කොළඹ හෙල්ලූ සාමකාමී විප්ලවය

156

විජයාවතරණය හා මහින්දාගමනය හැරුණුවිට ශ්‍රී ලංකාද්වීපය තුළ සිදුවූ විශිෂ්ටත ම හා අති දැවැන්ත සංසිද්ධිය පසුගිය 9 දා ලක්‍ෂ අසූවක පමණ ජනතාවකගේ සහභාගිත්වයෙන් හා තරුණ නායකත්වයෙන් සිදුවූ විප්ලවීය ‘අරගලය’යි. මනා සංයමයකින් කැපවීමකින් දැඩි අධිෂ්ඨානයකින් හා සැලැස්මකින් යුතුව ගාලු මුවදොර ගෝඨා ගෝගම තරුණ අරගලය හා එක්වූ ලක්වැසි ජනතාව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය (අගමැති නිල නිවස) අත්පත් කරගනිමින් කොළොම්පුරය තම අණසකට යටත්කර ගත් එම ක්‍රියාදාමය මෙතෙක් ලොව සිදුවූ විප්ලවයන් අතර අග්‍රස්ථානයට පැමිණි බව මෙහිලා සඳහන් කළ යුතුය. ගල් කැටයක් තරම්වත් අත නොමැති විශාල ජන සංඛ්‍යාවක සහභාගිත්වයෙන්, ලේ බිඳකුදු නොසොල්වා සාමකාමීව කරන ලද සාමකාමී (Peaceful) විප්ලවයකි.

මෙතෙක් එවැනි විප්ලවයක් ලොවේ සිදුවී නැත. එවැනි විප්ලවයක් සිදුවූ එකම රට ශ්‍රී ලංකාවයි. ජීවන අරගලය හමුවේ විවිධාකාරයෙන් බැට කෑ ජනතාව එදින ගාලු මුවදොර තරුණ අරගලය හා එකතු වූයේ ජන ගඟක් ගලන්නාක් මෙනි. ගලන ගඟ ආපස්සට හැරවීමට සමතෙක් එහි නොවීය. රැකවල්හි සිටි ආරක්‍ෂක හමුදාවල වැටකඩොළු බිඳ දමමින් තාඩන පීඩන මැද ඉදිරියටම ඇදී ගිය ජනතාව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගත්තේ ප්‍රීති ඝෝෂා පවත්වමිනි. විප්ලවකාරීන් ක්‍රෙම්ලින් මන්දිරය අත්පත් කරගත් අවස්ථාව සිහිපත් කරවන්නකි මෙය. එසේ හෙයින් සැබෑ විප්ලවයක ආඥාදායකත්වය පෙන්වමින් විප්ලවීය මාවතක පළමු පියවර තැබූ ‘අරගලයට’ අපේ ආචාරය හිමිවිය යුතුය.

ශ්‍රී ලාංකික තරුණ ජවය දෙවතාවක් අසමත් වුවද තෙවන අවස්ථාව ලෙස මෙලෙස සාර්ථක වන්නේ සටන්කාමී විප්ලවීය මාවත අතහැර සාමකාමී ජනතා සහභාගිත්වයකින් යුතු විප්ලවීය මාවතක් අනුගමනය කිරීම මගිනි. මේ අතිවිශිෂ්ට විප්ලවීය ක්‍රියාදාමය ආපස්සට හැරවීමට වලිකන පුද්ගලයන් ද නැතුවා නොවේ. අරලියගහ මන්දිරයේ කාර්යාලයීය උපකරණ 9 දා මධ්‍යම රාත්‍රියේ කඩාවැදුණ පිරිසක් අතින් සුණු විසුණු වීම එවැන්නක් විය හැකිය. අරගලයේ තරුණයන් අතින් කිසිදිනෙක සිදුනොවන්නකි එය. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ගිනිබත් කිරීම ද එවැනි පුද්ගලයන්ගේ ක්‍රියාවක් වීමට බැරි නැත.

මේ අතර ‘වල් ඌරන් කැකුණ තළනවිට හබන් කුකුළන්ට ජය මඟුල්’ ප්‍රස්ථාවපිරුළ සිහිගන්වන සිදුවීම් පෙළක් මාධ්‍ය මගින් පෙන්වන ලදී. ව්‍යවස්ථාව කරපින්නාගත් ප්‍රතිගාමී පාර්ලිමේන්තුවාදීන් කණ්ඩායම් වශයෙන් බලය අත්පත් කරගැනීමේ තරගයක නිරත වී ඇති ආකාරයක් අපි දකිමු. ජනතාවට සෙත සදනු සඳහා ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයන් බොහෝ දෙනකු බොහෝ විට හැසිරෙන්නේ ස්වාධීන වූ වරප්‍රසාද ලත් සමාජ කොට්ඨාශයක් ලෙසිනි. ජනතාවාදී ආකල්පවලින් හිස්වූ මනසකින් යුත් ඔවුන් පසුගිය කාලය පුරාවට ම හැසිරුණේ ඒ ආකාරයෙනි. වෛiවරුන් පවා දින ගණන් ඉන්ධන පෝලිම්වල ගතකරද්දී ඔවුන්ගේ වාහනවල ආරක්‍ෂක හමුදා මැද ඉන්ධන ලබාගැනීමට ක්‍රම යොදා ගත්හ. දහසක් දුක්ඛදොමනස්සයන්ගෙන් තැළී වෙලී පීඩා විඳිමින් අන්ත අසරණ තත්ත්වයට පත් ජනතාව ගැන නොතකමින් තම දීමනා වැඩි කරන ලෙස මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලා සිටි බව වාර්තා විය. එසේම දිනක පාර්ලිමේන්තුවේ වියදම ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න බව පළවිය. එවැනි විශාල මුදල් කන්දරාවක් වැය කරමින් පවත්වාගෙන යන ආයතනයක ඵලදායිකත්වය ගැන ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇත. ඒ ආකාරයේ ආයතනයක් තවදුරටත් පවත්වා ගෙන යෑමේ අරුත කුමක්ද? මෙහි සංයුතිය
ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටකට ඔරොත්තු දෙන ආකාරයෙන් වෙනස් විය යුතුය. වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය ගෙඩිය පිටින්ම නොගෙන සමාජවාදී රටවල පාලන ක්‍රමද සැලකිල්ලට ගනිමින් අපේ දේශයට ගැළපෙන අයුරින් පාලනයක් සකස් කර ගැනීමේ අභියෝගය විප්ලවීය තරුණ කණ්ඩායම ඉදිරියේ ඇත. දියවන්නාවේ ගොඩනැඟිලි සංකීර්ණය නිවාඩු නිකේතනයක් බවට හෝ ඉහළ පෙලේ හෝටලයක් බවට පරිවර්තනය කිරීමෙන් ලාබදායී ආයතනයක් බිහිවනු ඇත. ඒ අතර නියම ජනතා නියෝජනයක් වන ලෙස නියෝජිතයන් 1500ක පමණ මන්ත්‍රණ සභාවක් රටට – ජනතාවට බරක් නොවන ආකාරයෙන් ස්ථාපිත කිරීමෙන් රට ස්ථිරවම සංවර්ධනය කරාගෙන යා හැකි බව මේ ඓතිහාසික අවස්ථාවේ සිහිපත් කළ යුතුව ඇත.

අරගලයේ නිරත ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය හා ගරුත්වය පළුදු නොවන අයුරින් කටයුතු කරන ලෙසත් රටට අහිතකර ලෙස පැමිණෙන විදේශ බලපෑම් බුද්ධිමත්ව හඳුනා ගනිමින් ඒ හා අදාළ වන අයුරින් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින්නේ අරගලයට අපගේ ආචාරය නැවතත් පිරිනමමිනි.

විජේරත්න දාහිගමුව
විශ්‍රාමික විදුහල්පති , කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment