කොළඹ වතු සුද්ධ කළොත් පාතාලය ඉවරයි

580

කොළඹ ග්‍රාම සේවා වසම් 55න් වසම් රැසක දරුවන්ට පොතක් කියවන්න පුස්තකාලයක් නැහැ

අවිධිමත් අධ්‍යාපනය කොළඹ වතුවල තරුණයන් අපරාධවලට යොමු වීමට හේතුවක් වෙලා.

තරුණ තරුණියන් අති බහුතරයක් විරැකියාවෙන්

පාතාලයේ තිඹිරි ගෙය බවට පත්ව තිබෙන වතු සංස්කෘතිය

නගරය පිරිසිදු නොවීමෙන් රටට මඟ වරදින හැටි

ඇතැමුන් එහෙන් මෙහෙන් විවිධ කතා තවමත් කියමින් සිටියද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් ගෙදර යැවූ අරගලය දැන් අවසන්ය. එහි නිමාව සිදුවූයේ අලි ජංජාලයක් ලෙසිනි. ඒ ගැන කියන්නට වචන නැත.

ඇතිවූ ආර්ථික අපහසුතා සමඟ ඉන්ධන, ගෑස්, විදුලිය ආදී වශයෙන් අත්‍යවශ්‍ය දේ හිඟ වෙද්දී දැනුන පීඩනය හමුවේ රටේ සාමාන්‍ය ජනතාව වීදි බසින්නට වීමත් සමඟ මුලින්ම සැබෑ අරගලය ආරම්භ විය. එසේ ජනතාව වීදි බැසීමෙන් පසු ඊළඟට සිදුවූයේ කුමක්ද? නොයෙකුත් පාර්ශ්ව දේශපාලනික වශයෙන් මෙන්ම තවත් විවිධ අරමුණු වෙනුවෙන් අරගලය හයිජැක් කළේය. එම තතත්වයත් සමඟ අවසානයේ සිදුවූයේ අරගලය මුළු රටටම මළකරදරයක් වීමය. ඉන් එහා සිවූ දෙයක් නැත.

අරගලය ඇරඹෙත්දී සද් අරමුණු ඇතිව එයට එක්වූ මේ රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටියේ නිදහසින් පසුව ගෙවී ගිය වසර හැත්තෑහතරක දේශපාලන ගමන් මඟ වෙනස් කෙරෙමින් රට ධනාත්මක මාවතකට ගෙන යෑමේ සිස්ටම් චේන්ජ් එකකි. ඔවුන්ගේ ඉලක්කය එය විය.

එහෙත් අරගලය මළකරදරයක් වී අවසන් වුවත් අදටත් රටේ තාරුණ්‍යයේ ඒ බලාපොරොත්තුව ඉටුවී තිබේද? නැත. මේ කියන සිස්ටම් චේන්ජ් එක යනු අපට කළ නොහැක්කක්ද? එය සිදුකිරීමට පුළුවන. අවශ්‍යව තිබෙන්නේ අපට වැරදුණු තැන් හොඳින් හඳුනාගෙන ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යෑමය. එවිට කාටත් නොදැනීම සිස්ටම් එක චේන්ජ් වනු ඇත.

කොළඹ වතු සුද්ධ කළොත් පාතාලය ඉවරයි

මේ වන විට සිය ජීවිත ගමනේ සිව්වැනි දශකයේ අවසන් කොටස හෝ පස් වැනි දශකයේ ආරම්භය ගත කරමින් සිටින මෙරට වැසියෝ භීෂණය යනු කුමක්දැයි අත්දැකීමෙන් දැන සිටිති. ඔවුන්ට ඒ වැටහීම ලබා දුන්නේ වර්ෂ 1988-89 සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළා වූ අයාලේ ගිය රාජ්‍ය විරෝධී කැරැල්ල සහ එයට එරෙහිව එවකට රජය ක්‍රියාත්මක කළ සන්නද්ධ මර්දනය විසිනි. මේ අත්දැකීම මෙරට වත්මන් තරුණ පරපුරට නැත. 1988-89 භීෂණයේදී රටට අහිමි වූ තරුණ ජිවිත ගණන හැටදහසක් තරම් විශාල බව පසුව සිදු කෙරුණු සමීක්‍ෂණ මගින් අනාවරණය වී තිබිණි. එකී භීෂණයෙන් මේ රටට සිදුවූ එකම විනාශය එය එපමණක්ම වූයේද? නැත. උතුරේ එල්ටීටීඊ ත්‍රස්තවාදය ක්‍රියාත්මකව තිබියදීත් එතෙක් සිදු නොවුණු නාඳුනන තුවක්කුකරුවා මෙරට සමාජයට කාන්දු වූයේ 88-89 භීෂණයත් සමඟිනි. අද මුළු රටටම පිළිලයක් වී තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සංස්කෘතියේ තිඹිරි ගෙය වූයේද 88-89 භීෂණය ය.

ජවිපෙ කැරැල්ලට එරෙහිව ක්‍රියාත්මත කෙරුණු සන්නද්ධ රාජ්‍ය මර්දනයෙදී එසේ පාතලයට රන් කිරි කටගෑම සිදු කෙරිණි. අතීතයේ කඩුවෙන් කිණිස්සෙන් ගමට ගොන් පාට් දැමූ ගමේ චණ්ඩි වෙනුවට සොත්ති උපාලි, නාවල නිහාල්, තුම්මුල්ලේ පද්මේ ආදී වශයෙන් ටී 56 න් හා රිවෝලරයෙන් ප්‍රශ්න විසඳන පාතාලයන් හෙවත් සංවිධානාත්මක සන්නද්ධ අපරාධකරුවා මුල්වරට මෙරට තුළ කරළියට එන්නේ එහිදීය. එකී ආරම්භය අද මේ රටට මොනතරම් විනාශයක්, පීඩනයක් ගෙනදී තිබෙන්නක්ද? රටේ සමස්ත සමාජයට සිදුව ඇති විනාශය සුවිශාලය. එසේම පාතාල ගිනි කෙළි සංදර්ශන හමුවේ මරණය සිල්ලර වෙද්දී තත්ත්වය පාලනය කරමින් පාතාලයන් මර්දනය කිරීම උදෙසා පොලිසිය හා ආරක්‍ෂක අංශ යෙදවීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට පාලකයන්ට සිදුව ඇත. එසේ වැය වෙන්නේ ද ජනතා මුදල්ය.

ඇත්ත එසේ වෙද්දී වර්තමානයේ පමණක් නොව දැනට කාලයක සිටම සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීම උදෙසා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සිදු කළ සහ සිදු කරනු ලබන මෙහෙයු රාශියකි. මෙහිදී ඇතැම්විට ආයුධ පෙන්වීමට යන පාතාලයෝ පොලිස් වෙඩි කා නසිති. තවත් අය පොලිසියෙන් බේරීමට දිව ගොස් අත් මාංචුපිටින්ම ගඟේ මුහුදේ පනිති. පැනයන්නට ගොස් කඳුවලින් ඇද වැටී මැරෙන පාතාලයෝද සිටිති.

එහෙත් මේ අන්දමට පාතාලයන්ගේ ඉරණම මොන ආකාරයෙන් විසඳෙමින් තිබුණද අදටත් මෙරට තුළ පාතාලයේ මර්දනයක් සිදුව තිබේද? ආරක්‍ෂක අංශ ඇතුළු පොලිසිය කුමන අන්දමින් ක්‍රියාත්මක වුවද මේ මොහොත දක්වාමත් එවැන්නක් සිදුව නැත. මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක වීමේදී ඇතැම් අවස්ථාවල අක්‍රීයව සැඟව යන පාතාලයෝ ලිහිලක් ලද වහා යළි නැගී සිටින්නාහ. එසේම එකකු මියගිය කල්හි ඒ තැන ගෙන කල්ලිය ඉදිරියට රැගෙන යෑමට සිටින්නෝද බොහෝය. ඇතැම් දේශපාලනඥයන්ගෙන් ලැබෙන සහායද මර්දනය කෙසේ වෙතත් මෙරට පාතාලයේ වර්ධනයට කලක සිටම ප්‍රබල ආශීර්වාදයක් වී ඇත.

තිත්ත ඇත්ත එසේ වුවද මේ සියලු අභියෝග ජයගෙන ඝාතනය තුළින් විසඳුම් නොසොයා සංවිධානාත්මක අපරාධකරුවා හා අපරාධ පාලනය කරගනිමින් තත්ත්වය හැකිතාක් සමනය කරගැනීම පිණිස ගමනක් යෑමට අදටත් රටක් වශයෙන් අපට නොහැකිව තිබේද? පුළුවන. ඒ සඳහා පැහැදිලි හැකියාවක් අපට ඇත. එවැන්නක් කරනු පිණිස ආරක්‍ෂක අංශ සහ පොලිසියේ සිටින දක්‍ෂයෝද බොහෝය. තිබෙන පහසුකම්ද රාශියකි.

එහෙත් මෙහිදී ලෝක උදාහරණද ගෙන ඒ ගමන අප යායුතුව තිබෙන්නේ විධිමත්වය. එසේම බුද්ධිමත් ලෙසින්ය. මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි හෙවත් පාතාලයන් සම්බන්ධයෙන් විමසීමෙන් බැලීමේදී ඒවායෙන් අති බහුතරයක කේන්ද්‍රීය සක්‍රීය භූමිය බවට අද කොළඹ නගරය පත්ව තිබෙන බව පැහැදිලි කරුණකි.

මෙවන් තත්ත්වයක් ඇති වීමට ප්‍රබල ලෙස හේතු වී තිබෙන්නේ කොළඹ නගරයේ ඇති අඩු අධ්‍යාපනයක් සහිත අධික ජනගහනයක් ජීවත් වන වතු, පටුමඟවල්, ඇළ මාර්ග දෙපස එක පොදියට ඉදිවී තිබෙන නිවාස සහිත ස්ථාන, කොළනි සහ වගුරු බිම් ආශ්‍රිතව ඉදි කෙරුණු ජනාවාස ආදිය ය. මෙවැනි ස්ථාන දහස් ගණනක් අද කොළඹ නගරයේ ඇත. කොළඹ එකේ සිට පහළොව දක්වා වූ ග්‍රාම සේවා වසම් පනස්පහකට අදාළ භූමියෙන් ග්‍රාම නිලධාරී වසම් හය හතක් හැරෙන්නට අන් සියල්ලකම පාහේ අවිධිමත් ජීවන රටාවකට හුරුවූ මිනිස්සු ලක්‍ෂ පහකට අධික පිරිසක් ජීවත් වෙමින් සිටිති.

මෙකී මිනිසුන් ජීවත්වන ප්‍රදේශයන්හි සිවිල් පරිපාලන වගකීම පැවරී ඇති ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාස දෙකක් කොළඹ ඇත. ඉන් එකක් වන්නේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ය. දෙවැන්න වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් නම්කර ඇත. මේ දෙක අතරින් වැඩිම වතු හා පටුමඟවල් ආදී වශයෙන් වූ අඩු අධ්‍යාපනයක් මෙන්ම අවම පහසුකම් සහිත ජනතාවක් වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජීවත් වෙති.

එසේම එවැනි මිනිසුන් තවත් අති බහුතරයක් සිටින කිරුළ, කිරුළපන, නාරාහේන්පිට, පාමංකඩ, ගෝතමීපුර, බොරැල්ල, වනාතමුල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශ අයත් වන්නේ තිඹිරිගස්යාය ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයටය. කොළඹ නගරයේ ඇති මෙකී ප්‍රදේශ ගෙන බැලීමේදී දක්නට ලැබෙන තත්ත්වය කෙබඳු එකක්ද?

මෙම වතු, පටුමඟවල් ආදියෙහි ජීවත් වන විශාල පිරිසක් සමෘද්ධි ලභීහුය. එයින් ගම්‍ය වන කරුණ වන්නේ ඔවුන් දිළින්දන් යැයි යන්නය. එසේම වයස අවුරුදු 20-35 අතර පසුවන නිසි අධ්‍යාපනයක් නොලැබූ දසදහස් ගණනක් තරුණ ප්‍රජාවක් මෙවායෙහි ජීවත් වන්නාහ. ඔවුහු අති බහුතරයක් දෙනා විරැකියාවෙන් පෙළෙන්නාහ. එනිසාම ඕනෑම නීති විරෝධී කාර්යයක් සිදු කිරීමට එකී තරුණ ප්‍රජාව දෙවරක් නොසිතාම පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. යම් වරදක් හමුවේ අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත වීම යනු ඔවුනට නිවසේ ජීවත් වීමට වඩා පහසුය. නිවසේ පරිසරය ඒ තරමටම ජරාජීර්ණ වී ඇත.

කොළඹ වතු සුද්ධ කළොත් පාතාලය ඉවරයි

මෙකී ග්‍රාම සේවා නිලධාරී වසම් පනස්පහ අතරින් හත අටක හැරෙන්නට හැදෙන දරුවකුට පොතක් පතක් පරිශීලනය කිරීමට හැකි පුස්තකාලයක් අනෙක් කිසිවකත් නැත. බහුතරයක් දෙනාට විධිමත් වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැත. එකිනෙකට බැඳී පවතින නිවාස පොදියක් පැවතීම මෙන්ම එක් නිවසක ජීවත් වන සාමාජිකයන් ප්‍රමාණය විශාල වීම වැනි හේතූන් නිසා මේ කිසිවකුටත් පෞද්ගලිකත්වයක්ද නැත. හැදෙන දරුවකුට, තරුණයකුට ක්‍රීඩාවක් කළ හැකි පරිදි ක්‍රීඩා පිටියක් ඉදිවී තිබෙන්නේ මෙකී ග්‍රාම සේවා වසම් අතරින් දෙඅතේ ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයකය. එකී ජීවිත ඉතාම කර්කෂය. දුක්බරය. ඒවායෙහි ජීවන රටාවේ විධිමත් බවක් ඇත්තේම නැත. සියල්ල අයාලේ ගොසිනි.

ඔවුන් ක්‍ිවත් වන පරිසයේ යටිතග ලහසුකම්හි පවතින අඩුපාඩුද බොහෝය. එනිසාම මේ මිනිසුන්ට ගෙවීමට සිදුව තිබෙන්නේ අපාගත ජීවිතය. එම තත්ත්වය තුළ මේ මිනිසුන්ගේ දරුවන් බහුතරයක් හැදී වැඩෙන්නේද සමාජ වෛරය උපතින්ම රැගෙන ආ පරිදිය.

එසේම ඕනෑම මත්ද්‍රව්‍යකින් ස්වයං පෝෂිත මෙම භූමියන්හි පවතින්නේ සාමාන්‍ය සමාජයට බද්ධ කළ නොහැකි වෙනම උප සංස්කෘතියක් යැයි කිවහොත් එහිද වරදක් නැත. අද මේ රටේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බොහෝ නීති විරෝධී දේ සිදු කෙරෙන්නේ මෙකී ස්ථාන කේන්ද්‍රීයවය. යථාර්ථය එසේ වුවද මේ වන විට කොළඹ නගරයේ තිබෙන මෙවැනි වතු, පටුමඟවල් ආදී වශයෙන් වූ දුක්බර ජීවන තත්ත්වයකට උරුමකම් කියන මිනිස්සු ජීවත් වන ස්ථාන ප්‍රමාණය කොතෙක් දැයි ඉලක්කමෙන් සඳහන් කිරීමට එම ප්‍රදේශයන්හි පරිපාලනය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකටම හැකියාවක් නැත. එය කණගාටුවෙන් සඳහන් කළ යුතුව ඇත. වගකීම පැවරුණෝ කොතරම් අක්‍රීයදැයි පෙන්වා දෙන්නට එයට වඩා උදාහරණයක් තවත් නැත.

සාමාන්‍යයෙන් රටක් දියුණුව කරා ගමන් කිරීමේදී එම රටේ සක්‍රීය අගනගරය අපරාධවලින් සහ දූෂණයෙන් තොර එකක් වීම අතිශය වැදගත් බව බොහෝ දියුණු රාජ්‍යයන් අද ලෝකයට ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි. සත්‍ය එය වන්නේ නම් කොළඹ නගරයේ තිබෙන මෙකී තත්ත්වය තුළ අද කියැවෙමින් තිබෙන්නේ රටක් වශයෙන් පසුගිය කාලයේ බොහෝ බැටකෑ සහ අදටත් බැට කමින් සිටින අපි තවමත් නිවැරදි මාවතට අවතීර්ණ වී නැතැයි යන්න නොවේද?

පැහැදිලිවම මෙහිදී ප්‍රදර්හනය වෙමින් තිබෙන්නේ අපේ ඒ නොහැකියාවය. කොළඹ නගරයේ අද පවතින පටුමඟවල්, වතු ආදිය රටට පෙන්වා දෙන යථාර්ථය වී එය බවට පත්ව ඇත. ඉතිං අප සංවිධානාත්මක අපරාධ සහ මත් ජාවාරම පාලනය කෙරුණු රටක් කෙසේ ඇති කරන්නද?

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළාකාය ඍජුවම යෙදවීමට ඉකුත් සිකුරාදා සිට රජය තීන්දු කරනු ලැබිණි. එහෙත් පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ජන්ම භූමීන් ලෙස පෙන්වා දිය හැකි කොළඹ නගරයේ තිබෙන වතු, පටුමඟවල්, අනවසර ජනාවාස සහ කොළනි ආදිය පවිත්‍ර කරන තුරු විශේෂ කාර්ය බළාකාය තබා කුමක් යොදවනු ලැබුවද අපට එය සිදුකළ නොහැක්කේමය. අප සෑබෑවටම රට ගොඩ නැඟීමේ අරමුණින් තීන්දු තීරණ ගන්නේ නම් මුලින්ම කළ යුතු වන්නේ රටේ සක්‍රීය අගනගරය ලෙස පවතින කොළඹ නගරය අපරාධවලින් සහ දූෂණයෙන් තොර පවිත්‍ර කලාපයක් බවට පත් කිරීමය. එය සිදු නොකරනතුරු කිසිසේත්ම ගමන යා නොහැකිය.

එකී පිරිසිදු කිරීම සිදු කළ යුත්තේ කෙසේද? මෙහිදී අප මුලින්ම කල්පනා කළ යුතුව තිබෙන්නේ ඉහත කී කොළඹ නගරයට අදාළ විෂම පරිසරයක් සහිත ප්‍රදේශයන්හි ජීවත් වන මිනිසුන්ගේ මීළඟ පරම්පරාව යහපත් මිනිසුන් ලෙස ගොඩ නඟන්නේ කෙසේද කියාය. එය සිදුකරන්නට නම් පළමුව එකී වතු, පටුමඟවල් සහ කොළනි ආදී වශයෙන් පවතින පරිසරයන්හි ඇති සියලු නීති විරෝධී දේ සහ අවි ආයුධ ආදිය ඉවත් කිරීමට කඩිනමින් පියවර ගත යුතුය. මේ රටේ සිටිනුයේ ත්‍රස්තවාදයක් පරාජය කළ ත්‍රිවිධ හමුදාවක් සහ පොලිසියකි. එකී ආරක්‍ෂක අංශ සතුව නවීන තාක්‍ෂණික උපකරණ ආදියද බොහෝමයකි. සාමාන්‍යයෙන් කිසියම් ස්ථානයක තිබෙන ගිනි අවියක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් සොයා ගැනීම පිණිස අඩි හය හතක් පොළව යට නිරීක්‍ෂණය කළ හැකි උපකරණද ඒ අතර ඇත.

එම තත්ත්ව තුළ සියල්ලෙන් සන්නද්ධව රටේ ආරක්‍ෂක අංශ සහ පොලිසිය එක්ව සැලසුම්සහගතව සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමක් මගින් කොළඹ නගරයේ ඇති ඉහත කී අහිතකර පරිසරයක් සහිත ප්‍රදේශවලින් දෙකතුනක් තෝරාගෙන එකවර දැවැන්ත පරීක්‍ෂාවකට ලක් කිරීම යනු ඉතාම පහසු කටයුත්තකි. මෙහිදී අපරාධ සිදුවීමේ ප්‍රවණතාව ආදී වශයෙන් කරුණු සලකා බලා ක්‍රියාත්මක වීම ප්‍රතිඵලදායක විය හැකිය. එසේ කිසියම් ප්‍රදේශයක් පූර්ණ සෝදිසියකට ලක් කර මුළුමනින්ම පිරිසිදු කලාපයක් බවට පත් කිරීමෙන් අනතුරුව සිදුවිය යුතුව තිබෙන්නේ යළි කිසිදු ආකාරයකින් එකී භූමියට අවි ආයුධ මත්ද්‍රව්‍ය ආදී කිසිවක් ඇතුළු විය නොහැකි සේ සියල්ල ආවරණය කිරීමය.

මෙහිදී මෙහෙයුමට භාජනය කළ වත්තේ හෝ පටුමගේ පිවිසුම් ස්ථානයන්හි පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීම නැතහොත් සන්නද්ධ හමුදා ආරක්‍ෂාවක් යෙදීම සහ ආරක්‍ෂිත කැමරා සවි කිරීම ආදී ක්‍රම තුළින් එය සිදු කළ හැකිය. මේ අන්දමට සිදු කෙරෙන විධිමත් සහ සැළසුම් සහගත මෙහෙයුම් මගින් කොළඹ නගරයේ ඇති ඉහත කී ප්‍රදේශවල පවිතන දූෂිත බව මාස කිහිපයක් තුළ මුළුමනින්ම ඉවත් කර ඒවා පිරිසිදු කලාප බවට පත් කිරීමට ආරක්‍ෂක අංශවලට සහ පොලිසියට පැහැදිලි හැකියාවක් ඇත.

මෙහිදී සියලු දෙනාගෙ අවංකභාවය සහ කාර්යයට ඇති වුවමනාව අතිශය වැදගත්ය. මෙසේ කටයුතු සිදු කළහොත් එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද? එමගින් සිදු වන වැදගත්ම කාර්යය වන්නේ රටේ සක්‍රීය අග නගරය ලෙස සැලකෙන කොළඹ නගරය සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් තොර කලාපයක් බවට පත්වීමය. ඒ හරහා සිදුවන දෙවැනි වැදගත්ම දේ වන්නේ කොළඹින් පිටත ප්‍රදේශයන්හි සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතුවලද දැනෙන මර්දනයක් සිදුවීමය. ඕනෑම ක්‍රියාවලියක කේන්ද්‍රයට පහර වැදුණ කල සෙසු කොටස් අඩපණ වීම ඉබේම සිදු වන්නකි. පැහැදිලිව කිවහොත් රටක් ලෙස වගකීම් සහිතව කටයුතු කරමින් මෙය සිදු කිරීමට අපට කටයුතු කළහොත් මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය වැනි ජාවාරම්හි ජාලගත ක්‍රියාකාරකම් සියයට පනහකින් පමණ එකවර අවම කිරීමේ පැහැදිලි හැකියාවක් රටක් වශයෙන් අපට ඇත.

අප ඒ බව සඳහන් කරනුයේ ආරක්‍ෂක අංශ සහ පොලිසියේ ප්‍රධානීන් ඇතුළු සියලුම වගකිව යුතු පාර්ශ්වවලට නිවී සැනසිල්ලේ කල්පනාකර බලනු පිණිසය. රටේ පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධ මර්දනයේ පියවරක් ලෙස මෙසේ කොළඹ නගරය පිරිසිදු කෙරෙත්දී එකී ක්‍රියාදාමයේ වැදගත්ම අදියර ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. එනම් කොළඹ අවිදිමත් පරිසරයන්හි ජීවත් වන මිසිනුස් අතර සිටින ඊළඟ පරම්පරාව යහපත් පුරවැසියන් බවට පත් කිරීමේ කොටසය. විධිමත් පුහුණුවක් ලද පුහුණු ශ්‍රමිකයන්ට අද විදේශීය රටවල රැකියා වෙළෙඳ පොළේ පවතින්නේ ඉහළ ඉල්ලුමකි. එසේම ශ්‍රී ලංකාව අද පවතින්නේ ආර්ථිකමය වශයෙන් කඩා වැඩුණු රාජ්‍යයක් ලෙසිනි. මෙම තත්ත්වය තුළ ඉහත කී කොළඹ නගරයේ ඇති වතු, පටුමඟවල් සහ කොළනි ආදියේ ජීවත් වන නිසි අධ්‍යාපනයක් නොලද අනාගතය බිඳවැටී සිටින තාරුණ්‍යයට සැළසුම්සහගතව කරනු ලබන අවිධිමත් අධ්‍යාපනයක් තුළින් නිසි වටිනාකමක් ලබා දෙන්නට අණ්ඩුවට පුළුවන. ඒ සඳහා පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන රාශියකි. එකී තරුණ තරුණියන් අවිධිමත් අධයාපනය තුළින් කිසියම් ශිල්පයක නිපුනයන් බවට පත් වෙද්දී විසඳුම් ලැබෙන්නේ එතෙක් ඔවුන්ට පීඩා ගෙන දුන් විරැකියාවටය. එහිදී කොළඹ ජරාජීර්ණ වූ පරිසරයක හැදී වැඩුණු එකී පරපුර පුහුණු වඩු කාර්මිකයන්, පෙදරේරුවන්, කාර්මික ශිල්පීන්, රථවාහන විදුලි ශිලපීන් සහ විදුලි කාර්මිකයන් ලෙසින් විදේශ රැකියා වෙළඳ පොළ දක්වාම ගමන් කරනු ඇත. එසේ නොවන්නේ නම් ඔවුහු දේශීය වශයෙන් හෝ රැකියාවකට යොමුවීම නියතවම සිදුවෙති. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමක්ද? එතැන් සිට කොළඹ නගරයට ව්‍යසනයක්ව අවිධිමත් ලෙස පැවති තමන් ජීවත් වූ වත්ත, පටුමඟ හෝ කොළනිය විධිමත් ලෙස ගොඩනඟන්නට ඔවුහු කටයුතු කරන්නාහ. ක්‍රමයෙන් නගරයට බරක් වූ එකී පරිසරයන් යහපත් තැන් බවට පත් වනු ඇත. මෙහිදී අවසානයට සිදුවන අතිශය වැදගත්ම කාරණය වන්නේ එතෙක් වත්තේ හෝ පටුමඟේ නැතහොත් කොළනියේ තිබූ සංවිධානාත්මක අපරාධ සංස්කෘතිය හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අවර දේ මුළුමනින්ම අවසන් වෙමින් කොළඹ නගරය සාමකාමී පිරිසිදු බිමක් බවට පත්වීමය. මේ රටේ සක්‍රීය අගනගරය එසේ පිරිසිදු වන කල්හි රට පිරිසිදු කිරීම ඉතා පහසු වන්නකි.

මේ අන්දමට කොළඹ නගරයේ මෙැවනි පරිසර තුඝ ජීවත් වන තරුණ පරපුර නිසි මඟට ගැනීමේදී රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආර්ථික ජයග්‍රහණද බොහෝය. එහෙත් එය නොකෙරුණොත් මෙතෙක් සිදුවූ පරිදි හැමදාමත් සිදුවන්නේ දෛනිකව කොළඹට ඇදී එන ලක්‍ෂ ගණනක් වූ විවිධ තරාතිරමේ පිරිස් අතරින් ඇතැමුන් විසින් කොළඹ පිහිටි මෙකී අවිධිමත් අවර සංස්කෘතියේ ඇති බොහෝ දේ රටපුරා රැගෙන යෑමය. එය දිගින් දිගටම සිදුවනතාක් කිසිසේත්ම මේ රටේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධි ක්‍රියා පාලනය කළ නොහැකිය.

පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ කුමන ආකාරයෙන් මෙහෙයුම් සිදු කළද රට පිරිසිදු කිරීම අභියෝගයක්ම වනු ඇත. එසේ නම් දැන් අප සිදු කළ යුතුව තිබෙන්නේ රටේ පාතාලය මර්දනය කරනු පිණිස පාතාලයන් අල්ලා ආයුධ පෙන්නන්නට රැගෙන යෑමද? එසේ නැතහොත් සියල්ලේ කේන්ද්‍රයට බුද්ධිමත්ව පහර දී එකී කේන්ද්‍රය පිරිසිදු කර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කරන අතරේ රට නිසි මාවතට ගෙන යෑමද?

සියලු වගකිවයුත්තන්ට එකී ප්‍රශ්නය අප මේ මොහොතේ යොමු කරන්නේ රටට පිළිතුරු දෙනු පිණිසය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment