කෝච්චි ටිකට් ගාණත් වැඩිවෙයිද? පාරට බහින අයට පයින්ම යන්න වෙයිද?

71

දුම්රිය ඉතිහාසය සලකා බලන කල දුම්රිය සේවයේ ලංකාවේ මුල්ම අවධියේ ගමනාගමනය සඳහා භාවිතා කෙරුණේ අස්ව කෝච්චිය. එයද භාවිතා කෙරුණේ රටේ සිටින ප්‍රභූ පැලැන්තියේ අය සඳහා සහ තැපැල් සේවය සඳහායි. ඉන් අනතුරුව එය සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන්නට පටන්ගෙන දීර්ඝ කාලයකි. වර්තමානය වන විට දුම්රිය යනු කාර්යාල සේවක සේවිකාවන්ට ඉතා ප්‍රයෝජනවත් ප්‍රවාහන මාධ්‍යයක් වී තිබේ. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වසර 154ක් තරම් ඉතිහාසයකට දිව යන්නකි. වර්තමානයේ දුම්රිය සේවාව ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති අතර වර්තමානය වන විට සිදු වෙමින් තිබෙන්නේ දිනෙන් දිනම දුම්රිය සේවය අර්බුදයට ලක්වීමය.

2022 ඔක්තෝබර් 01වැනිදා සිට දුම්රිය ගාස්තුවල මිල 15%කන් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙයට අදාළ ගැසට් පත්‍රය අමාත්‍යාංශයට යොමු කර ඇතැයි දැනගැනීමට ඇත. මීට පෙර දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදු වූයේ 2008 වසරේදීය.

දුම්රිය ගාස්තු බස් ගාස්තු මෙන් වැඩි වීමක් සිදු නොවේ. තෙල් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බස් ගාස්තුවල මිල ගණන් නොනවත්වා වැඩි වෙයි. සමාජයේ ඕනෑම තරාතිරමක රජයේ, පෞද්ගලික අංශයේ සේවකයන් හා කම්කරුවන් දුම්රියෙන් ගමන් පහසුව සලසා ගනිති. එයට හේතුව වෙනත් ප්‍රවාහන සේවාවන්වලට වඩා දුම්රිය ප්‍රවේශපත්‍ර අඩු මුදලකට ලබා ගත හැකි වීමයි.

අද රටේ පවතින උද්ධමනය ඉහළ යෑම නිසා බඩු මිල ගෑස්, ඉන්ධන මිල වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකද බස් ගාස්තු මිලද දරා ගත නොහැකි තරමින් ඉහළ ගොස් ඇත. එහෙත් සේවක වැටුප්වල කිසිදු වැඩි වීමක් සිදු වී නොමැත. මේ වාතාවරණය තුළ ඉතා සහනදායි මිලකට තිබුණු දුම්රිය ගාස්තුව 15%කින් දුම්රිය දෙපාර්තමේන්තුව ඉහළ දැමීමට තීරණය කර තිබීම අද පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ මගී ජනතාවට දරාගත නොහැකිය. දුම්රිය මගී ජනතාවගෙන් දුම්රිය ගාස්තු වැඩි වීම පිළිබඳ ඔවුන්ට දැනෙන අදහස් විමසීමේදී ගම්පහ ඉන්ද්‍රානි මහත්මිය මේ ගැන මෙසේ අදහස් පළ කළා.

“අපිට අනෙක් හැම දෙයක්ම වැඩි වෙලා තියෙත්දි දුම්රිය ගාස්තු විතරයි අඩුවට තිබුණේ. දැන් ඒකත් වැඩි කරනවලු. අපිට කෑම බීමයි රස්සාවට ඇවිල්ල යන්න ගියාම අතේ ඉතිරියක් නැහැ. අපිට ජීවත් වෙන්නත් අමාරු තත්ත්වයකට වැටිලා තියෙන්නේ.”

දුම්රිය මගියෙක් වන කළුතර කමල් මහතා මේ ගැන අපට මෙසේ අදහස් ප්‍රකාශ කළා.

“මම උදේ හවස කෝච්චියෙන් රස්සාවට යනවා. අපිට කෝච්චියේ ගාස්තුව අඩුයි. ඒත් දැන් ඒකත් වැඩි කරන්න යනවලු. අපේ රස්සාවේ පඩිවල වෙනසක් වෙලා නෑ. ඒත් හැම බඩුවක්ම වැඩි වෙලා ඒ අතරේ මේ දුම්රිය ගාස්තුත් වැඩි වෙලා. හරි අමාරු කාලයක් මේක. මේ ප්‍රශ්නය කවදා විසදෙයිද දන්නෑ. එතකම් අපිට දුක්විඳින්න වෙලා තියෙන්නේ.” මොනවා කරන්නද?”

කෝච්චි ටිකට් ගාණත් වැඩිවෙයිද? පාරට බහින අයට පයින්ම යන්න වෙයිද?

ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවකි. එය මහජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන පහසුකම් සපයන්නෙකුද වේ. ශ්‍රී ලංකා දුම්රිය සේවය මගීන් ප්‍රවාහනය හා බඩු ප්‍රවාහනය යන සේවාවන් දෙකම ඉටු කරයි. දුම්රිය සේවය ආරම්භයේදී සිදු වූයේ මගී ප්‍රවාහනයට වඩා බඩු ප්‍රවාහනයයි. එහෙත් අද වන විට එය මගී ප්‍රවාහනයට වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියාත්මක වේ.

මීට දශක දෙකකට පමණ පෙර කාලය ගතහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලැබෙන මාර්ග ගණනාවක්ම තිබිණි. එනම් දුම්රියක් මගින් ඉන්ධන සිමෙන්ති, පිටි හුනුගල් වැනි භාණ්ඩ ප්‍රවාහනය කර දී විශාල ආදායමක් ලබා ගැණිනි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් විශාල ප්‍රමාණයක් රට පුරා තිබේ. ඒවා නිසි ලෙස බදු දී මුදල් උපයා ගන්නා ලදී. දැන් ඒ සියලුම දේවල් දෙපාර්තමේන්තුවට අහිමි වෙමින් තිබේ. ටිකට්පත් වෙන් කිරීමේ සේවය දෙපාර්තමේන්තුවට සිදු කළ හැකිව තිබියදී එය පෞද්ගලික අංශයට ලබා දී ඇත. මේ ආකාරයට දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විශාල ආදායම් ප්‍රමාණයක් අහිමි වී ඇත. දැන් මගී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම, පාර්සල් ප්‍රවාහනය වැනි දේවල්වලින් පමණකි. ආදායම් ලැබෙන්නේ. දුම්රිය ආපනශාලා ටිකවත් නිවැරදි ලෙස බදු ලබානොදීම නිසා අපේක්‍ෂිත ආදායම ලැබෙන්නේද නැත.

දැනට ලංකාවේ දුම්රිය සේවයේ දිනකට මගීන් මිලියන 3.72ක් ප්‍රවාහනය කෙරේ. ලංකාවේ රේල් පාරවල්වල දිග ප්‍රමාණය කිලෝමීටර් 1561ක් වේ. දුම්රියවල එන්ජින් (ලොකෝමෝටිව්) 72ක් ද වන අතර පවර් සෙට් 72ක්ද ඇත. දුම්රිය සේවකයෝ 17634 සිටිති. දෛනිකව දුම්රිය 306ක් දැනට ධාවනය වෙයි. දීර්ඝ සේවාවල දුම්රිය 67ක් ධාවනය වන අතර ඉන්ටර්සිටි 16ක් ධාවනයේ යොදා ඇත.

ආයතන වශයෙන් ගතහොත් දුම්රිය සේවයේ 2015 සිට 2021 දත්ත සලකා බැලුවහොත් අවුරුද්දක ආදායම රුපියල් මිලියන 7ක් පමණ වෙයි. 2015 දී දුම්රියේ ආදායම රුපියල් මිලියන 6.3 කි. 2016 දී 6.4කි. 2017 දී 6.4කි. 2018 දී 7.4කි. 2019 දී 7.9කි. 2019 දී දුම්රිය ආදායම එසේ ඉහළ ගියේ 2018 දී ගාස්තු වැඩි කළ නිසාය. ඒ ආදායමෙන් සියයට 75ක් ලැබෙන්නේ මගී ප්‍රවාහනයෙනි. නමුත් දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට වන වියදම හෙවත් පුනරාවර්තන වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. ඒ අනුව දුම්රිය සේවයෙන් සෑම වසරකදීම පාහේ රුපියල් බිලියන 7ක පාඩුවක් ලබයි. 2021 වර්ෂයේ මහ බැංකු වාර්තාව අනුව රුපියල් බිලියන 10.3ක පාඩුවක් ලබා ඇති බව සඳහන් වේ. එම වාර්තාව අනුව 2020 වර්ෂයේ රුපියල් බිලියන 10.1ක් අලාභයක් වාර්තා වී තිබුණි. මේ අනුව මගී ප්‍රවාහනයෙන් ඉපයූ ආදායම සියයට 53.0කින් පහළ යෑම මේ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනී යයි. ලංකාවේ දුම්රිය සේවයේ ආදායම 2020 සාපේක්‍ෂව 2021 වර්ෂයේ බිලියන 2.7 දක්වා සියයට 41.3කින් පහළ ගොස් ඇති බව මහ බැංකුව වාර්තාවේ සඳහන් වේ.

මෙම ආදායම් පහළ යෑම සඳහා අප්‍රේල් හා අගෝස්තු යන මාසවලදී කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම ප්‍රධාන හේතුවක් වී ඇත. තවද පොදුවේ ගත් කල දුම්රියේ වියදම වැඩිවීමට පවතින ප්‍රධාන කාරණය දුම්රිය සේවයේ අකාර්යක්‍ෂමතාව වන අතර අනෙක් කාරණාව ඩීසල්, ලිහිසි තෙල්, ග්‍රීස් යනාදියෙහි මිල ඉහළ යෑමය.

ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ගාස්තු ඉහළ නැංවිය යුතුද යන්න දැන් අපට ඇති වී තිබෙන ප්‍රශ්නයකි. වියදමට සාපේක්‍ෂව ආදායමක් නොමැති විට ඒ බර පැටවෙන්නේ ද භාණ්ඩාගාරයටය. පසුව වක්‍රාකාරව ඒ බර පැටෙවෙන්නේද ජනතාව මතටය. අපේ රටේ තිබෙන ප්‍රශ්නය ඒ බර සමාජයේ සියලු දෙනා මත සමසේ බෙදී යෑමය. දුම්රිය සේවාව පවත්වාගෙන යෑමේ බර කිසි දිනෙක දුම්රියක ගමන් නොකළ පුද්ගලයා මතද පැටවෙයි.

දිනෙන් දින පාඩු ලබන ශ්‍රී ලංකා දුම්රිය සේවය කිසියම් ප්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතුමය. ලංකාවේ කැබිනට් අනුමැතිය මත සියල්ල කිරීමට යෑම නූතන යුගයට නොගැළපේ.

නුවර හා කොළඹ ජන ඝනත්වය ඉතා ඉහළය. ඒ නිසා ඒ ප්‍රදේශවලට දුම්රියෙන් මගී ප්‍රවාහනය සඳහා පවතින ඉඩ හා පහසුකම් වඩාත් පුළුල් කළ යුතුය. එහෙත් ගැටලුව වී ඇත්තේ මගියා 21 වැනි සියවසේ සිටියදී දුම්රිය දෙපාර්තමේන්තුව 18 වැනි ශත වර්ෂයේ පසුවීමය.

සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment