කොළඹ වරාය නගරයේ අසිරිය දකින්න එන්න

1833

කොළඹ වරාය නගරය වූ කලී මුහුද ගොඩ කර හදන ලද අලූත්ම බිම් කඩකි. එනම් මෙය අප රටට එකතු වූ අලූත්ම භූමියකි. මුහුද ගොඩ කර මෙහි භුමිය නිර්මාණය කිරීමට සහ මේ දක්වා නිර්මාණය කර ඇති යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කර තිබේ. විශාල මුදලක් වැය වන නිසාත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය අපට නැති නිසාත් මෙවැන්නක් අපට තනියම ඉදි කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා මෙය චීන ආයෝජනයකි. මෙය අලූතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලූත්ම භූමි ප‍්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සම්බන්ධ කෙරේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත‍්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනුකලාප පහකින් නිර්මිතයි. මෙහි ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය විශාල භෞතික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අතිනවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලූ යාත‍්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම්වලින් ද සමන්විතවනු ඇත. නූතන තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇත.

කොළඹ වරාය නගරයේ අසිරිය දකින්න එන්න

මෙහි ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ අතර පසුගියදා සුවිශේෂ දෙයක් සිදු විය. එනම් කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලූ යාත‍්‍රාංගණය විවෘත වීමයි. එය සිදු වූයේ පසුගිය ජනවාරි 09 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි. එසේ විවෘත කළ පදික මංතීරුව ඊට පසු දින (ජනවාරි 10) උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත වීමද සිදු විය. මේ අනුව දැන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් කොළඹ වරාය නගරය වෙත ඇතුළුවීමටද අවස්ථාව සැලසී තිබේ. ඇතැම් අය මෙය ඉදි කිරීම ආරම්භ වන විට ප‍්‍රකාශ කළේ මෙයට ඇතුළුවීමට ගාස්තු පවා ගෙවීමට සිදුවනු ඇති බවය. එසේම මේ ගැන විවේචන කළ තවත් අය කීවේ කොළඹ වරාය නගරය ඉදි වූ පසු අපේ රටේ ජනයාට එයට ඇතුළුවීමට වීසා පවා ලබා ගැනීමට සිදු වනු ඇති බවය. එහෙත් එවැන්නක් නැත. දැන් ඔබට කිසිම ගාස්තුවක් නැතුව නොමිලේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුමෙන් කොළඹ වරාය නගරයට පිවිස එහි අසිරිය අත්ඳිය හැකිය.

කොළඹ වරාය නගරයේ අසිරිය දකින්න එන්න

මෙම කොළඹ වරාය නගර බලප‍්‍රදේශ තුළට ගාලූ මුවදොර සිට ඕනෑම පුද්ගලයකුට ඇතුළු වී දැන් එහි සිරි නැරැඹීමට අවස්ථාව සැලසී ඇත. මේ අනුව අපේ ප‍්‍රධානම ආයෝජන කලාපය වන අග්නිදිග ආසියාවේ මූල්‍ය නගරය ලෙසින් ද ඉදිවන කොළඹ වරාය නගරය මෙලෙස දැන් අපේ රටේ ජනතාවට ක‍්‍රම ක‍්‍රමයෙන් විවෘත වෙමින් පවතී. මේ සිදු වූයේ එහි පළමු පියවරයි. මේ කොටස විවෘත වීමට දින කිහිපයකට පෙර මෙරට මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පිරිසකට ද මෙහි සංචාරය කිරීමට අවස්ථාව ලැබුණි. ඒ අනුව මේ ලියුම්කරුට ද මෙසේ විවෘත වූ කොටසේ සහ මෙහි ඉදිකර ඇති මීටර් 1500 ක් දිග හා මීටර් 200 පළල කෘතිම වෙරළේ සුන්දරත්වය විඳීමට අවස්ථාව ලැබුණි. එය ස්වභාවික වෙරළ තීරයක් මෙන්ම ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කර ඇත. එම වෙරළ තීරයේ ඇවිද ගොස් අපට මුහුදු රළ පෑගීමට ද හැකිවිය. දිය කඩනය නිසා මුහුදු රළ එතරම් සැරට වෙරළට පැමිණෙන්නේ නැත. අපත් සමග ගිය බොහෝ දෙනෙක් මේ කිසිදා නොදුටු අලූත්ම මුහදු තීරයේ අසිරිය විඳිමින් මුහුදු රළ පාගමින් ඡායාරූප ගනිමින් එහි අසිරිය විඳ ගත්තේය. එහෙත් මේ වෙරළ තීරය තවම මහජනයාට විවෘත වී නැත. එය ඊළඟ අදියර යටතේ නුදුරේම විවෘත වනු ඇති බව දැනගන්නට තිබේ. ඒ නිසා මේ වෙරළ තීරය දැකබලා ගැනීමට ඔබට තවත් ටික කාලයක් ගතවනු ඇති බව ද කිව යුතුය.

කොළඹ වරාය නගරයේ අසිරිය දකින්න එන්න

මේ ගමනට පෙර චෙක් පෝට් සිටි කළම්බෝ පුද්ගලික සමාගමේ (CHEC) මහජන සම්බන්ධතා ප‍්‍රධානී කස්සප සෙනරත් මහතා අපව ඉතා සුහදව පිළිගෙන අපට යම් කරුණු පැහැදිලි කිරීමක් ද කළේය. ඔහු කෙටියෙන් අපට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සැලසුම ගැන විස්තර කළේය. කස්සප මහතා හමුවීමෙන් පසු මේ ලියුම්කරු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසට මෙසේ කොළඹ වරාය නගරයේ පදික මංතීරුව ඔස්සේ ඇවිද ගොස් එහි ඉදිව ඇති ඉතා අලංකාර පාලම ද පසුකර ගිය විට හමුවන වෙරළ තීරයේ සුන්දරත්වය ද අත්විඳීමට ලබිණි. එම පදික මංතීරුවේ සිට අපට කොළඹ නගරය, එහි ගොඩනැගිලි මෙන්ම ගාලූ මුවදොර යනාදිය ඉතා අලංකාරවත් ලෙස දැකගත හැකිය. එය අප මින් පෙර කිසිදා නොදුටු අලූත්ම දසුනකි. එනම් අපට අපේ මුහුද ගොඩකර නිර්මාණය කළ අලූත්ම ගොඩබිමක සිට අපේ රට දෙස දකින අලූත්ම මනරම් දසුනයි. එය වෙනස්ම අත්දැකීමකි. කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලූ යාත‍්‍රාංගණය විවෘත වීමට දින කිහිපයකට පෙරම මෙය අත්විඳීමට අපට ඉඩ හසර ලැබුණු අතර දැන් ඔබට ද ඒ වරම හිමිව තිබේ. ඉදිරියේදී දැන් ඉදිවෙමින් තිබෙන මෙහි ඇති තිරසර හා නාගරික උද්‍යාන කිහිපයක් තුළ ඔබ මොබ ඇවිදීමට හා මෙරට ආවේණික ගහකොළ අධ්‍යයනය කිරීමට ද මෙරට ජනයාට අවස්ථාව ලැබෙනු ඇත. කොළඹ වරාය නගරයේ පදික මංතීරුව දෙපස ඉතා අලංකාර ගස්, මල් පැළ යනාදිය වවා ඇත. පොල් ගස් ද මෙහි සිටුවා තිබේ. ඒ නිසා මෙය ඉතා දර්ශනීය භූමිභාගයකි. එම මංතීරුව ඔස්සේ ගමන් කිරීමේදී කොළඹ වරාය නගරයේ සෙසු ඉදිකිරීම් කටයුතු සිදුවන අයුරු, මාර්ග ඉදිකිරීම් සිදු වන අයුරු මෙන්ම භූමිය තවදුරටත් සකස් වෙමින් තිබෙන අයුරු දැකගත හැකිය. මෙය මුළුමනින්ම ඉදිව අවසන් වූ පසු මෙය මෙරටට එන විදෙස් සංචාරකයන් ගමන් කරන අපේ සංචාරක ආකර්ෂණීය ස්ථාන අතරට එක්වන ප‍්‍රධානම ස්ථානයක් වනු ඇති බවට කිසිම සැකයක් නැත.

චීන විදේශ ඇමැතිවරයා මෙරටට ඉතා කෙටි සංචාරයක් සඳහා මෙසේ ලංකාවට ආවේ ශ‍්‍රී ලංකා – චීන රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහාය. මේ වෙනුවෙන් ශ‍්‍රී ලංකා – චීන මිත‍්‍රත්ව යාත‍්‍රා කුසලානය කොළඹ වරාය නගර පරිශ‍්‍රයේ මරීනා ජල වේදිකාවේ පැවැත්වුණි. එයට චීන විදේශ ඇමැතිවරයා, ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඇතුළු දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයෝ සහභාගි වූහ. තරුණ කලාකරුවන් කොළඹ වරාය නගරයේ මරීනා ජල වේදිකාවේ අපූරු රංගනයක් ඉදිරිපත් කළ අයුරුද දැකගත හැකිවිය. ඉතා අලංකාරවත් දර්ශනයක් විය. එය මෙන්ම කොළඹ වරාය නගරයේ පදික මංතීරුව විවෘත කෙරෙන දසුන් පසුගිය ඉරිදා රාත‍්‍රී රූපවාහිනියෙන් ඔබ දැනටමත් දකින්නට ඇත.

වර්ෂ 2014 සැප්තැම්බර් 17 වැනිදා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් රටේ ජනාධිපතිවරයා ලෙස ආරම්භ කළ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අරඹා දැන් වසර 7 කට වැඩිය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී වසර හතක් සම්පූර්ණ වූයේ 2021 සැප්තැම්බර් 17 වැනිදාය. එහි භූමිය සකස් කිරීමේ වැඩ කටයුතු 2019 වසරෙහි මුල් භාගය වන විට අවසන් කෙරිණි. මෙහි දැන් වාණිජ කටයුතු සඳහා ලොව ඕනෑම රටක ඕනෑම ආයෝජනයකට වෙන්කර ඇත. ශ‍්‍රී ලාංකික වෙරළ කලාපයේ හෙක්ටයාර 269 ක් වැලි පුරවා මෙම කොළඹ වරාය නගරය ඉදිකර ඇත. ඒ සඳහා වැලි කියුබ් ලක්ෂ 65 ක් ගෙන්වා ඇත. මෙහි වාණිජ ගොඩනැගිලි ඉදිකිරීමට හෙක්ටයාර 178 ක් ලබාදීමට නියමිතය. මෙම වරාය නගරය ඉදිකරනු ලැබූ චීන ආයෝජන සමාගම් සඳහා ඉන් හෙක්ටයාර් 116 ක් බදු දී තිබේ. කෙසේ වුවත් වැලිවලින් ගොඩකර ඇති මුළු හෙක්ටයාර 269 ම පාලනය ශ‍්‍රී ලංකා රජය යටතේ ය. එහි සිවිල් ආරක්ෂක කටයුතු ශ‍්‍රී ලංකා පොලිසිය මෙහෙයවයි. එසේම එහි අධිකරණ කටයුතු අපේ රටේ නීතිය අනුව ක‍්‍රියාත්මක වේ. 2019 වසරේ අගෝස්තු 19 නිකුත් කෙරුණු විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් කොළඹ වරාය නගරයට අයත් හෙක්ටයාර 269 ක භූමිය කොළඹ දිස්ත‍්‍රික්කයට පවරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘති භූමියේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකා රජය සතු වේ. කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269 ක් නැතහොත් අක්කර 664 ක් පමණ වේ. එහෙත් ඒ වටා ඉදිර කර ඇති දියකඩනය සහ දිය අගල ද ඇතුළත් සමස්ත අවකාශය හෙක්ටයාර 446 ක් නැතහොත් අක්කර 1102 ක් පමණ වේ.

මෙහි ව්‍යාපෘති සැලැස්ම අනුව මේ භූමියේ විශාල බිම් කොටස් 74 ක් ආයෝජනයට විවෘතය. එනම් මෙහි අදහස වරාය නගරය තුළ දේපළ වෙළෙඳාම් අවස්ථා 74 ක් තිබෙන බවයි. මේ සෑම බිම් කොටසක්ම නිසි අයුරින් වෙන් කොට තිබේ. ඒ සඳහා ඉල්ලූමක් නිර්මාණය කරගත යුතු වේ. ඉන් පසුව අනුගමනය කළ යුතු කි‍්‍රයාවලියක් ද තිබේ. මෙහි ඇතැම් ඉඩම් රජය මගින් බදු දීම කළ යුතු අතර අනිත් ඉඩම් ආයෝජක සමාගම බදු දීම කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් දැනටමත් සැලකිය යුතු සංඛ්‍යාවක ආයෝජන සාකච්ඡා පවත්වා තිබෙන බව ද දැන ගන්නට ඇත. ව්‍යාපෘති සමාගමට හිමි ඉඩම් කොටස් ආයෝජකයන්ට බදු දීම තුළින් ඔවුන් ව්‍යාපෘතියට වියදම් කර ඇති මුදල් නැවත ප‍්‍රතිපූරණය කර ගැනීමට හැකියාව ලැබේ. එසේම සම්මේලන මධ්‍යස්ථානය යනාදිය සඳහා සුදුසු ආයෝජකයන් සොයාගැනීමේ වගකීම ඇත්තේ රජයට ය. එවැනි ව්‍යාපෘතිවලට හවුල් වීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඒ ඉඩම් සංවර්ධනය කිරීම රජයේ කාර්යයක් වනු ඇත. මේ සිහිපත් කළේ මේ කොළඹ වරාය නගරයේ ඉදිරි සැලසුම් පිළිබඳවය. මේ කොළඹ වරාය නගරය බෙහෙවින් විවාදයට තුඩුදුන් මාතෘකාවකි. ඇතැම් අය කීවේ මෙය චීන කොලනියක් වනු ඇති බවය. කෙසේ හෝ දැන් එතෙර මෙතෙර ඕනෑම අයකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙන් ඇති පිවිසුම ඔස්සේ වීසා නැතුව මෙන්ම කිසිම ගාස්තුවකින් තොරව කොළඹ වරාය නගරයට ඇතුළුවී එහි පදික මංතීරුව ඔස්සේ ඇවිද ගොස් එහි ඉදිකිරීම් සිදුවන ආකාරය මෙන්ම අවට සුන්දරත්වය නැරැඹීමට ද පුළුවන.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment