කෝකටත් තෛලය: නින්දගම් හා වනාන්තර

393

රටේ ඉඩම් අයථා භාවිතය ගැන පරිසරවේදීන් හඬ නගන්නේ කලක පටන්ය. මේ අතර වනාන්තර ඉඩම් බහුල වශයෙන් පවතින අතර, රක්ෂිත වශයෙන් නම්කරන ලද භූමි ප්‍රදේශද බහුලව අයථා සංවර්ධන කටයුතුවලට භාවිත කරන බවට ඕනෑ තරම් සාක්ෂි ඔවුහු ඉදිරිපත් කරති. මේ රටේ බහුතර (වනාන්තර) ඉඩම් අයිතිය දරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ප්‍රතිශතයක් ලෙස එම ප්‍රමාණය රටේ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. එසේම දෙවන ඉඩම් අයිතිය හිමි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් 13% ක ඉඩම් හිමිකමක් දරනු ලැබේ. මෙම දෙපාර්තමේන්තු දෙකේ ප්‍රධාන වගකීම වන්නේ වනාන්තර හා වන සතුන් දිවිගෙවන වාසභූමි සංරක්ෂණයයි. ඉන් ඔබ්බට කඳුකර ප්‍රදේශවල හා ගංගා – ඇළ – දොළ ඇති ප්‍රදේශවල ඉතා සංවේදී ජල පෝෂක (ගංගා 103 ක් ඇතුළු සියලු උල්පත්, ජල ධාරා) රැක දෙන්නේද මේ කියන ඉඩම් ප්‍රතිශත තුළිනි.

එනමුත්, දැන් මේ රටේ ගණ වනාන්තර ගහනය සියයට 18-22 ක් පමණ ලෙස සැලකේ. මේ වනාන්තර ගහනය සියයට 32 ක් දක්වා ඉහළ නැංවිය යුතු යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඒ සඳහා වැඩසටහනක් පටන්ගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. (එනමුත් වෙල්ලස්සේ වනාන්තර හා වගා බිම් අක්කර 65,000 ක් සිංගප්පූරුවේ ගැසල් වෙන්චස් සමාගමට ලබාදී උක් කර්මාන්තය සිදුකිරීමේ කටයුත්ත ඔහු බලයේ සිටින කාලයේදීත් නතර වූයේ නැත. මෙන්ම තවමත් නතර වී නැත. එසේම, වෙඩිතලතිව් ප්‍රදේශයේ හා සිංහරාජ වන සංකීර්ණයේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩිකර ඒවා වන රක්ෂිත කිරීමට ඔහු පියවර ගත්තේය.) ඒ අනුව යමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුද වන ගහනය 32% ක් කිරීම ගැන කතා කර ඇත. මේ අවස්ථාවේදීත් ඒ ගැන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

නමුත් පුදුමය නම්, එක පැත්තකින් වන ගහනය 32% ක් කිරීම ගැන කතා කරද්දී රටේ දැවැන්ත වන විනාශයක් හා ඉඩම් කොල්ලයක් (ඉඩම් අයථා භාවිතයකට ලක්වීම) සිදුවීමය. එය කොතරම්ද යත් මොණරාගල දිස්ත්‍රික්කයේ කැබිලිත්ත (කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසනවා යැයි කියන කැබිලිත්ත පූජාභූමිය පිහිටි) වන රක්ෂිතයෙන් අක්කර 25,000 ක් ඉවත්කර එම ප්‍රමාණය අනවසර ගොවීන්ට ලබාදීමෙන් අනතුරුව ඉතිරි වූ රක්ෂිත වනාන්තරයෙන්ද තවත් හතරෙන් එකක් දේශපාලන හිතවතුන් විසින් මේ වන විට (පසුගිය ආණ්ඩු කාලය වන විට) වනසා දමා ඇත. ඉතින් අපට අසන්නට ඇත්තේ කතරගම දෙවියන් කොහිද යන්නය….. නොහොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන පරිදි දැන් කැබිලිත්ත පුදබිම පේන මානය දක්වා වන සංහාරය ඔඩු දුවා ඇත. ඒ අනුව කතරගම දෙවියන්ටද හෙට අනිද්දා වන විට උන්හිටි තැන් අහිමිවනු ඇත. කතරගම දෙවියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මීට වගකිව යුතු පාලකයන්, ව්‍යාපාරිකයන් හා දේශපාළුවන් මල් වට්ටි, පලතුරු වට්ටි හිස දරාගෙන ඔබ වහන්සේ බැහැ දැකීමට පැමිණෙන විට මේ ගැන වඩාත් හොඳින් මතක හිටින්නට ඔවුන්ට පාඩමක් කියා දෙන්නේ නම් මැනවි කියාය.

මෙහි අලුත්ම කතාව මෙය නොවේ. රටේ පවතින ආර්ථික අර්බුදය හිඟන්නාගේ වණය බවට පත්කරගෙන රටේ වන ඉඩම් හා අධි සංවේදී පරිසර පද්ධති තොග පිටින් වගාවන් ඇතුළු කර්මාන්ත සඳහා යැයි කියමින් සමාගම් ඇතුළු දේශපාලන හිතවතුන්ට, ව්‍යාපාරිකයන්ට බෙදා දීමය. ත්‍රිකෝණමඩු, යාල, ඉළුක්පැලැස්ස, සංඛපාල වන ඉඩම් වනසා කෘෂිකාර්මික කටයුතු සඳහා සහ හම්බන්තොට වානේ කම්හලට “කැල්සයිට්” ඉල්ලම් කැඩීමට දැනටමත් රජය මගින් ඉඩම් ලබාදී ඇත. එසේම ඊයේ (04දා) දිවයින ඉරිදා සංග්‍රහය කියන පරිදි රටේ දැවැන්ත ප්‍රමාණයේ නින්දගම් ඉඩම් පිහිටා ඇතැයි කියන රජමහා විහාරයක් සහ දේවාලයක් මහා වන හා ඉඩම් ජාවාරමක නිරතව සිටී. මෙම ස්ථාන දෙකේම ඍජු ප්‍රතිඵලය නම් අලි-මිනිස් ගැටුම සියයට තුන්-හාරසිය ගුණයකින් ඉහළ නැගීම හා ජල පෝෂක අධි සංවේදී වනාන්තර හානියට ලක්වීමය.

නින්දගම ඉස්සරහට දමාගෙන මේ විනාශය සිදුකරන රජමහා විහාරය නම්, නාකොළගනේ පන්සලයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් 7 ක පිහිටි රජයේ ඉඩම් අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් නාකොළගනේ රජමහා විහාරයට අයත් නින්දගමක් යැයි කියමින් මේවනවිට දේශපාලකයින්ට, ව්‍යාපාරිකයින්ට හා සමාගම්වලට බදු දීම නිසා අලින්ගේ වාස භූමි අහිමිව අලි – මිනිස් ගැටුම් උග්‍ර වන බවද මෙය පැහැදිලිවම ඉඩම් ජාවාරමක් බව පරිසරවේදී සජීව චාමිකර කියා සිටී. එසේම ඔහු කියන්නේ මේ නින්දගම් ඉඩම් 1948 දී ඩී. එස්. සේනානායක අගමැතිවරයා විසින් පවරාගෙන මී ඔය ව්‍යාපාරයට ලබාදී ඇති ඒවා බවට ඉතා පැහැදිලිව හඳුනාගෙන ඇති බවයි.

එසේම, අනිත් නින්දගම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් බව කියනු ලැබේ. අක්කර 6245 ක් තම දේවාලයට අයත් යැයි කියමින් නාකොළගනේ ඉඩම් බදු දීම මෙන්ම හල්දුම්මුල්ල පහළ බෑවුමේ ඉතා සංවේදී ඉඩම් දේශපාලකයින්ට, ව්‍යාපාරිකයින්ට හා සමාගම්වලට බදු දී මහා විනාශයකට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. මේ අතර, ඉතා මෑතකදී කුරුඳු වගා කිරීමකට කියා අක්කර 2000 ක් එක්තරා ප්‍රකට රබර් ආශ්‍රිත වැවිලි සමාගමකට ලබාදී තිබේ. තවත් අක්කර 628 ක් ගොල්ෆ් ක්‍රීඩා පිටියකට විදේශයක පදිංචි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ව්‍යාපාරිකයකුට ලබාදී ඇතත්, එය මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ වාරණයට ලක්කර ඇත.

මේ අනුව බලන කල විහාර හා දේවාලවලට අයත් නින්දගම් තවදුරටත් රටට වණයකටත් වඩා හෙණයක් වීගෙන එන බව පෙනේ. එසේ හෙයින් විහාර හා දේවාලගම් පනත වහා සංශෝධනයට ලක්කර ඉඩම් අයථා භාවිතය නැවැත්වීමට නීති සැකසිය යුතු අතර, එම ඉඩම් නැවත සමීක්ෂණයකට භාජන කර, වනාන්තර හා වන සතුන්ගේ සංවේදී ඉඩම් නම් ඒවා වහා රජයේ සංරක්ෂණ ආයතනවලට පවරා දිය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment