කෝටි ගණන් සල්ලි අරන් ඩයස්පෝරාව එන්නේ මොකටද?

405

අර්බුදය සඳහා විසඳුමක් ලෙස තවත් අර්බුද ගණනාවක් කැඳවා ගැනීමේ වෑයම තවම නිමාවී නැත. දෙමළ ඩයස්පෝරාව සඳහා ලබාදී තිබෙන ආයෝජන අවස්ථාව යනු, අර්බුදයක් මත්තේ පැනනඟින තවත් අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. පසුගිය බදාදා ශ‍්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඞ් මහත්මිය සමග සිදු කරන ලද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ තමන් දෙමළ සන්ධානය සමග සාකච්ඡා කිරීම සඳහා සූදානම්ව සිටින බවය. එදින පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප‍්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා නූලන්ඞ් මහත්මිය එහිදී දැනුවත් කිරීමෙන් පසුව, ඒ පිළිබඳ ප‍්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය; කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නාය. ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා, උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය සඳහා ඔවුන්ට ඇරයුම් කරන බවද නූලන්ඞ් මහත්මිය හමුවේ පවසා සිටියේය. මේ දැනුම් දීම අනුවම ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාව සිකුරාදා පැවැත්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ පිරිසක් සමග සාකච්ඡා පවත්වන ලද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරන ලද්දේ, ”අපගේ එක්සත්, නොබෙදුණු වෙන්කළ නොහැකි ශ‍්‍රී ලංකාවක්… සියලූ දෙනාගේ ස්වෛරීත්වයට ගරු කරන රටක්… එවිට සියලූ දෙනාගේ ස්වෛරීත්වයට සාධාරණ ප‍්‍රවේශයක් ලැබෙයි. එක්සත්, නොබෙදුණු, වෙන්කළ නොහැකි ශ‍්‍රී ලංකාවක් තුළ, ශ‍්‍රී ලංකාව සශ‍්‍රීකත්වයට පත්වීම අපගේ අපේක්ෂාවයි.’ යනුවෙනි. සාකච්ඡාව අවසානයේ දී මාධ්‍ය අමතමින් එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සඳහන් කරන ලද්දේ ”ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයා සහ මම වාඩිවෙලා, ඒ දීර්ඝ කාලයක් සිටින සිරකරුවන් නිදහස් කරන ක‍්‍රමය, අපි ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න එකඟ වුණා. දෙවනුව ඉඩම් ප‍්‍රශ්නය; උතුරු නැගෙනහිර පළාතේ ජන සංයුතිය වෙනස් කරන මුවාවෙන්, සිදු කරන සියලූ දේ නතර කරන බවට ජනාධිපතිතුමා අපිට සහතිකයක් දුන්නා. උතුරු නැගෙනහිරට විශේෂ සංවර්ධන අරමුදලක්, පිහිටුවන බවත්, ඒ තුළින් ඩයස්පෝරා මගින් ගෙන්විය හැකි ආයෝජන ගෙන්වා ගැනීමට, අවශ්‍ය වාතාවරණය රජය සකස් කරන බවට සහතික වුණා.’’ ලෙසය.

මෙහිදී දකින්නට ලැබෙන පළමු කාරණය වන්නේ තවමත් දෙමළ ජාතික සන්ධානය සිටින්නේ, ඒකීය ශ‍්‍රී ලංකාව නම් නෛතික ස්ථාවරයට පිටුපා බවය. සම්බන්ධන් මහතා මේ ‘ඒකීය’ වචනය වෙනුවට එක්සත්, නොබෙදුණු, වෙන් කළ නොහැකි ශ‍්‍රී ලංකාවක් යන වචනය භාවිතා කරන බව පෙනේ. එහි අරමුණ වන්නේ, ෆෙඩරල් පන්නයේ බලය බෙදා හැරීමක් සඳහා අවශ්‍ය පරිසරය තබා ගැනීමය. ප‍්‍රභාකරන්ගෙන් බේරාගත් දේශය සඳහා ෆෙඩරල් පන්නයක් ගෙන්වා ගැනීම මේ රට ජනතා අවශ්‍යතාවය නොවේ. එසේම එවැනි මතධාරීන් සමග සාකච්ඡා කිරීමම, ෆෙඩරල් පන්නය සඳහා පන්නරයක් ලබාදීමක් බව සඳහන් කළ යුතුය.

”ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවෝ පමණක් මනුෂ්‍යයෝ’’ යන ස්ථාවරයේ සිට, ඔවුන් වෙත විශේෂ සමාවක් ප‍්‍රදානය කිරීම එක් අතකින් ජාතිවාදී වුවමනාවක් සේම අනික් අතින් එක් රටක් – එක නීතියක් යන ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන පොරොන්දුවට ද පිටුපා යෑමකි. සියලූ සිරකරුවන් විෂයෙහි එවැනි සොයා බැලීමක් සිදු කරනවා වෙනුවට, දේශය වෙන් කරලීම සඳහා ත‍්‍රස්තවාදය භාවිතා කරන ලද, එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සඳහා දෙමළ ජාතික සන්ධානයේ, වර්ගවාදී පදනමට උල් පන්දම් දෙමින්, මෙසේ එක්තරා සිරකරුවන් ප‍්‍රමාණයක් පිළිබඳව විශේෂ සමා අවස්ථාවක් ලබාදීම, කුමන මනුෂ්‍ය දහමට එකඟ වන්නේ දැයි ආණ්ඩුව කිව යුතුය. එතැනදී නීතිය සමවනුයේ කෙසේදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතුය. මේ යටතේ වසර දහයකට වැඩි ප‍්‍රමාණයක් රඳවාගෙන සිටින එල්ටීටීඊ සංවිධානයට අයත් සිරකරුවන් හතළිස් අට දෙනකු සඳහා විශේෂ සමාවක් ලබාදීමේ යාන්ත‍්‍රණයක් සැකසීමට අදහස් කරන බව පෙනේ. මෙම ත‍්‍රස්තවාදී අපරාධකරුවන්ට වඩා, ප‍්‍රමාණයෙන් සහ වර්ග කිරීමෙන්, අඩු අපරාධ මට්ටමක් සහිත සිරකරුවන් වෙත සිදුවන අසාධාරණය සඳහා මෙහිදී වග කිව යුතු වන්නේ කවුද…? ඒ නිසා, මෙම වර්ගවාදී සමාව දීමට එරෙහිව සෙසු සිරකරුවන් දැන් තබාම, සිය අවනඩුව, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුමය.

එසේම සුමන්දිරන් මන්ත‍්‍රීවරයා සඳහන් කරනුයේ උතුරු නැගෙනහිර, ජනවර්ග පදනම වෙනස් වන සේ සිදු කරන සියලූ දේ නවත්වන බවට ජනාධිපතිවරයා එකඟවූ බවට සිදු කරන ප‍්‍රකාශයෙන් පෙනී යන්නේ, එම ප‍්‍රදේශ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අනාගත බලාපොරොත්තුවය. මේ අවස්ථාවේදී අඩියක් පිටුපසට ගෙන, තමන්ට අවශ්‍ය පරිදි වර්ගවාදී ආකාරයෙන් එම පළාත් දෙක තබා ගැනීමේ, දෙමළ ජාතික සන්ධානයේ අභිලාශය සඳහා ජනාධිපතිවරයා එකඟ වූයේ, ‘එක නීතියක් – එක රටක්’ වෙනුවට උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම නීතියක් ලෙස තහවුරු කිරීමෙන් පසුවද…? මේ රටේ කිසිදු පළාතක් ජන සංයුතිය පිළිබඳව සිතා මිනිස්සු ඉඩම් ගන්නේ නැත. ආණ්ඩුව එවැනි සංයුතියක් බලා ජනතාව වෙත ඉඩම් දෙන්නේ ද නැත. එසේ නම් උතුරු සහ නැගෙනහිර දෙපළාතට නව තත්ත්වයක්, එහිදී අවශ්‍ය වනුයේ කුමන හේතුවක් නිසාද…?

මේ සියල්ලටම වඩා භයානක කාරණය වන්නේ, උතුරු නැගෙනහිර සඳහා වූ විශේෂ සංවර්ධන අරමුදලය. මෙහි ඉලක්කය වනුයේ දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ලබා ගැනීම බව සඳහන්ය. මේ රටේ ආයෝජන අවස්ථා සඳහා නෛතික තත්ත්වයන් රාශියක් ඇති කර තිබේ. ඉන් ප‍්‍රමුඛ වන්නේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයය. එය කාටත් පොදු ආයතනික රටාවකි. එසේ තිබියදී මෙසේ වර්ගවාදී පදනමින්, විදේශ ගත දෙමළ ප‍්‍රජාවක්, විශේෂයෙන්ම, ප‍්‍රභාකරන්ගෙන් ගිලිහුණු ධජය, තවමත් ඔසවාගෙන යන, එම අභිප‍්‍රාය සඳහා තවමත් වෙහෙසෙන පිරිසක් වෙත ‘විශේෂ අරමුදලක්’ ඔවුනගේ සිහින ඉසව්ව සඳහා වෙන් කරමින් ලබා දෙන්නේ, කෙසේද…?

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ”එවැනි ආයෝජන යා යුත්තේ, බැංකු ඇතුළු සාමාන්‍ය ශ‍්‍රී ලංකාවේ භාවිතා වන මාර්ග ඔස්සේ පමණක් බවය.

”යුද්ධයෙන් පසුව පවා, අපි යම් යම් දිරිගැන්වීම් ලබා දුන්නා, උදාහරණයක් ලෙස ඔවුන් එහි ආයෝජනය කරන්නේ නම්, ඒ හා සමාන බදු නිදහස් කිරීම් සහ බොහෝ විට දිගුකාලීන බදු මත රජයේ ඉඩම් ලබාදීම, ආදිය සාකච්ඡාව විශේෂ අරමුදලක් ගැන වුවද, එයින් අදහස් වන්නේ උතුරු නැගෙනහිර ආයෝජන කිරීමට ඩයස්පෝරාව කැමැත්තෙන් සිටින බවයි. මේ මොහොතේ, ඔවුන් රටේ වෙනත් ප‍්‍රදේශවල විශාල වශයෙන් ආයෝජනය කර තිබේ. උදාහරණයක් ලෙස මහල් නිවාස ව්‍යපෘති සඳහා, ඔවුන් සඳහා එවැනි දෙයක් කෙසේ සිදු කරන්නේ ද යන්න මෙහිදී සොයා බලනු ඇත. බදු සහන සහ විශේෂ යාන්ත‍්‍රණ තිබේද යන්න ආදිය සලකා බලනු ඇත. එසේ වුවත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නැහැ.’’ යනුවෙන් එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

දෙමළ ඩයස්පෝරාව මේ ආයෝජන කතාව දැන් කාලයක සිට වපුරවමින් තිබේ. යහපාලන ආණ්ඩුව පැමිණ මුල් සමයේදී හෙවත් 2016 සැප්තැම්බර් මාසයේදී, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුවිය.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවති මෙම හමුවට දෙමළ ඩයස්පෝරා ප‍්‍රජාව නියෝජනය කරමින් බි‍්‍රතාන්‍යය මූලික කර ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය සභාපති එස්. ජේ. එම්. මානුවෙල් පියතුමා, එහි කැඳවුම්කරු සුරේන් සුරේන්දිරන්, දෙමළ පුනරුත්ථාපන සංවිධානයන් හි සාමාජිකයන් පිරිසක් හා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ ජර්මනිය යන රටවල් හි සිටින ඩයස්පෝරා සාමාජිකයෝ සහභාගි වූහ. එහිදී ද උතුරු සහ නැගෙනහිර පළාත් මූලික කර ගත් ආර්ථික සංවර්ධන වැඩසටහන් සඳහා දෙමළ ඩයස්පෝරාව සිය දායකත්වය ලබාදෙන බව පවසා සිටියත් එවැනි කිසිවක් අවසානයේදී සිදු නොවීය. එසේ දෙන තරමට මුදලක් එක්කෝ මේ ඩයස්පෝරාව සතුව නැත, එසේ නැත්නම් මේවා තමන්ගේ පැවැත්ම සඳහා දෙමළ වර්ගවාදය ගසන අලූත්ම ගේම් එකය.

පැවත්ම යනු මෙහිදී දෙයාකාරය. ආයෝජන විලාසයෙන් සහ ඒ සඳහා දමනු ලබන කොන්දේසි ප‍්‍රකාරව ශ‍්‍රී ලංකාව මගින් එල්ටීටීඊය ලබා ගන්නා ලිහිල් කරණය, ජාත්‍යන්තරයේදී ඔවුන් සඳහා වාසිදායක අයුරින් භාවිතා කිරීම මෙහි එක් අරමුණකි. දැනටමත් ලොව පුරා රටවල් ගණනාවක් එල්ටීටීඊ සහ එම හිතවාදී සංවිධාන හි ගිණුම් ගණනාවක් තහනම් කර තිබේ. එම තහනම සඳහා ලිහිලක් ලබා ගත හැක්කේ, අදාළ සංවිධාන සඳහා ශ‍්‍රී ලංකාව පනවා ඇති තහනම ලිහිල් කර ගැනීමෙන් බව ඩයස්පෝරාව දනියි. 2005 නොවැම්බර් 23 වැනි දින, ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය, මෙල්බර්න් හි එල්ටීටීඊ ක‍්‍රියාකාරීන්ගේ ස්ථාන වටලා ඔස්ටේ‍්‍රලියාවේ එල්ටීටීඊ මෙහෙයුම් ප‍්‍රධානී තිල්ලෙයි ජෙයකුමාර් සහ එහි ‘ආර්ථික උපදේශක’ ජෙයරාජන් මහේෂ්වරන් ඇතුළු 15 දෙනකුට වැඩි පිරිසක් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්තේය. ඒ සමග පරිගණක දෘඩාංග, විදේශ ගමන් බලපත‍්‍ර, මුදල්, දිනපොත්, බැංකු රිසිට්පත් සහ චෙක්පත් පොත් ද ක‍්‍රියාකරුවන්ගෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

යුරෝපා සංගමය එල්ටීටීඊය සැබවින්ම තහනම් කිරීම වෙනුවට ‘තහනම් කිරීමේ තර්ජනය’ දිගටම භාවිතා කරයි. 2005 සැප්තැම්බර් 27 වැනිදා, එල්ටීටීඊය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කරන බවට තර්ජනය කරමින්, ශ‍්‍රී ලංකාවේ කොටින්ගේ අඛණ්ඩ ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් තම සාමාජික රටවලට කැරලිකාර නියෝජිතයන් මින් ඉදිරියට නොලැබෙන බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත්, එවැනි තර්ජන එල්ටීටීඊය මූල්‍යමය සහ දේශපාලනික වශයෙන් තම ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට හානි පමුණුවා ඇත. නිදසුනක් වශයෙන්, 2006 මාර්තු 15 වන දින, ඩෙන්මාර්කයේ හර්නිං නගර සභාවේ, ශ‍්‍රී ලංකා දෙමළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමාජිකයකු වන අරුල් තිලයිනදරාසා, එල්ටීටීඊය සමඟ ඇති සබඳතා හෙළිදරව් කිරීමෙන් පසු ඔහු පක්ෂයෙන් නෙරපා හරින ලදී. එල්ටීටීඊය අරමුදල් රැුස්කිරීමේ සහ කප්පම් ගැනීම් සඳහා වන එහි යාන්ත‍්‍රණයන්ට එරෙහිව සැලකිය යුතු ක‍්‍රියාමාර්ගයක් ගැනීමේදී රටවල් අතර ඒකාකාරී භාවය නොමැතිකම ඔවුන් වෙත, දිගින් දිගටම ප‍්‍රයෝජනවත් වී තිබේ. එසේම මෙම තහනම් සලකා බැලීමේදී ලොව පුරාම මානය වශයෙන් භාවිතා කරනු ලබන්නේ, ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් දරණු ලබන ස්ථාවරයය.

යහපාලන රජය සමයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එල්ටීටීඊ හිතවාදී සංවිධාන ගණනාවක තහනම ඉවත් කළේය. මෙම රජය පැමිණි පසු, නැවත එම සංවිධාන තහනම සඳහා පියවර ගනු ලැබීය. 2021 අපේ‍්‍රල් දෙවැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය අනුව,

බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය, ඔස්ටේ‍්‍රලියානු දෙමළ කොංග‍්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු විදේශයන්හි ක‍්‍රියාත්මක සංවිධාන හතක් තහනම් කළ අතර ඒවායේ ක‍්‍රියාකාරීන් 388 දෙනකුට ද මෙරටට පැමිණීම තහනම් කර තිබුණි. මෙම තහනම සඳහා ලිහිලක් ලබා ගතහොත්, ප‍්‍රභාකරන්ගේ දතින් ගිලිහී ගිය ඊළාම් ධජය යළි තම දෑතින් මුදුන් පමුණුවා ගැනීම එල්ටීටීඊ ඩයස්පෝරාවේ අරමුණ වනවා ඇත.

විශේෂයෙන්ම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් එම රටවල, එල්ටීටීඊ ඩයස්පෝරාවට ඇති අධිකරණමය කර්තවයන්හි දී ප‍්‍රමුඛ වී ඇත්තේ, ශ‍්‍රී ලංකාව එල්ටීටීඊය සම්බන්ධයෙන් දරන ස්ථාවරයය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේදී යම් ලිහිල්කාරී පිළිවෙතක් සඳහා යා හැකි වෙතොත්, එල්ටීටීඊ ඩයස්පෝරාවට, සිය යළි නැඟීසිටීම සඳහා ශ‍්‍රී ලංකාවෙන් ඔබ්බේ යම් නෛතික සහනශීලීත්වයක් ලබා ගත හැකිය. බොහෝ විට සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගේ ඉලක්කය එය විය හැකිය. අනෙක් අතට එවැනි කොන්දේසි රහිතව ඕනා තරම් පිරිස් මෙරට, මේ වන විට ද ආයෝජනය කර තිබේ, ඩයස්පෝරා ලෙස නොගෙන විදේශගතව සිටිනා ශ‍්‍රී ලාංකිකයන් ලෙස එම ආයෝජන ඔවුන් මෙරටට ගෙනැවිත් තිබේ. ස්වාර්ණවාහිනී ආයතනය ඇතුළු බොහෝ ආයතන සඳහා මේ වන විටත් විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ලෙස දෙමළ ප‍්‍රජාව ආයෝජන ගෙනැවිත් තිබේ. එම මාර්ගය කිසිදු වර්ගවාදී පදනමක් රහිත ආයෝජන පිවිසුමකි.

රටක් ලෙස ලංකාව මේ මොහොතේ මුහුණපා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට තමන්ගේ උපරිම සහාය දෙන බව පවසමින්, දෙමළ ඩයස්පෝරා සාමාජික නිමලන් විශ්වනාදන් මහතා පසුගිය දිනක පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සමග සාකච්ඡා පැවැත්වූහ. එහිදී ඔහු පවසා සිටියේ, යුද්ධය පැවති සමයේ විදෙස්ගතවී සිටි දෙමළ ඩයස්පෝරාවේ මිලියන තුනක් පමණ වන සාමාජිකයන් සමග එක්වී, තම සංවිධානය මේ මොහොතේ රජයට සහාය ලබාදීමට සූදානම් බවය. ලංකාවට මේ වනවිට ටි‍්‍රලියන 18ක පමණ ණයබරක් තිබෙන නමුත් ඉන් ටි‍්‍රලියන 15ක පමණ මුදලක් දෙමළ ඩයස්පෝරාව හරහා මෙරටට ගෙනඒමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු එහිදී පවසා සිටියේය. ඒ සඳහා ඔහු සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කරන මට්ටමේ කිසිදු ඉල්ලීමක් නොකළේය. ඔහුගේ එකම ඉල්ලීම වූයේ සිය ආයෝජන සඳහා කිසිවකුට කොමිස් ලබා නොදෙන බව පමණය. එසේ තිබියදී සුවිශේෂ කොන්දේසි සහ උතුරු සහ නැගෙනහිර දෙපළාත පමණක් ඉලක්ක කර ගනිමින් මේ ගෙන ඒම සඳහා උත්සාහ දරණු ලබන ආයෝජන සැලසුම කුමක්ද…?

තමන්ගේ හද තුළ රැු`දී ඇති දෙමළ ඊළාම් නිජභූමි මිථ්‍යාව ප‍්‍රකාරව, ප‍්‍රභාකරන් වෙත දිනා ගැනීමට නොහැකි වූ දෙය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කනෙන් රිංගා ගෙන ඒම මෙහි අරමුණද…? සුමන්තිරන් මන්ත‍්‍රීවරයා වෙත විදේශගත සියලූ දෙමළ ප‍්‍රජාව හැසිරවීමේ හැකියාවක් දැන් නැත. එල්ටීටීඊ ඩයස්පෝරාව දැන් සිටින්නේ කැබලි වූ තත්ත්වයකය. එල්ටීටීඊයේ බලහත්කාරකමට බියෙන් සිය වැටුප පරිත්‍යාග කළ, දෙමළ ප‍්‍රජාව දැන් ඒ රැුහැනින් මිදී සිය අවශ්‍යතාවයන් සපුරා ගනිමින් නිදහසේ ජීවත් වන බව කිව හැකිය. එම නිදහස ලැබී ඇත්තේ, ලොව පුරාම එල්ටීටීඊ ඩයස්පෝරා සංවිධාන තහනමට ලක්වීමත් සමගය. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගේ මේ උත්සාහය ඒ ජනතාව යළිත් වටයකින්, පැරණි පාරට දැක්කා, ප‍්‍රභාකරන්ගේ දරුණු කොල්ලය වෙනුවට, සැහැල්ලූ ආකාරයෙන් එම ප‍්‍රජාව යළි දඩයම් කිරීම බව පෙනේ.

ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, 2013 වන විට ලංකාවෙන් වෙනත් රටකට සංක‍්‍රමණය වී සිටි පුද්ගලයන් ප‍්‍රමාණය, මිලියන 1.8ක් පමණ වේ. පසුගිය වසර තුන තුළ සංක‍්‍රමණය වූ පිරිස්ද එකතු කළ විට මේ ගණන මිලියන 2 ඉක්මවා තිබෙන්නට ඉඩ තිබේ. 2015 දී රටේ ජනගහණය මිලියන 21 ක් පමණක් වූ බව සැලකූ විට මේ ගණන සැලකිය යුතු ප‍්‍රතිශතයකි. එමෙන්ම, ඉහත ඇස්තමේන්තුවට ලංකාවෙන් පිටත ඉපදුණු දෙවන පරම්පරාවේ සංක‍්‍රමණිකයන් ඇතුළත්ව නැත. මෙවැනි සංඛ්‍යාත්මක ශ‍්‍රී ලාංකික ඩයස්පෝරා ප‍්‍රජාව, සිංහ ධජය යටතේ එක් කිරීමේ කාර්ය භාර්යය සිදු කිරීම සෑම ආණ්ඩුවකම වගකීමය. විදේශ අමාත්‍යාංශය මාර්ගයෙන් තානාපතිවරු හරහා එම කර්තව්‍ය සිදු කරනවා වෙනුවට, එතෙරදී, ඔවුන් බෙදා වෙන් කර, මෙරට බෙදුම්වාදය වෙනුවෙන් නව මං තැනීමක් උදෙසා, අවස්ථාව ලබා දිය යුතු නැත.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment