දේපළ පැවරීමට දරුවන් නොමැති හේතුවෙන් දරුකමට හදාගත් අයෙකුට දේපළ ලියාදීමට සූදානම් වීමත් සමග ඉංජිනේරුවරයා ඝාතනය කළ බව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්ඡුාරණය කර ඇත.
වසර තුනකට පෙර එසේ ඝාතනය කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක් පමණ වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයකු ලෙස ද කටයුතු කළ වීරබද්ධරාළලාගේ සමන් විජේසිරි නමැති 63 හැවිරිදි ඉංජිනේරුවරයා, හලාවත කාකපල්ලිය ඉදිගොඩවිල ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
රුපියල් කෝටි පනහකට අධික දේපළ ලබාගැනීම සඳහා මෙලෙස ඉංජිනේරුවරයා ඝාතනය කර ඇතැයි දැනට සිදුකර ඇති විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
සමන් විජේසිරි මහතා එක්වරම අතුරුදන්ව ඇති බවට වාර්තා වී තිබුණේ මීට වසර 3කට පෙර එනම් 2018 දීය.
ඒ පිළිබඳ පළමු පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ හලාවත පොලිසියටය.
පසුව සමන් විජේසිරි මහතාගේ ඥාතියකු පරීක්ෂණ නිසි ලෙස සිදුනොවන බවට පොලිස් කොමිසමට පැමිණිලිකර තිබුණි.
ඒ අනුව, 2020 වසරේදී මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ අතර ඒ අනුව එහි විමර්ශනය භාරදී ඇත්තේ මෑතකදී ආරම්භ කෙරුණු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙතට ය.
මෙම ඉංජිනේරුවරයා ඝාතනයකර ඇති බව එම ඒකකයේ විමර්ශන මගින් මුල්වරට අනාවරණ කර
ගැනීමට සමත්වී තිබුණි.
එම ඉංජිනේරුවරයාව ඝාතනය කර කලපුවක සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසුව අත්අඩංගුවටගත් තිදෙනකු පසුගිය සතියේ කළ පාපොච්ඡුාරණයක් කර තිබේ.
අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන පේරාචි ලින්කන් නමැත්තා ඉතාලියේ සිට පැමිණ ව්‍යාපාරිකයකු ලෙස මෙරට කටයුතු කරන අයෙකි.
දෙවැනි සැකකරු වන රුවන් චන්දන ද ව්‍යාපාරිකයෙකි.
නිහාල් දේවප‍්‍රිය නමැති තුන්වැනි සැකකරු මියගිය අයගේ ඥාතියෙක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම සැකකරුවන් 2018 ඔක්තෝබර් 12 වැනිදා සමන් විජේසිරි නමැති ඉංජිනේරුවරයාව පැහැරගෙන ගොස් ඝාතනය කර හලාවත කලපුවේ සඟවා ඇති බව අනාවරණ වී තිබේ.
සමන් විජේසිරි මහතා ජපන් කාන්තාවක සමග විවාහ වී පසුව දික්කසාද වූ අයෙකි.
සමන් විජේසිරිගේ ඝාතනයෙන් පසු සැකකරුවන් නීතිඥවරයකුගේ සහායෙන් ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රයකින් ප‍්‍රධාන සැකකරුගේ නමට දේපළ ලියාගෙන ඇති බවද අනාවරණය විය.
එම ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රය මගින් සියලූ දේපළ විකිණීමට ප‍්‍රධාන සැකකරුට බලය පවරාගෙන තිබූ බව පරීක්ෂණ මගින් අනාවරණය විය.
ඝාතනයට ලක්වූ අය විදෙස්ගත වූ බව හැඟවීමට 2019 මැයි 28 වැනිදා ඹඛ 225 යානයෙන් ඔහු විදෙස්ගතව ඇති බවට කටුනායක ගුවන්තොටුපළේ දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත්කර ඇති බව අනාවරණ වී තිබුණි.
ආගමන විගමන නිලධාරියකුට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ලබාදෙමින් එසේ දත්ත ඇතුළත් කර ඇති බව සොයා ගැනුණි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන නිලධාරියා, නීතිඥයා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර කලපුවට දැමූ බව කියන දේහයේ කොටස් සෙවීමටද විමර්ශන ආරම්භ කර ඇත.
|