.

ප‍්‍රශ්නය – කොවිඞ් වසංගතය නිසා වැඩිහිටි අය, තරුණ, නව යොවුන් වයසේ දරුවන් මේ හැමදෙනාම වාගේ යම් මානසික පීඩනයකින් ඉන්න බව පෙනෙනවා. මේ තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්ද?

පිළිතුර – ඔව්. කොවිඞ් 19 වසංගතය නිසා වැඩිහිටි අය, තරුණ අය වගේම නව යොවුන් වයසේ දරුවන්ගේ මනසට සෑහෙන්න බලපෑමක් ඇති වී තිබෙන බව මනෝ වෛද්‍ය පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපේ ළමා සහ යොවුන් මනස පිළිබඳ සායනවලට පැමිණෙන දරුවන්ගේ දත්ත පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු වෙනවා. කොවිඞ් 19 වසංගතය නිසා විශාදය (Depression), කාංසාව (Anxiety) වැනි මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීම (Screen Addiction) සහ වීඩියෝ ක‍්‍ර‍්‍රීඩාවලට (Video Geme) දරුවන් යොමු වීම වැනි ක‍්‍රියාවන් නිසා සමාජය තුළ මනෝ වෛද්‍ය ගැටලූ රාශියක් ඇති වෙලා තියෙන බව විද්‍යාත්මක දත්ත මගින් පෙනෙනවා.

මේ මනෝ වෛද්‍ය ගැටලූ මීට පෙර අවුරුදුවලට සාපේක්ෂව සියයට විස්සක (20%* විතර වැඩිවීමක් පෙන්නුම් කරන බව පර්යේෂණවලින් තහවුරු වෙනවා. ලෝකය පුරාම යොවුන් සහ නව යොවුන් වයසේ අයගේ විශාදය (Depression), කාංසාව (Anxiety) සහ විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීම (Screen Addiction) සියයට දහසයත් (16%) සියයට විස්සත් (20%) අතර ප‍්‍රමාණයකින් වැඩිවීමක් ලෝකයේ රටවල් රාශියක දත්තවලින් පෙන්නුම් කරනවා.



ප‍්‍රශ්නය – මේ තත්ත්වය පැහැදිලිව හඳුනාගන්නේ කොහොමද?

පිළිතුර – මෙවැනි පසුබිමක් තුළ කළකිරීමක් මානසික පීඩනයක් ඇති වුණාම ඒක අඳුනගන්නෙ කොහොමද කියලා අපි බලමු. පළවෙනි එක තමයි මේ වගේ අවස්ථාවල අපිට ටිකක් තරහා යන එක වැඩි වෙනවා. අපේ නින්ද වැඩි වීම හෝ නින්ද අඩු වීමත් වෙන්න පුළුවන්. අපේ ආහාර රුචිය වැඩි වීම හෝ අඩු වීම වගේම හිතට පීඩනයක්, ඇඟට මහන්සියක් ඇතිවෙන්න පුළුවන්. මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා අපි අනිවාර්යයෙන්ම මේ තත්ත්වයන් පාලනය කරගත යුතු වෙනවා.

මේ දවස්වල කොවිඞ් 19 වසංගතය නිසා අප අතර සිටින බොහෝ අය තුළ ලොකු කළකිරීමක්, කම්මැලිකමක් වගේම සෘණාත්මක සිතුවිලි ඇති වෙන්න පුළුවන්. අපගේ මනසේ මේ වගේ සෘණාත්මක සිතුවිලි ඇති වුණාම අපි මොනවද කරන්න ඕන කියන එක ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි. මේ දුර්වල මානසික තත්ත්වයෙන් මිදෙන්න මොනව ද කරන්න අවශ්‍ය වෙන්නෙ කියල අපි සොයා බලමු.

 මේ දවස්වල බොහෝ අය කියනවා කොවිඞ් 19 වසංගතය නිසා ඒ අයගෙ විභාග කල් ගියා කියල. ඒ අයගෙ සැලසුම් කල් ගියා කියල. ඒ අය බලාපොරොත්තුවෙන් හිටිය දේවල් ඉටු කරගන්න බැරි වුණා කියලා. තවත් සමහර අය කියනව කොවිඞ් 19 වසංගතය නිසා ඒ අයගෙ අපේක්ෂා සුණු විසුණු වෙලා ගිහින් කියල. කිසි දෙයක් කළාට හරියන්නේ නෑ. හැම දේම එපා වෙලා. ජීවිතේ කම්මැලිකමින් පිරිල. එකම තැන ජීවිතේ කැරකෙනවා කියලා බොහෝ අය දුක්වෙනවා.

යම් කෙනෙක් තුළ මේ වගේ සෘණාත්මක සිතුවිලි (Negative cognitions) ඇති වුණාම මොළයේ ඍණාත්මක හැඟීම් ඇතිවෙනවා. ඍණාත්මක සිතුවිලි ඍණාත්මක හැඟීම් බවට පත්වෙනවා. එතකොට ජීවිතය ගැන කලකිරීම, හැම දේම එපා වීම, සමහර විට ජීවිතය ගැන වුණත් හානිදායක සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ තරුණ කෙනෙක් නම්, ඔබ නව යොවුන් වයසේ කෙනෙක් නම් ඔබට මේ ඍණාත්මක සිතුවිලි සහ ඍණාත්මක හැඟීම්වලින් මිදෙන්න බොහෝ දේවල් කරන්න පුළුවන්.



ප‍්‍රශ්නය – මේ තත්ත්වයෙන් මිදෙන්න කළ යුත්තේ මොනවාද?

පිළිතුර – මුලින්ම ඔබ කරන්න ඕන මේ කොවිඞ් 19 වසංගත කාලය තුළ ඔබට මුහුණ දෙන්න වුණ නරක දේවල්, අයහපත් දේවල් වගේම ඔබට මුහුණ දෙන්න වුණ හොඳ දේවල්, යහපත් දේවල් වෙන් වෙන් වශයෙන් වගුවක දෙපැත්තක ලියන එක.

මේ කාලයේදී ඔබට මාර්ග තදබදයෙන් තොරව ගමනක් යෑමට හැකි වීම, ඔබගේ පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කිරීමට හැකි වීම, ඔබට කාලෙකින් කියවන්න බැරි වෙච්ච පොතක් කියවන්න අවස්ථාව ලැබීම, ඔබට විවේකීව නිවසේ කාලය ගත කිරීමට හැකි වීම වගේ යහපත් දේවල්වලට මුහුණ දෙන්න සිදු වුණා වෙන්න පුළුවන්.

මේ කාලයේදි ඔබට නරක අයහපත් දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. තමාගේ සැලසුම් කල් යාම, යාළු මිත‍්‍රයන් හමුවෙන්න බැරි වීම, එළියට බැහැලා සමාජශීලී අවස්ථාවන්ට සහභාගි වීමට නොහැකි වීම වගේ අයහපත් දේවල්වලට ඔබට මුහුණ දීමට සිදු වෙනවා වෙන්නත් පුළුවන්. ඔබ සකස් කරගත්ත මේ වගුවේ දෙපැත්තෙන් ලිව්වහම ඔබට පෙනෙයි මේ අයහපත් දේවල් අපේ පාලනයෙන් තොරව පවතින බව. ඒ කියන්නේ කොවිඞ් 19 වසංගතය මුල් කරගෙන පළාත් අතර සංචරණ සීමා පැනවීම නිසා අපිට එළියට බැහැලා යන්න බැරිකම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විභාග වගේ දේවල් කල් යාමත් අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා ඔබට මේවා වෙනස් කරන්න අමාරුයි.

අපි තුළ ඇතිවන සෘණාත්මක සිතුවිලි වෙනස් කරගන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ මේ වගුවේ යහපත් පැත්තට අලූත් දේවල් එකතු කර ගැනීමයි. සමහරවිට තමන් අදහන ධර්මය ගැන අලූත් දෙයක් කියවලා ඉගෙන ගැනීම, භාවනා කිරීම, හිත විවේකයෙන් තියා ගැනීම, හිත සන්සුන් කරන ක‍්‍රම ඉගෙන ගැනීම යහපත් හා ධනාත්මක සිතුවිලි ඇතිවීම සඳහා බලපානව. ඒ වගේම තමයි අලූත් දෙයක් උයන්න ඉගෙන ගැනීම, ගෙදර වැඩක් කරන්න ඉගෙන ගැනීම වගේ දේවලූත් යහපත් පැත්තට එකතු කරගන්න පුළුවන්. මේ කාලයෙදි අපිට පුළුවන් නම් ජීවිත තරාදියේ යහපත් පැත්තෙ බර වැඩි කරගන්නත් ඒ මගින් අපිට පුළුවන් මේ ඍණාත්මක සිතිවිලි අඩු කර ගන්නත්. මේ විදිහට අපේ මානසික සහනය වැඩි කරගන්නත්, මනසේ ස්ථාවර බව වැඩි කරගන්නත් පුළුවන්.

ඊළඟට බොහෝ අය කියන දෙයක් තමයි මේ දවස්වල හරි කම්මැලියි කියලා. කම්මැලිකම ඇතිවෙන්නෙ අපේ මනසේ තියෙන ශක්තිය (Mental Drive) අඩු වීමෙන්. කම්මැලිකම ඇති වුණාම අපි වැඩ කල් දානවා. අපි වැඩ කල් දානකොට වැඩ ගොඩ ගැහෙනවා. වැඩ ගොඩ ගැහුණම වැඩක් සම්පූර්ණ කළාම අපිට ලැබෙන උද්යෝගය ලැබෙන්නෙ නෑ.

යූ ටියුබ් (youtube) එකේ වීඩියෝ එකක් බලලා අපිට කැමති කෑමක් හදන්න පුළුවන්. කෑම හදලා ඉවර වුණාම ඒ කෑම ගෙදර කට්ටිය එකතු වෙලා කනකොට අපිට හිතට පොඩි උද්දීපනයක්, උද්යෝගයක් ඇති වෙනව. මේ උද්දීපනය, උද්යෝගය මනස තුළ නැති වූ විට අපේ මනසේ ශක්තිය තව අඩු වෙනවා. එතකොට මනසේ ශක්තිය අඩු වෙලා වැඩ කල් දැම්මා. වැඩ කල් දැම්ම හින්දා වැඩ ගොඩ ගැහුණා. වැඩ ගොඩ ගැහුණ හින්දා වැඩ කල් දැමීමෙන් අපට ලැබෙන උද්යෝගය ලැබුණේ නෑ. ඒ හින්ද මනසේ ශක්තිය තවත් අඩු වුණා. අපි මේකට කියනවා නොනවතින චක‍්‍රයක්  (Vicious Cycle)  කියලා.

ඔබට මේ තත්ත්වය නැති කරගන්න අවශ්‍යයි නම් ඔබ මුලින්ම කරන්න ඕන ඔබට ඉක්මනින් කරන්න පුළුවන්, කෙටි වේලාවකින් ඉවර කරන්න පුළුවන්, ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් ටිකක් තෝරා ගැනීමයි. ඉවර කළාම සතුටක් ලැබෙන දෙයක් කරලා ටිකෙන් ටික කම්මැලිකම අඩු කර ගැනීම ඔබට පහසුවෙන් කරන්න පුළුවන්.

උදාහරණයක් හැටියට මල් පෝච්චියක් අරගෙන පස් ටිකක් දාලා මල් පැළයක් හිටවලා ඒකට වතුර ටිකක් දාලා ඒක අපි සම්පූර්ණ කරලා අපිට පුංචි සතුටක් ලබන්න පුළුවන්. නැත්නම් යූ ටියුබ් එකෙන් ගත්ත වට්ටෝරුවකට  අලූතින් කෑමක් හදලා ඒක ගෙදර අයට දීලා ඒකෙන් අපිට උද්යෝගයක් ලබන්න පුළුවන්.

මෙම කොවිඞ් 19 තත්ත්වය නිසා තරුණ, වැඩිහිටි, මහලූ හැමෝටම අධික ලෙස මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මේ පීඩනයෙන් මිදෙන්න නම් නිතරම හිත සන්සුන් කරන ව්‍යායාමයක් අනිවාර්යෙන්ම කරන්න වෙනවා. හිත සන්සුන් වෙන්න මේ වගේ ව්‍යායාම කරන්න පුළුවන්. උදේ නින්දෙන් අවදි වෙලා ඇඳේ වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන, ඇස් දෙක පියාගෙන, නහයෙන් හුස්මක් අරගෙන හෙමින් සැරේ කටින් හුස්ම පිට කරන එක පහසුවෙන්ම කරන්න පුළුවන් ව්‍යායාමයක්.

එතකොට ඔබ නහයෙන් හුස්ම අරගෙන බොහොම හෙමින් කටින් හුස්ම පිට කරනවා. මේ විදියට පස්වතාවක් හෝ දසවතාවක් කරන එකෙන් අපේ හිත සන්සුන් කරගන්න පුළුවන්. ඇවිදින්න ගෙදර ඉඩ තියෙනවා නම් පුංචි සක්මන් භාවනාවක යෙදෙන එකත් කරන්න පුළුවන්. භාවනාවේ යෙදෙමින් ඔබ සක්මන් කරන කොට ඔබේ අඩිය තියෙන ප‍්‍රමාණය ගැන, අඩිය වැදෙන කොට එය පයට දැනෙන ආකාරය ගැන, අඩිය කෙටි ද, අඩිය දිග ද කියන එක ගැන සිහිය පවත්වා ගැනීමෙන් හිතේ සන්සුන් බවක් ඇති කරගන්න පුළුවන්.



 ප‍්‍රශ්නය – සංගීතය රස විඳීමත් මේ මානසික තත්ත්වයන්ට සහනයක් කරගන්න පුළුවන්?

පිළිතුර – ඔව්, ඇත්තටම, හිත එක තැනක තියාගෙන සංගීත භාණ්ඩයකින් නිකුත් වන නාදයකට ඇහුම්කන් දෙන එක මනසට හොඳ ව්‍යායාමයක්. සංගීත භාණ්ඩයක් වාදනය කිරීමෙනුත් සිහිය පවත්වා ගැනීමටත් හිතේ සන්සුන් බවක් ඇති කර ගැනීමටත් පුළුවන්. තවත් ක‍්‍රමයක් තමයි චිත්ත රූප මැවීම (Guided Imagery) . ඔබ ගෙදර නිහඬ තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඔබ හිතෙන් මවාගන්න බොහොම සන්සුන් සනීපදායක තැනක ඔබ ඇවිදගෙන යනවා කියලා. උදාහරණයක් හැටියට ලංකාවෙ නුවරඑළිය පැත්තේ තේ වත්තක අඩි පාරක් දිගේ හෙමින් සැරේ අඩිය තියලා ඇවිදිනවා කියලා හිතන්න. එහෙම කරන කොට ඔබට ඇහෙන කුරුල්ලෝ කෑගහන සද්දෙ, ඇඟට දැනෙන සුළෙඟ් සිසිලස, ඇහැට පේන දේවල් ආදිය ඔබේ හිතින් මවා ගන්න. මේ විදිහට චිත්ත රූප මැවීමෙන් ඔබට මනසේ සන්සුන් බවක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම කොවිඞ් වසංගත කාලයේ දිනය නිවැරදිව සැලසුම් කිරීමත් සිත සන්සුන් කරන ව්‍යායාම දිනපතා කිරීමත් ඉදිරියට ප‍්‍රයෝජනවත් වන කුසලතාවක් පුහුණු කිරීමත් වැදගත් බව පෙන්වා දෙන්න පුළුවන්.

කොවිඩ් 19 වසංගත කාලයේ මනස හදාගන්නේ කොහොමද......?

සකස් කළේ – සමන් රාජපක්‍ෂ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment