කොළඹ ඩී. එස්. සේනානායක විදුහලට පෙරළිකාර ජයක්

108

“ඩයලොග් අභියෝග කුසලානය”

“ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ ලීග් ශූරතා ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලියේ දෙවන සතිය ආරම්භ කරමින් සෙනසුරාදා (22දා) පැවති තරග ආශ්‍රිතව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ ඩී. එස්. සේනානායක විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ, මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 14 – 10 ක් ලෙස හැව්ලොක්ස් පිටියේ දී පරාජයට පත් කරමිනි. එමෙන්ම, පෙරේදා පැවති තරග ආශ්‍රිතව ජයග්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර ධර්මරාජ, කොළඹ ශාන්ත ජෝසප්, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ වෙස්ලි සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් සමත් විය.

මෙවර තරගාවලියේ කුළුඳුල් ජයග්‍රහණ සටහන් කර ගැනීමට ශාන්ත තෝමස්, ශාන්ත ජෝසප් සහ ධර්මරාජ යන විදුහල්වලට හැකියාව ලැබීම ඒ අතරේ කැපී පෙණුනි. ශාන්ත පීතර, ඩී. එස්. සේනානායක සහ වෙස්ලි යන විදුහල් තම දෙවන ජයග්‍රහණය සටහන් කර ගනිමින් අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගත්තේය.

සෙනසුරාදා (22දා) පැවති තරග ආශ්‍රිතව විශාලතම ජයග්‍රහණය සනාථ කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය. ඒ, ප්‍රතිවාදී කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 67 කින් පරාජය කරමිනි.

දෙවන විශාලතම ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වූයේ නිත්තවෙල පිටියේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහල ලකුණු 43 කින් පරාජය කරමිනි.

මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 20 ක ජයග්‍රහණයක් ධර්මරාජ විදුහලට ද මහනුවර ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 07 ක ජයක් ශාන්ත තෝමස් විදුහලට ද මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 04 ක ජයක් ඩී. එස්. සේනානායක විදුහල ද කොළඹ සහිරා විදුහලට එරෙහිව ලකුණු 04 ක ජයක් ශාන්ත ජෝසප් විදුහල ද මේ සතියේ හිමි විය.

ලකුණු පුවරුව

ධර්මරාජ විදුහල 32, ශ්‍රී සුමංගල විදුහල 12, ඩී. එස්. සේනානායක විදුහල 14, ත්‍රිත්ව විදුහල 10, ශාන්ත තෝමස් විදුහල 24, ශාන්ත අන්තෝනි විදුහල 17, ශාන්ත පීතර විදුහල 46, කිංග්ස්වුඩ් විදුහල 03, ජෝශප් විදුහල 26, සහිරා විදුහල 22, වෙස්ලි විදුහල 70, තර්ස්ටන් විදුහල 03.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment