කෝච්චි ටිකැට්ටුවෙන් පාඩු පියවගන්නා ඇමැතිගේ විහිළු

73

● දුම්රියේ පාඩුව ජනතාවගේ පිටින් යැවීම…

● ඒත් වංචා දූෂණ වළකන්නට පියවර ගෙන නෑ!

මෙරට පොදු ජනතාව තමන්ගේ හිඟන වැටුපෙන් ඉතිරිවන මුදලෙන් ගමන් පහසුව සලසාගත් දුම්රිය ප්‍රවාහනයද සිය ගාස්තු නොසිතූ ලෙස ඉහළ දැමීය. මේ ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අපි පසුගිය සතියේද සාකච්ඡා කළෙමු. ඇත්තෙන්ම සිදුවූයේ පොදු ජනතාව බලාපොරොත්තු වූවාටත් වඩා දුම්රිය ගාස්තු ඉහළ යෑමය. එය කිසිසේත් මගී ජනතාවට දරා ගැනීමට අපහසුය. ඉතා අමාරුවෙන් වාර ප්‍රවේශ පත්‍රය මිලට ගෙන පැමිණි ජනතාවට දැන් පෙර මෙන් දෙතුන් ගුණයක් ඒ සඳහා දැරීමට සිදු වේ. ඒ අතරවාරයේ මේ ගාස්තු ඉහළ දැමීම ගැන රජයේ මැති ඇමැතිවරු රටේ ජනතාවට විහිළු සපයමින් සිටී. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ ප්‍රකාශයද එබන්දකි. මේ කියන ආකාරයට දේශපාලනඥයන්ගෙත් නිලධාරීන්ගෙත් අමනකම් නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති පාඩුව පියවාගත යුත්තේ දුම්රිය ප්‍රවේශ පත්‍රයෙනි.

● ඇමැතිගේ ප්‍රකාශය

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පසුගියදා පැවසුවේ දුම්රිය සේවය පවත්වාගෙන යෑමෙන් දිනකට රුපියල් කෝටි දහයකට වඩා වැඩි අලාභයක් ලබන බවයි. 2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2.6ක ආදායමක් උපයන විට වැටුප් හා වේතනවලට පමණක් බිලියන 7.8ක් ගෙවා ඇතැයි ද ඔහු කීය. ආදායමට සාපේක්ෂව සේවක වැටුප් සඳහා එතරම් මුදලක් වැය කිරීම ගැටලුවක් බවත් මේ අලාභය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට වැටුප් ගෙවීම හා ඉන්ධන ලබා ගැනීම ගැටලුවක් බවත් අත්පිට මුදලට ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් සියලු නිලධාරීන් සේවය කළ ද දුම්රිය ධාවනය කළ නොහැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලබමින් සිටින නිසා ණයට හෝ ඉන්ධන ලබා ගත නොහැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 වසරේ අතිකාල දීමනා බිලියන 2.3ක් ගෙවා ඇතැයි ද ආදායම රුපියල් බිලියන 2.6ක් වන විට සේවක අතිකාල දීමනා රුපියල් බිලියන 2.3ක් ගෙවීම විශාල ගැටලුවක් බවත් විෂය භාර ඇමැතිවරයා ලෙස එය තමන් වගකීමෙන් කියන බවත් මේ සඳහා දුම්රියේ ගමන් නොකරන ජනතාව ද මේ අලාභය විඳින බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මහත් උජාරුවෙන් පැවසීය. එසේම එය ලංකා ආණ්ඩුවේ සේවාවක් මිස පෞද්ගලික දේපළක් නොවන බව ද පැවසීය.

මේ සිදුවන අලාභයන් සඳහා වන්දි ගෙවිය යුත්තේ සාමාන්‍ය ජනතාව නොවේ. මේවා දේශපාලනඥයන්ගේ වැරදි තීන්දු තීරණ නිසා සිදු වූ පාඩුය. එදා සිට අද දක්වා පත්වූ සෑම දේශපාලනඥයෙක්ම මේ සඳහා වගකිව යුතුය. ඡන්දයක් අවසන් වූ විගසම ඡන්දය දිනූ පක්ෂයේ මැති ඇමැතිවරු තමන්ට ඡන්දයට උදව් උපකාර කළ ඡන්ද පෝස්ටර් ඇලවූ, රැස්වීම් ආදිය සංවිධානය කළ තම හිතවතුන් තොග පිටින් ගෙනවිත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතුළු කරයි. ඔවුන්ට මේ සඳහා සුදුසුකමක් තිබුණත් නැතත් ඔවුන්ට වැඩක් නැත. අද වනවිට මේවායේ වගකීම් දරන බොහෝ දෙනා නිසි සුදුසුකම් හා නිසි උසස්වීම් පටිපාටියෙන් බැහැරව දේශපාලන ගැතිකමට තනතුරු ලබාගත් උදවියයි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ තොග පිටින් ඇතුළත් කළ පිරිසට අවම සුදුසුකම්වත් තිබුණේ නැත.

එසේම දේශපාලනඥයන් විසින් පත් කරන බොහෝ පිරිසක් මේවායේ සිට වැඩ නොකර පඩි ලබන අයයි. දිනකට පැය දෙක තුනකට වඩා මේ පිරිස රාජකාරි නොකරයි.

පසුගිය කාලයේ ඇමැතිවරු, ජනාධිපතිවරයා හදිසියේ කළ සංචාරවලදී මේ බව හොඳින් තහවුරු විය. එයට හේතුව මේ දේශපාලනඥයන්ගේ රැකවරණය මොවුන්ට ලැබීමයි. හැම ප්‍රවාහන ඇමැතිවරයාම පවසන්නේ දුම්රිය සේවය පාඩු බවයි. නමුත් ඒවාට විසඳුම් ඔවුන් සොයන්නේ ද නැත. විසඳුමක් ලෙස ඔවුන් කළොත් කරන්නේ පරණ යකඩ ඔවුන්ගේ හිතවතුන්ට අඩු මුදලට විකිණීම හෝ හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීමට යැයි පවසා කොමිස් බබාගැනීමේ අරමුණින් පවතින මිලට වඩා බොහෝ අධික මිලකට මෙරටට නොගැළපෙන දුම්රිය එන්ජින් හා මැදිරි ගෙන්වීම පමණි. ඔවුන් ඉදිරිපත් කරන බොහෝ විසඳුම්වලින් තව තවත් දුම්රිය සේවය පාඩු ලබනවා මිස අද වන තෙක් එහි ප්‍රගතියක් ඇති වූයේ නැත. ඉතින් පාඩුයි පාඩුයි කියා මන්තරයක් ජපකරනවා මෙන් පැවසුවත් එය ඔවුන්ගේ වරද මිස සාමාන්‍ය ජනතාව සිදු කළ වරදක් නිසා සිදුවන පාඩුවක් නොවන බව ද අවධාරණයෙන් සටහන් කළ යුතුය.

● විගණන වාර්තා

විගණන වාර්තාවලට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට 2020 වර්ෂයේදී රුපියල් බිලියන 10.1 ක අලාභයක් වාර්තා කොට ඇත. 2021 වර්ෂයේදී එය රුපියල් බිලියන 10.3 කි. දුම්රියේ ආදායම රුපියල් බිලියන 2.6 වනවිට සේවක අතිකාල දීමනා සඳහා රුපියල් බිලියන 2.3 ක් වැය කරන්නේ සේවක හිඟය නිසානම් නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට 14,000 ක පමණ සේවක සංඛ්‍යාවක් රාජකාරි කරයි. මේ තුළද විදුලිබල මණ්ඩලයේ මෙන්ම මාෆියාවක්ද ක්‍රියාත්මක වේ. දුම්රිය රියැදුරන් ගෙදර
ගොස් නිදාගත්තත් අතිකාල දීමනා ගෙවයි. එවන් අත්‍යවශ්‍ය තැන් සඳහා සේවකයන් බඳවා ගන්නවාට ඔවුන් කැමති නැත. වෘත්තිය සමිති වලටද ඒ ගැන වගේ වගක් නැත. අප වැනි කුඩා රටකට මෙන්ම කුඩා ආර්ථිකයක් හිමි රටකට මෙවැනි සේවක සංඛ්‍යාවක් කිසිසේත් ඔරොත්තු නොදේ.

● දුම්රියට පොලු

2020 නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වන්නේ දුම්රිය බලපත්‍ර හිඟ ආදායම රුපියල් අසූ හතර කෝටි අසූ තුන් ලක්ෂ තිස්හතර දහස් අටසිය අසූවක් (848,334,880) ලෙසයි. බලපත්‍ර 01 ආදායම යටතේ අවුරුදු 23 ට පෙර පටන් පැවත එන රුපියල් හත්ලක්ෂ හැටනමදහස් එකසිය අනූ හතරක මුදලක් ද මීට ඇතුළත් වේ. මේ වනවිට එම මුදල අයකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. එසේම හිඟ මුදල් වශයෙන් ලැබිය යුතු රුපියල් අසූහතර කෝටි හැත්තෑපන් ලක්ෂ හැටපන් දහස් හයසිය අසූහයක (847,565,686) මුදලින් වැඩි ප්‍රමාණයක් එනම් සියයට 55 ක්ම දැනට වසර 5 ක් ඉක්මවා තිබේ.

දුම්රියෙන් මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය ද සිදු කරයි. ඒ වෙනුවෙන් ආයතන 31 කින් රුපියල් 118,934,728 ක මුදලක් හිඟ වශයෙන් අයකර ගැනීමට ඇතත් මෙතෙක් එම මුදල අයකරගෙන නැත. පුදුම විය යුතු අනෙක් කාරණය වන්නේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා තවත් ආයතන 16 කින් ලැබිය යුතු 20,307,403 ක හිඟ මුදල වසර 20 ක් ගෙවී ඇතත් මෙතෙක් අයකර ගෙන නොතිබීමයි. මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලිපි යොමු කළ ද ඒවාට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ එම ලිපිනවලට එවැනි ආයතන නොමැති බව පවසා හරවා එවීමයි.

එසේම මේ වනවිට ඉන්ධන මිල ඉහළ යෑමත් සමග දුම්රියට ඉන්ධන සඳහා දිනපතා දරන්නට සිදුවන මුදල රුපියල් මිලියන 40 ක් පමණ වේ. දෙපාර්තමේන්තුවේ දෛනික වියදම මිලියන 70 ක් වනවිට දෛනික ආදායම රුපියල් මිලියන 15 කි. දුම්රිය මේ තත්ත්වයට පත් කළේ අහිංසක මගීන් නොව ඉහළ පුටුවල දේශපාලන අනුහසින් වැජඹෙන නිලධාරින් හා දේශපාලනඥයන්ය.

● දුම්රිය පාඩු වීමට හේතු සහ පිළියම්

ඉහතින් සඳහන් කළ ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුවට අයවීමට නියමිත බිලියන ගණනක මුදල අයකර නොගැනීම, කෙමෙන් කෙමෙන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඈත් වීම, දුම්රිය දෙපාර්තමේන්තුව සතු සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම මෙන්ම නවීන තාක්ෂණයට අනුගත නොවීම ද දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිහානියට හේතු වී තිබේ.

නැවත මහජනයා සතු මේ වටිනා සම්පත ගොඩ ගැනීමට නම් පළමුව මගීන් දුම්රියට ආකර්ෂණය වන ආකාරයට කටයුතු කළ යුතුය. නිසි කලට වෙලාවට දුම්රිය ධාවනය කිරීම, හොඳ සැප පහසු දුම්රිය මැදිරි ගෙන්වීම, මගීන්ට හොරෙන් යා නොහැකි පරිදි මෙන්ම ටිකට් පෝලිම්වල රැඳී නොසිට විද්‍යුත් ටිකට්පත් ක්‍රමයකට මාරුවීම, දුම්රිය සහ ලංගමය ඒකාබද්ධ වී ආගමික මෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වෙත විශේෂ ගමන් වාර ක්‍රියාත්මක කිරීම, දුම්රිය සතු ඉඩම් ප්‍රයෝජනවත් කටයුතු සඳහා යොදා ගැනීම කළ හැක.

මගී ප්‍රවාහනයෙන් පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගොඩගත නොහැක. දුම්රිය ලාභදායකම ආදායම් මාර්ගය භාණ්ඩ ප්‍රවාහනය බැවින් ඒ සඳහා වැඩි වැඩියෙන් යොමු විය යුතුය. මෙය මැනවින් තේරුම් ගත් ඉංග්‍රීසි ජාතිකයන් ඒ සඳහා යොමු විය. 1867 සිට 1934 දක්වා කාල පරිච්ඡේදය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් 57% ක්ම උපයාගෙන ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය මගිනි. 1968 වර්ෂය වනවිටත් මෙරට භාණ්ඩ ප්‍රවාහනයේ දුම්රිය සතු අයිතිය 38% කි. නමුත් කනගාටුවට කරුණ වන්නේ දැන් එය 0.3% දක්වා පහත වැටී තිබීමයි. මේ තරමටම භාණ්ඩ ප්‍රවාහනය පහත වැටුණේ පසුගිය ආණ්ඩුවල සිටි උදවියගේ ඕනෑ එපාකම්වලට දුම්රිය දෙපාර්තමේන්තුව වන්දි ගෙවූ නිසාය. බොහෝ මැති ඇමැතින්ට ඉන්ධන පිරවුම්හල් මෙන්ම බවුසර් රථ ද ඇත. මේ අය කරන්නේ ඒ සඳහා මග පාදා ගැනීමට දුම්රියෙන් මේවා ගලවා තමන් සතු කර ගැනීමයි.

ප්‍රීමා පිටි සමාගම සමග පිටි ප්‍රවාහනයට අදාළව ගිවිසුම් අත්සන් කර ඒ සඳහා අවශ්‍ය උපකරණ, කන්ටේනර් රථ ආදිය මිලට ගත්ත ද එයින් නිසි ඵල ප්‍රයෝජන ගත්තේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රීමා සමාගම සමග හරියාකාරව කටයුතු කළේ නම් වාර්ෂිකව උපයාගත හැකිව තිබූ මුදල 232,196,244 කි. නමුත් ඒ ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ඇසක් ඇර බලන්නේ නැත.

එසේම එවැනි තවත් ආදායම් මාර්ගයකි සිමෙන්ති ප්‍රවාහනය. මේ හරහා ද අති විශාල මුදලක් උපයාගත හැක. ටෝකියෝ සමාගම පවසන පරිදි ඔවුන්ගේ සිමෙන්ති ප්‍රවාහනයෙන් පමණක් වාර්ෂිකව මිලියන 24 ක් උපයාගත හැක. ගල්අඟුරු ප්‍රවාහනය සඳහා ද තවත් සමාගමක් සමග ගිවිසුම්ගතව තිබුණ ද නිසි කලට වේලාවට අවශ්‍ය පහසුකම් නොසැපයීම මත එම සමාගම ගිවිසුමෙන් ඉවත් විය. එයින් දුම්රියට වාර්ෂිකව ලැබීමට තිබූ මිලියන 28 ක මුදලක් අහිමි විය.

එමෙන්ම ආයෝජන කලාප සම්බන්ධ කරමින් වරාය වෙත කන්ටේනර් පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කළ හැක. මේ තුළින් අති විශාල මුදලක් උපයාගත හැකි වනවා මෙන්ම කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදයට විශාල විසඳුමක් දිය හැක. තවද කොළඹට අත්‍යවශ්‍යම දෙයක් වන්නේ මනම්පිටියේ වැලිය. දුම්රිය මගින් වැලි ප්‍රවාහනය මහා පරිමාණයෙන් ආරම්භ කිරීම තුළින් දැන් පවතින තෙල් අර්බුදයට මෙන්ම අඩු මිලට ජනතාවට වැලි මිලට ගත හැක. දුම්රියට ද හොඳ ආදායමක් ලබාගත හැක.

මේ ආකාරයට ඕනෑ තරම් දේවල් දුම්රිය හරහා ප්‍රවාහනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මෙන්ම සමස්ත ජනතාවටම සහන සැලසිය හැක. නමුත් කොමිස්වලටම ගිජු වී සිටින නිලධාරීන් නිසි තීරණ නිසි වෙලාවට ගන්නෙ නැත. නැති නම් අදාළ ආයතන මාස ගණනක් රස්තියාදු කරවයි. මේ නිසා නැවත ඔවුන් දුම්රිය දෙස හැරී බලන්නේවත් නැත. කලට වෙලාවට කරන්නේ ඉල්ලීම් දිනාගැනීම සඳහා වැඩ වර්ජන කිරීම පමණි.

ආර්ථික ඔස්තාර්වරයකු වන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට සැබෑ වුවමනාවක් තිබේ නම් දුම්රිය පාඩුයි පාඩුයි කියමින් නොසිට මේ සඳහා අතගැසිය හැක. එවිට බස් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු, පාසල් වෑන් රථ ගාස්තු, නැව් ගාස්තු, ගුවන් යානා ගාස්තු වැඩි වුවත් දුම්රිය ගාස්තු වැඩි නොකර රජයට බරක් නොවී ජනතාවටද සහනයක් වන ආකාරයට දුම්රිය සේවය පවත්වා ගෙන යෑමට හැකිවනවා ඇත. තවත් එක් ප්‍රවාහන ඇමැතිවරයෙක් වනවාද නැතිනම් දුම්රිය සේවයට නව ජීවයක් දී එය ගොඩනැංවූ ඇමැති වරයෙක් වනවාද යන්න ඔබට භාරය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment