කොළඹ කොම්පැණි 115 ක කුණු වතුර මුහුදට… මැනිය නොහැකි සමුද්‍රීය විනාශයක්…. විෂ රසායනික ද්‍රව්‍යයත් ඒ අතර

489

ශ‍්‍රි ලංකාව අවට මුහුදු ජිවීන්ට අනතුරක්….
යෝජනාව ගැන සැලකිල්ලක් දක්වා නැහැ….

මහ සයුර විටෙක සුන්දරය තවත් විටෙක එය අති භයංකරය. ඒ කොයිහැටිවුවද මහ මුහුද යනු අපිට සම්පතකි. ධන නිධානයකි. මෙරට සංචාරක ව්‍යාපාරයත් වෙරළ තීරයත් මහ සයුරත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳීමකි. විදේශීය සංචාරකයන් අපේ රටේ වෙරළ තීරයට හා මහ මුහුදට වහවැටී එහි අසිරිය විඳ දරාගැනීම සඳහා මෙරටට පැමිණෙති. කෙසේවුවද මිනිසුන්ගේ නොයෙකුත් ක‍්‍රියාකාරකම් නිසා මෙරට වෙරළ තීරය හා මහ සයුර දූෂණයට ලක්වෙමින් ඇත්තේය. මුහුදු ජලයේ ගුණාත්මක බවට හා සාගරයේ සුන්දර බවට මේ තුළින් සිදුවන්නේ දැඩි බලපෑමකි. ඒ විතරක් නොව අපේ රටේ සංචාරක කර්මාන්තයට ද එය මරුපහරකි.

රට අභ්‍යන්තර මූලාශ‍්‍ර මගින් සමුද්‍ර දූෂණය සිදුවිය හැකි ප‍්‍රධාන මාර්ග ලෙස අපද්‍රව්‍ය හා අප ජලය සෘජුව සයුරට බැහැර කිරීම හැඳින්විය හැක. නාගරික, ගෘහස්ථ, කාර්මික හා කෘෂි යන ප‍්‍රධාන මාර්ග වලින් අපේ මුහුදු තීරයට අපද්‍රව්‍ය හා අපජලය බැහැරවීම සිදුවේ. මෙරට මුහුදු තීරයට අප ජලය බැහැරවන ප‍්‍රධාන මූලාශ‍්‍රයන් ලෙස කාර්මික, ගෘහාශ‍්‍රිත හා සායනික මූලාශ‍්‍රයන් ලෙස සැලකේ. මෙරට සමුද්‍ර දූෂණයේ සියයට 90ක් පමණ ගොඩබිම ක‍්‍රියාවන් තුළින් සිදුවන අතර සියයට 10ක් පමණ නැව් හා මුහුදු ආශ‍්‍රිත ක‍්‍රියාවන් මගින් සිදුවේ. ඒ විතරක් නොව නෞකා මගින් තෙල් විසුරුමකදී මෙරට මුහුදු තීරයට පාරිසරික වශයෙන් වන බලපෑමද සුළු පටු නොවේ. අපේ රට මෙන් අට ගුණයක සාගර කලාපයක් අපට අයත්ය. වාර්ෂිකව ශ‍්‍රී ලංකා මුහුදු සීමාව හරහා තෙල් මෙටි‍්‍රක් ටොන් මිලියන 500කට අධික ප‍්‍රමාණයක් සංරණය වීම සිදුවේ.

පරිසර හිතකාමි නොවන අයුරින් අපේ රටේ මුහුදු තීරයන්ට අප ජලය බැහැරකිරීම ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ නිසාවෙන් අප ජලය පිරිපහදුවෙන් පසු පරිසර හිතකාම් ලෙස බාහිර පරිසරයට බැහැර කිරීම අවශ්‍යාතාව හඳුනාගෙන ඇති අතර එය තිරසර සංවර්ධන 2030 න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන ඉල්ලකය වී ඇත. තිරසර ලෙස අප ජල කළමනාකරණය හා මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත්කම ඒ තුළින්ද හඳුනාගෙන තිබුණි.

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළ කලාපය යනු මධ්‍යයනය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර් 300ක් හා මධ්‍යයනය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝමීටර් දෙකක සීමාවක් ඇතුළත් ප‍්‍රදේශයෙකි. 2008 අංක 27 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තිය ප‍්‍රකාරව අධිකාරියෙන් ලබාගත් අවසර පත‍්‍රයක නියමයන්ට සහ කොන්දේසිවලට අනුකූලව මිස ශ‍්‍රී ලංකා ජල තීරයට හෝ වෙනත් යම් සමුද්‍රිය කලාපයකට හෝ ශ‍්‍රී ලංකාවේ වෙරළ කළාපයට තෙල් හානිකර ද්‍රව්‍ය හෝ වෙනත් දූෂක ද්‍රව්‍යයන් බැහැරකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. තෙල් හානිකර ද්‍රව්‍ය හෝ වෙනත් දූෂක ද්‍රව්‍යන් ඉවත දමන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකට වරදකරු විය යුතුය. වරදකරු කරනු ලැබූ විට රුපියල් මිලියන හතරකට නොඅඩුවන්නා වූ සහ රුපියල් මිලියන 15ක් නොඉක්මවන්නා වූ දඩයකට යටත්විය යුතුය.

කොළඹ කොම්පැණි 115 ක කුණු වතුර මුහුදට… මැනිය නොහැකි සමුද්‍රීය විනාශයක්.... විෂ රසායනික ද්‍රව්‍යයත් ඒ අතර

ඒ කොයිහැටිවුවද මෙකී පනත් හා වගන්ති තුට්ටුවකට මායිම් නොකරමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අවසර පත‍්‍ර ලබා නොගෙන ආයතන 115ක් අපජලය මුහුදට බැහැර කරන බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශය මගින් ශ‍්‍රී ලංකාවේ අපජල කළමනාකරණයේ කාර්යක්ෂමතාව ඇගයීම සඳහා මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි. මෙකී විගණන වාර්තාවට අනුව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට ආයතන 315 මගින් මුහුදට අප ජලය බැහැර කරන බවට හඳුනාගෙන තිබුණි. ඉන් ආයතන 115ක් අදාළ අවසර පත‍්‍ර ලබා නොගෙන අපජලය මුහුදට බැහැර කරන බවට නිරීක්ෂණය වූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. තිරසාර ලෙස සාගර සම්පත් කළමනාකරණය කිරීම තුළින් ආර්ථික හා සමාජිය ප‍්‍රතිලාභ අත්කරදීම සමුද්‍රිය කලාප කළමනාකරණයේ ප‍්‍රධාන අරමුණකි. එහෙත් අපජලය මුහුදට මුදාහැරීම සම්බන්ධයෙන් හඳුනාගෙන තිබූ මුළු ආයතන සංඛ්‍යාවෙන් සියයට 50ට වැඩි ප‍්‍රමාණයක් නෛතික විධි විධාන අනුගමනය නොකිරීම තුළ සමුද්‍ර දූෂණ වැළැක්වීම මගින් අපේක්ෂිත තිරසාරභාවය අත්පත් වී නොමැති බව නිරීක්ෂණය වූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. වර්ෂ 2030 වනවිට ශ‍්‍රී ලංකාවේ ජනතාව හා ශ‍්‍රී ලංකා ආර්ථිකයෙහි යහපැවැත්ම හා ස්ථායි සංවර්ධනය සඳහා ශ‍්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර සමද්‍රිය පරිසරයක් ඇති කිරීම සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප‍්‍රධාන දැක්මයි. සමුද්‍රිය පරිසර ආරක්ෂක පනතේ ප‍්‍රතිපාදන හා එම පනත අනුව සම්පාදනය කරන නියෝග හා රෙගුලාසි පලදායි ලෙස හා ක‍්‍රියාත්මක කිරීම පරිසර ආරක්ෂණ අධිකාරියේ ප‍්‍රධාන කාර්යභාරයකි. එහෙත් පනතේ විධිවිධාන අනුගමනය නොකරන පාර්ශ්වයන් වෙත 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තිය ප‍්‍රකාරව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් කටයුතු කර නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා මුහුදු ජලයේ ගුණාත්මක භාවය, නියමිත ප‍්‍රමිතීන්ට අනුකූල නොවීමත් හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය අවදානමක් ඇතිවීමක් සිදුවී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

බස්නාහිර පළාත තුළ ජනගහනය මිලියන මිලියන 06කට ආසන්න වේ. එක් පුද්ගලයකු විසින් දිනකට උත්පාදනය කරනු ලබන අප ජලය දිනකට අවම වශයෙන් ලීටර් 200ක් ලෙස ගණන් බැලූවහොත් එම පළාත තුළින් දිනකට උත්පාදනය වන අප ජලය දළ වශයෙන් ලීටර් මිලියන 1200කි. මේවා බැහැරවන්නේ සාගර කලාපයටය. වැල්ලවත්ත හා මාදම්පිටිය පොම්පාගාරයෙන් මෙසේ උත්පාදනය වන අප ජලය බැහැර වන ප‍්‍රධාන ස්ථාන දෙකකි. විගණිත දිනය වනවිට වැල්ලවත්ත හා මාදම්පිටිය යන අපජල පිරිපහදු පද්ධති දෙකම අක‍්‍රිය වී තිබී ඇත. මේ නිසා අපජලය කිසිදු පිරිසිදු කිරීමකින් තොරව මුහුදට මුදාහරින බවට විගණනයේ දී අනාවරණය වී ඇත. මෙසේ අප ජලය හා මළ අප ද්‍රව්‍ය සෘජුවම මුහුදට බැහැරකිරීම තුළින් ඇතිවිය හැකි සමුද්‍ර දූෂණය ගැන අමතුවෙන් කිවයුතු නැත.

ඒ විතරක් නොව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ හා 2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනතේ වගන්ති මුළුමනින්ම උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ උත්පාදනය වන මළ අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරෙන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම පිරිපහදු නොකරන ලද මළ අපද්‍රව්‍යයන් මුහුදු වෙරළේ සිට කිලෝමීටරයකට වඩා වැඩි දුරකට බැහැර කරති. එහෙත් මුහුදේ ස්වාභාවික ක‍්‍රියාකාරිත්වය හා මුහුදු රළ නිසා මෙම මළ අපද්‍රව්‍ය සමග රෝග කාරකයන් මුහුදු වෙරළට එක්වීමේ අවදානමක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මුහුදු ජලයේ පවිත‍්‍රතාවය, මුහුද ජලයේ සංයුතිය, පරීක්ෂා කිරීමට අදාළ වගකිවයුතු ආයතන කටයුතු කළයුතු වේ. මේ තුළින් පරිසරික සෞඛ්‍ය හා ජන ජීවිතවලට වන බලපෑම ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.

කොළඹ නගර සභාව මගින් කොළඹ නගර සීමාවේ මළ අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ වැල්ලවත්ත හා මුතුවැල්ල යන ප‍්‍රදේශවලිනි. එහෙත් මෙකී මුහුදු වෙරළේ ගුණාත්මක භාවය පිළිබඳ අඛණ්ඩව රසායනික පරීක්‍ෂා සිදුකර නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. වැල්ලවත්ත මුතුවැල්ල මෙන්ම ගාලූමුවදොර ප‍්‍රදේශයේ මුහුදු වෙරළ විනෝද කටයුතු හා ස්නානය සඳහා භාවිතා කරති. පිරිපහදු නොකරන ලබන මළ අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම මගින් රෝග කාරකයන් මෙම ප‍්‍රදේශයේ මුහුදු ජලයේ හා මුහුදු වෙරළේ නොමැති බවට කොළඹ මහනගර සභාව මගින් තහවුරුවක් ලබාදී නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පිරිපහදු කිරීමෙන් පසු මුහුදට බැහැර කරන අපජලය කිලෝමීටර් 02ක් දුරින් බැහැර කළයුතු බවට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ සඳහන්ව ඇත. එහෙත් රත්මලාන පිරිපහදු මධ්‍යස්ථානය මගින් බැහැර කරන අප ජලය මීටර් 600ක් දුරින් මුහුදට බැහැර කරනු ලබන බව විගණනයේදී අනාවරණය වී ඇත. මේ පිළිබඳ වගකිවයුතු ආයතනවල අවධානය යොමුවී නොතිබුණි.

එමෙන්ම විගණනයට භාජන වූ රෝහල් පොදු අපජල පිරිපහදු මධ්‍යස්ථාන විසින් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාගෙන නොතිබූ අවස්ථාවන්ද නිරීක්ෂණය වී ඇත. අවශ්‍ය අවස්ථාවන්හිදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබානොගත් අවස්ථාවන්ද නිරීක්ෂණය වූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් (2020) වර්ෂයේදී ශ‍්‍රී ලංකාව වටා පිහිටි සමුද්‍රිය නාන තොටුපළ 29ක මාසික ජල තත්ත්ව පරීක්‍ෂණ සිදුකරනු ලැබීය. ඒ අතුරින් නාන තොටුපළ 10ක ජල තත්ත්වයන් දුර්වල තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය වි තිබේ. මෙම පරීක්‍ෂණ ප‍්‍රතිඵල ඛාණ්ඩ 06ක් යටතේ වර්ගකොට තිබුණි. ඉහත තොටුපළ අතුරින් කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්ක යටතේ වු ප‍්‍රධාන සමුද්‍රිය නාන තොටුපළ 03ක ජලයේ ගුණත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කොළඹ කොම්පැණි 115 ක කුණු වතුර මුහුදට… මැනිය නොහැකි සමුද්‍රීය විනාශයක්.... විෂ රසායනික ද්‍රව්‍යයත් ඒ අතර

සමුද්‍රිය කලාපය තුළ පිහිටි නාන තොටුපළ ආශ‍්‍රිත සමුද්‍රිය ජලයේ භෞතික රසායන හා ජීව විද්‍යාත්මක ගුණයන් පරීක්‍ෂා කිරීම සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකෙරේ. මේ සඳහා ඹී ෑඡු් ප‍්‍රමිතින් යොදාගෙන ඇත.

නෞකා අනතුරු මගින් ද සමුද්‍ර දූෂණයට වන බලපෑම සුළුපටු නොවේ. බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 270,000ක් රැගෙන කුවෙට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත‍්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඞ් නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරදි අනතුරට ලක්විය. 2020 සැප්තැම්බර් මස 03 වැනිදින නෞකාව ගිනිගැනීමට ලක්විය. ශ‍්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය තුළදී අනතුරට පත්වූ මෙකී නෞකාව මගින් සමුද්‍රිය පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 34 වැනි වගන්තිය යටතේ හානි අයකරගැනීම 2021 වර්ෂයේ අපේ‍්‍රල් මස 30 වැනිදින වනවිටත් සිදුකොට නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ..

මෙම නෞකාවේ ගින්න මැඬපැවැත්විම සඳහා ශ‍්‍රී ලංකා රජය මගින් දරනු ලැබූ වියදම් වෙනුවෙන් 2020 සැප්තැම්බර් මස 16 වැනිදින රුපියල් මිලියන 300ක අන්තර් පිරිවැය ඉල්ලූම් පත‍්‍රයක් හා 24 වැනිදින රුපියල් මිලියන 100 වටිනා අන්තර් පිරිවැය ඉල්ලූම් පත‍්‍රයක් අදාළ සමාගම වෙත ඉදිරිපත්කොට සම්පූර්ණ මුදල අයකරගැනීමට කටයුතු කර තිබුණි. කෙසේවුවද නිව් ඩයමන්ඞ් නෞකාවට අදාළව තෙල් විසුරුම් මගින් දූෂණය සිදුකිරීමේ වරද මත නෞකාවේ නෞකාධිපතිට එරෙහිව නඩු පවරා තෙල් දූෂණයට අදාළව රුපියල් මිලියන 10ක දඩමුදලක් අයකරගෙන තිබුණි. එමෙන්ම නෞකාවේ අනතුරක් සම්බන්ධයෙන් වූ දූෂණ සම්බන්ධව වෙරළබඩ රාජ්‍යයට වාර්තා නොකිරීමට අදාළව මෙකී නෞකාවේ නෞකාධිපතිට එරෙහිව නඩු පවරා රුපියල් මිලියන 02 දඩ මුදලක්ද අයකරගෙන ඇත.

එමෙන්ම 2020 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනි දින මෙම නෞකාවේ ගිනි ගැනීම පාලනය කිරීම සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ඇමරිකාඩු ඩොලර් 280,000ක මුදලක් ඉල්ලම් කොට තිබුණි. මෙකී මුදල අදාළ නැව් සමාගම විසින් මහාභාණ්ඩාගාරය වෙත තැන්පත්කොට තිබූ අතර එම මුදලින් රුපියල් මිලියන 45.54ක් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත මහාභාණ්ඩාගාරය මගින් ලබා දි තිබුණි.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ප‍්‍රාදේශීය කාර්යාල 14ක් ස්ථාපිත කොට ඇත. එහෙත් හදිසි තෙල්විසුරුම් සඳහා අවශ්‍ය උපකරණ කිසිවක් එම කාර්යාලවල නොමැති බවද අනාවරණය වී තිබේ. ප‍්‍රාදේශීය කාර්යාල 14 අතුරින් ගාල්ල ප‍්‍රාදේශීය කාර්යාලය සඳහා පමණක් රසායනාගාර පහසුකම් පවතින අතර අනෙකුත් කිසිදු කාර්යාලයකට රසායනාගාර පහසුකම් නොමැති බව නිරීක්ණෂණය වූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ගාල්ල රසායනාගාරයේ වුවද සාගර ජලයේ දූෂණයට අදාළ වන සියලූ දූෂ්‍ය කාරකයන් පරීක්‍ෂා කිරීමේ පහසුකම් නොතිබූ බවද විගණන පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. මුලතිව් ප‍්‍රාදේශීය කාර්යාලය සඳහා සේවකයන් නොමැති අතර පුත්තලම ප‍්‍රාදේශීය කාර්යාලය සඳහා එක් සේවකයෙකු පමණක් යොදවා ඇති බවද
විගණනයේදි නිරීක්ෂණය වී ඇත.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් පළාත් 05ක වෙරළබඩ දිස්ත‍්‍රික්ක 14ක් ආවරණය පරිදි මෙම ප‍්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඇත. දකුණු ආසියානු තෙල් රසායන ද්‍රව්‍ය විසිරීමකදී ක‍්‍රියාත්මක සැලැස්මක් සකස්කර තිබූ අතර ශ‍්‍රී ලංකාවද මෙම සැලැස්මේ පාර්ශ්වකරුවකු වේ. එවැනි සැලැස්මක් පැවතියද දකුණු ආසියානු සහයෝගිතා පාරිසරික වැඩසටහනක් යටතේ එම කටයුතු සම්පූර්ණයෙන්ම සම්බන්ධීකරණය කර නොතිබුණි. මේ නිසා දකුණු ආසියාතික කලාපය තුළ විශාල ප‍්‍රමාණයේ තෙල් විසිරීමකදී ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බව අනාවරණය වූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment