කොළඹ මාතෘ නිවාස තුනක කෝටි 3ක අතිකාල ගිලලා – හිටපු නාගරික මන්ත්‍රිවරු චෝදනා කරති

1083

ගැබිනි මව්වරුන් හරවලා යවනවලු

චෝදනා පදනම් විරහිතයි – කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය

අතිකාල කතාව ගැන සොයා බලන්නම් – නාගරික කොමසාරිස්

කොළඹ මහ නගර සභාවට අයත් ජන සෞඛ්‍ය අංශයේ මාතෘ නිවාස 3ක සේවා කටයුතු හරියාකාරව සිදුනොවන බවත් එහි සේවය කරන වෛද්‍යවරුන්, මේට්‍රන්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල වෙත 2023 වර්ෂයේ අමතරව රුපියල් කෝටි 3කට අධික අතිකාල ගෙවා ඇති බවත් නගර සභා හිටපු මහජන නියෝජිතයෝ කීපදෙනකු “දිවයින”ට පැවැසූහ.

නගර සභා විගණන වාර්තාවන්ට අනුව තමන් මේ සම්බන්ධයෙන් නගර සභා පාලකයන්ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා පැමිණිලි කර ඇතැයි ද ඔවුහු කීහ.

කොළඹ 10 මාලිගාවත්ත, නිව් බසාර් සහ මෝදර යන මාතෘ නිවාසවල සේවය කරන වෛද්‍යවරුන්, මේට්‍රන්වරු, හෙද සොයුරියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, සෞඛ්‍ය කාර්ය සහායකවරුන්, රාත්‍රි මුරකරුවන්, ගිලන් රථ රියදුරන්, සහායකයන් දින 365 ම ජනතාවගේ බදු මුදලින් අතිකාල ලබාගන්නා බව ඔවුහු පැවසූහ.

රාත්‍රි සේවයේ නිරත සියලු දෙනා (මුරකරු ඇතුළුව) රෝහලට අගුළු දමා රෝහල් තුළ නිදාගන්නා නිසා ඉඳහිට හෝ විලිරුදාව ඇති මවක පැමිණිය ද වාට්ටුව තුළ මරනින්දේ සිටින කාර්ය මණ්ඩලය නොදන්නා බවද ඔවුහු කියා සිටියහ.

එසේම නගර සභා වෛද්‍යවරුන් සියලු දෙනාම උදෑසන සායනවලදී මව්වරුන්ට නගර සභා මාතෘ රෝහල්වල පහසුකම් නොමැති නිසා ප්‍රසවයන් සඳහා නොපැමිණෙන ලෙස පවසා ඇතැයි දැනගන්නට තිබෙන බවද නගර සභාවේ හිටපු දේශපාලනඥයෝ කියා සිටියහ.

තමන් වෙත එම දෙමාපියන් පැමිණ පැමිණිලි කළ බවද ඔවුහු කීහ.

කොන්ත්‍රාත් පදනමේ සේවයේ නියුතු සේවකයන්ට පවා විශාල අතිකාල මුදල් ගෙවා ඇතැයි විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ඔවුහු කියා සිටියහ.

දිවයිනේ අනෙකුත් කිසිදු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල රාත්‍රි කාලයේ අතිකාල නොගෙවන බවත් මෙම මාතෘ නිවාසවල සේවය කරන නිලධාරීන් රාත්‍රි අතිකාල ලබාගන්නා බවට ඔවුහු චෝදනා කරති.

අපි මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චින්තා ජයම්පති මහත්මියගෙන් විමසා සිටියෙමු.

“මේ එල්ල කරන චෝදනා පදනම් විරහිතයි. අඩු කාර්ය මණ්ඩලයක් යටතේ තමයි මේ සේවාවන් සපයන්නේ. මෙතනට බබාල හම්බවෙන අම්මලා එනවා. ඔවුන් වෙනුවෙන් දිවා කාලයේ කළ හැකි සේවාවන් උපරිමයෙන් කරනවා. තව සායනික කටයුතුත් උපරිමයෙන් කරනවා. ඕනම කෙනකුට චෝදනා එල්ල කරන්න පුළුවන්.

අප මේ ගැටලු සම්බන්ධයෙන් කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් විමසූවිට කියා සිටියේ එම මාතෘ නිවාසවලින් සේවාවන් සිදු නොවන්නේ නම් ලබන වසරේ එම මාතෘ නිවාස තුන බෙහෙත් ශාලා සඳහා යොදාගන්නා බවයි.

අමතර අතිකාල ලබාගැනීමේ ප්‍රශ්නය ගැන සොයා බලන බවද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment