කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් සී.අයි.ඩී. යයි

656

ෆේස් බුක් සටහනක් ගැන විමර්ශනයක් ඉල්ලා

තමා සහ තම පවුලේ සාමාජිකයන් මරා දමව් යනුවෙන් මුහුණු පොතේ පළවූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ඉල්ලා, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර තිබේ.

ඉසුරු සුරවීර නමැත්තකු විසින් පෙරේදා (01දා) එකී පෝස්ටුව පළකර තිබූ බවත් ‘මෝඩාභිමානය’ නමැති ප්‍රහසන වැඩසටහනේ දී බෞද්ධ ධර්මයට අපහාස වන ලෙස අදහස් දක්වමින් වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය නමැත්තිය ඇතුළු පිරිසකට එරෙහිව තමන් විසින් මින් පෙර ලබාදී තිබූ නියෝගයක් මුල්කරගෙන එකී පෝස්ටුව පළකර ඇති බව පෙනෙන්නේ යැයි ද තිළිණ ගමගේ මහතා පෙන්වා දී තිබේ.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ ඔහුගේ සගයකු යැයි කියන කුඩු සළිඳු හෙවත් සළිඳු ගුණරත්න නමැත්තා සම්බන්ධයෙන් තමා මින් පෙර ලබාදී තිබූ නියෝග මුල්කරගෙන තමාට එල්ලවූ මරණීය තර්ජන සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සිය ආරක්ෂාව වෙනුවෙන් වැඩිපුර පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම පැමිණිලි මගින් පෙන්වාදී තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment