කෝටි තිස්දාහක් පිල්ලි ඇරපු රාජ්‍ය ආයතන දහසයක්

207

රාජ්‍ය ආයතන, සංස්ථා මණ්ඩල හා සමාගම්වල සිදුවී ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ තොරතුරු සෑම වසරකම පාහේ ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කරනු ලැබේ. ඒ විතරක් නොව සෑම වර්ෂයකම පාහේ ඇතැම් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තා ඉදිරිපත් කිරීමට ද ජාතික විගණන කාර්යාලය මගින් කටයුතු කර ඇත. එකී වංචා, දූෂණ මෙන්ම විනිවිද භාවයෙන් තොරව සිදුවී ඇති ගනුදෙනු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ද ජාතික විගණන කාර්යාලය මගින් සිය විගණන වාර්තා මගින් ඉදිරිපත් කොට ඇත. එහෙත් මෙකී විගණන වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැලිකමක් දක්වති.

එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතන සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම සඳහා විගණන කාර්යාලය වෙත නියමිත දිනට ඉදිරිපත් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු නොකරති. 2021 වර්ෂය අවසානය වනවිට විගණකාධිපතිවරයාගේ සෘජු විගණනයට ලක්කළ යුතු රාජ්‍ය සමාගම් සංඛ්‍යාව 125කි. ඉන් සමාගම් 70ක් සිය මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කොට නොතිබුණි. ලිට්‍රෝ ගෑස් සමාගම 2019 වර්ෂයෙන් පසු විගණනයට ලක්කොට නොතිබුණි. මෙකී සමාගම් අතුරින් විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ එක් සමාගමක් තම ආයතනය විගණකාධිපති විසින් විගණනය කිරීම වළක්වාලමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි. එමෙන්ම දේශපාලන බලපෑම් මත ඇතැම් රාජ්‍ය ආයතන විගණනය කිරීමට ඉඩ ලබා නොදෙන බවද විගණන නිලධාරිහු පවසති.

ඒ කොයිහැටිවුවද පසුගිය කාලයේ ඇතැම් රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල හා සමාගම්වල සිදුවූ විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ රැසක් විගණන වාර්තා මගින් අනාවරණය කොට තිබුණි. ඇතැම් ආයතනල මූල්‍ය අක්‍රමිකතා සිදුවී තිබුණේ මිලියන, බිලියන ගණනිනි. එහෙත් මෙකී විගණන වාර්තා අනාවරණයන් බවට පමණක් සිමා වී තිබුණි. ජාතික විගණන කාර්යාලය සඳහන් කරන ආකාරයට පසුගිය වසර පහක කාලය තුළ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන 16ක රුපියල් කෝටි 30,000කට වඩා වැඩි වංචා දූෂණ, අක්‍රමිකතා සිදුවී තිබුණි. රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් පසුගිය වර්ෂ 05ක කාලය තුළදී නිර්දේශ 2000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කොට තිබුණි. වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ඉදිරිපත් කොට තිබුණේ මෙකී රාජ්‍ය ආයතන 16 සම්බන්ධයෙනි. ඒ විතරක් නොව ඉකුත් වසර 05ක කාලය තුළදි ඇතැම් රාජ්‍ය ආයතන මගින් සිදුකරනු ලැබූ විවිධ මිලදී ගැනීම්වලට අදාළ වංචා, දූෂණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ විශේෂ විගණන වාර්තා සංඛ්‍යාව 50කට අධිකය.

● ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත ගනුදෙනුව

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දූෂණ වංචා සම්බන්ධයෙන් කප්ගැසූ ආයතනයකි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්, A 350-900 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට. තීන්දුකොට තිබූ අතර, 2020/2021 යන වර්ෂවල එකී ගුවන් යානා ලැබීමට නියමිතව තිබුණි. එහෙත් මේ අතරතුරේ A 350-900 මෙම ගුවන්යානා 04 වෙනුවට A 321 නියෝ සහ A 330 නියෝ ගුවන් යානා මිලදී ගැනීමට සමාගම හා එස්. ඒ. එස්. එයාර්බස් සමාගම අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. ඒ සඳහා මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 03 වැනි දින වනවිට ගුවන් යානා ලබා ගැනීමේ පෙර ගෙවුම් ලෙස රුපියල් මිලියන 2528.12ක (ඇමරිකානු ඩොලර් මිලියන 19.21) මුදලක් අදාළ සමාගම වෙත ගෙවාදැමීමට ගුවන් සමාගම විසින් කටයුතු කර තිබුණි.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් A 350-900 මෙම ගුවන්යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වූ බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස්, නමසිය, විසිහතරයි, දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි. කෙසේවුවද මෙම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට අයත් සමාගමකට ගෙවීම් කිරීමට එයාර්බස් සේවකයින් එකඟ වී තිබූ බවද විගණනය මගින් ද අනාවරණය කොට ඇත. මේ බව එක්සත් රාජධානියේ ක්‍රවුන් උසාවියේ තීන්දුවෙන් ද අනාවරණය වී තිබුණි. මේ නිසා නීති උපදෙස් මත පදනම්ව ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගමෙන් A 350-900 ගුවන්යානා, මිලදී ගැනීමේ ගිවිසුම අවසන් කර තිබුණි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර පෙර ගෙවුම් ලෙස එස්.ඒ.එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි.

එහෙත් මේ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව, සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර අලාභය අයකරගැනීමට කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ නිසා සමාගමට සිදුවූ අලාභය අයකර ගැනීමට එයාර්බස් සමාගමට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

● හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව, සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් මේ පිළිබඳ විගණනයට සඳහන් කොට ඇත්තේ එයාර්බස් සමාගමේ සේවකයන් විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට අයත් සමාගමකට, ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට බලපෑම් සිදුකිරීම සඳහා ගෙවීම් කිරීමට එකඟ වී තිබූ බවය. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට A 330-300 ගුවන් යානා 06ක්, A 300-350, ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට හා A 350-900 ගුවන්යානා 04 ක් කුලී පදනම මත ලබාගැනීමේ ගනුදෙනුවට බලපෑම් සිදුකිරීම සඳහා ගෙවීම් කිරීමට එකඟ වී තිබූ බවය. එක්සත් රාජධානියේ සුපිරි අධිකරණය මගින්, බරපතළ වංචා කාර්යාලය හා එස්.ඒ.එස් එයාර්බස් සමාගම අතර ඇතිකරගෙන තිබූ ගිවිසුම අනුමත කරමින් ලබාදෙනු ලැබූ තීන්දුව මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බවද ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

එමෙන්ම ගුවන් සමාගම විසින් එයාර්බස්, එස්.ඒ.එස් හා එයාර්බස් එස් ඊ වෙත ගුවන් යානා ලබා ගැනීමේ පෙරගෙවීම පොලිය සමග ආපසු ලබාදෙන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. ගුවන් යානා ලැබීමට පෙර ගුවන් සමාගම විසින් අදාළ සමාගම වෙත කරනු ලැබූ පෙර ගෙවීම ආපසු අයකර ගැනීම කළ හැක්කේ නිතිමය ක්‍රියාමාර්ගයක් පමණි. එහෙත් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ නීති උපදෙස් මත පදනම්ව ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගම, සමග මෙකී ගුවන්යානා මිලදී ගැනීමේ ගිවිසුම අවසන් කිරීමට කටයුතු කළ බවය. එමෙන්ම මෙකී ගනුදෙනුවට අදාළ පෙර ගෙවීම වන්දියක් ද සමග අයකරගැනීම පිළිබඳ අදාළ සමාගම වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය.

එයාර්බස් සමාගම මෙකී ගනුදෙනුව සම්බන්ධයෙන් සුහද විසඳුමක් සඳහා ඔවුන්ගේ කැමැත්ත දන්වා ඇති බවද ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. මෙකී ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතින බවද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. එමෙන්ම ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගතහැකිද යන්න පිළිබඳව ගුවන් සමාගම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇති බවද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

● පස් විකිණීමේ කොන්ත්‍රාත්තුවෙන් වූ පාඩුව කෝටි හතරකට ආසන්නයි.

ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් බොහෝ ප්‍රසම්පාදන කටයුතු නියමිත කාලය තුළ සිදුකර නොතිබීමයි. මේ නිසා ප්‍රසම්පාදනයේ විශාල ප්‍රමාදයක් ඇති වී තිබුණි. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බී ව්‍යාපෘතිය යටතේ පොළොවෙන් කැණීම් කරනු ලැබූ පස් විකිණීමේ කොන්ත්‍රාත්තුව සඳහා උපරිම මිල ඉදිරිපත් කළ ලංසුකරු තෝරා නොගැනීමෙන් ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමට වූ පාඩුව තුන්කෝටි, හැත්තැනමලක්ෂ, අසූහතරදහස්, අටසිය අනූඅටක් (37,984,898) බව විගණනය මගින් අනාවරණය කොට ඇත. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බී ව්‍යාපෘතිය යටතේ පොළොවෙන් කැණීම් කරනු ලැබූ පස් විකිණීම සඳහා ලංසු කැඳවීමේ තාක්ෂණික කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නොතිබුණි. ඒ අනුව ද්‍රව්‍ය ගබඩාකිරීම, සඳහා අවශ්‍ය ඉඩකඩ ලබාදීම, සහ A පැකේජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව දැක්වීම මගින් තුන්වැනි ඉහළම ලංසුකරුවාට රුපියල් 16,537,102ක මිලකට විකිණීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අනුමැතිය ලබා දි තිබුණි.

කෙසේවුවද වැඩිම ලංසු ඉදිරිපත් කළ ලංසුකරුවන් දෙදෙනකුට කොන්ත්‍රාත්තුව සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කොට තිබුණි. පසුව සමාගමේ උප සභාපතිවරයා විසින් කොන්ත්‍රාත්කරු සමග සාකච්ඡා කොට කොන්ත්‍රාත් මිල රුපියල් 16,537,102 සිට රුපියල් 17,537,560 දක්වා වැඩිකිරීමට එකඟ වී තිබුණි. කෙසේවුවද 2020 ඔක්තෝබර් මස 27 වැනිදින වනවිට කැණීම් කටයුතු ක්‍රියාත්මක කර තිබුණද සමාගම දින 105ක ප්‍රමාදයකින් යුතුව 2021 පෙබරවාරි මස 09 වැනිදින කොන්ත්‍රාත් ගිවිසුමට එළඹ තිබුණි. ගිවිසුම අත්සන් කිරීමට පෙර පස් කැණීම් කටයුතු ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

● ලංකා සතොස සමාගමේ ආරක්ෂිත කැමරා සවිකිරීමට වැය කළ කෝටි 15 වතුරේ යයි

එමෙන්ම ලංකා සතොස සමාගම විසින් රුපියල් පහළොස්කෝටි, විසිනම ලක්ෂ දෙදහස්තුන්සිය, හතළිස්හතක, මුදලක් (152,902,347) වැයකොට එකී සමාගමේ අලෙවිසැල් 313ක් සඳහා ආරක්ෂික කැමරා පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබීය. එහෙත් මේවනවිට ආරක්ෂිත කැමරා පද්ධති ක්‍රියාත්මකව පවතින්නේ අලෙවිසල් 70ක පමණි. මේ නිසා සතොස අලෙවිසල් ජාලය සඳහා ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ අරමුණ ඉටුවී නොතිබුණි. එමෙන්ම වගකීම් කාලය අවසන් වූ පසු මෙකී කැමරා පද්ධතිය නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන නොතිබුණි. එමෙන්ම මෙකී කැමරා පද්ධතියේ දර්ශන පරික්ෂා කිරීම හා ගබඩා කිරීම සඳහා ක්‍රමවේදයක්ද නොතිබුණි. සතොස සමාගම විසින් අලෙවිසල් 317ක ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික සමාගමක් සමග 2016 වර්ෂයේ නොවැම්බර් මස 16 දින ගිවිසුමකට එළඹ තිබුණි. මෙකී පුද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව වගකීම් කාලය වසර 02කි. මේ වනවිට සතොස අලෙවිසල් 445ක මෙහෙයුම් කටයුතු පැවතියද ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිතකොට තිබුණේ අලෙවිසල් 313ක් පමණි. කළමනාකරණයේ පැවති දුර්වලතාවන් නිසා කෝටි 15ක මුදලක් අපතේ ගොස් තිබුණි.

● රේගුව සඳහා බහාළුම් ස්කෑන් යන්ත්‍ර මිලදී ගැනීමේ ගනුදෙනුව

රටේ විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට නොගෙන ශ්‍රීලංකා රේගුව සඳහා ඇමරිකානු ඩොලර් දෙකෝටි පහළොස්ලක්ෂ අනූදහස් අටක (21,590,008) අධික පිරිවැයක් දරා ඉකුත් වර්ෂයේ දි (2021) බහාළුම් ස්කෑන්යන්ත්‍ර මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක දින 180කින් මෙකී මුදල් ගෙවා බහාළුම් ස්කෑන් යන්ත්‍ර මිලදී ගැනීමට ගත් තීරණය විගණනයට ද ප්‍රශ්නගත කරුණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකී බහාළුම් පරිලෝකන පද්ධතිය මිලදීගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ශ්‍රීලංකා රේගුව හා රුපිස්කැන් සිස්ටම් පුද්ගලික සමාගම 2016 වර්ෂයේ දි ත්‍රෛපාර්ශ්විය ගිවිසුමකට එළඹ තිබුණි. එම ගිවිසුම අනුව දිනකට බහාළුම් 1100 ස්කෑන් කළ යුතුය. එහෙත් 2021 වර්ෂයේ ජනවාරි මස සිට 2021 සැප්තැම්බර් මස දක්වා දෛනිකව ස්කෑන් කළ සාමාන්‍ය බහාළුම් සංඛ්‍යාව 238කි. ඒ අනුව මෙකී කාලය තුළ බහාළුම් 882ක් සඳහා ඇමරිකානු ඩොලර් 2,353,260ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවත් එය නිශ්කාර්ය වියදමක් බවද විගණණය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම මෙම බහාළුම් ස්කෑන් යන්ත්‍ර අදාළ පුද්ගලික සමාගම තුළින් පමණක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදි තිබුණි. මේ නිසා නව ප්‍රසම්පාදනයක් මගින් විවෘත වෙළඳපොළේ තරගකාරිත්වයට ඉඩ ලබාදෙමින් තාක්ෂණික ඇගයීමක් සිදුකර අවම පිරිවැයක් යටතේ ස්කෑන්යන්ත්‍ර මිලදී ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගොස් ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම මෙකී මිලදීගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුම අත්සන් කිරීමට පෙර යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සඳහා රේගු නිලධාරින් 05 දෙනකු එක්සත් රාජධානියේ කර්මාන්ත ශාලාවක් වෙත නිරීක්ෂණය සඳහා ගොස් ඇත. එකී නිරීක්ෂණ චාරිකාව සඳහා රේගු නිලධාරීන්ට අනුග්‍රහය ලබාදී ඇත්තේ අදාළ පුද්ගලික සමාගම විසිනි. මේ තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධිත නිලධාරීන්ට අනිසි බලපෑමක් සිදුවීමට ඉඩකඩ ඇතැයි යන සැකය බැහැර කළ නොහැකි බව විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම මෙකී පරිලෝකන පද්ධතිය මිලදී ගැනීමේ දි ලංසු අභියාචනා කමිටුවෙන් නැවත ලංසුකරුවන් ඇගයීමට ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි. එසේ නොකොට අධික පිරිවැයක් දරා පරිලෝකන පද්ධතිය Build Own & Operate ක්‍රමය මත ලබාගැනීමට තීරණය කිරීම ශ්‍රීලංකා රේගුවේ අවශ්‍යතාව මත සිදුවූයේ ද යන්න විගණනයේ දී මතභේදයට තුඩුදෙන කරුණක් බව විගණන වාර්තාවේ සඳහන් කොට ඇත.

● ගෑස් ගෙන්වීමේදී වූ මගඩිය

කෙසේවුවද මෙකී ගෑස් අර්බුදය අස්සේ සියාම් ගෑස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 96ක අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇමරිකානු ඩොලර් 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය. ලිට්‍රෝ සමාගම විසින් ඕමාන් සමාගමකින් වැඩිමිලට මේ අයුරින් ගෑස් මිලදී ගැනීම නිසා රුපියල් බිලයන 1.2ක මුදලක් අවභාවිත වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. ලෝක බැංකුව මගින් ගෑස් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 70ක් ලබා දී තිබුණි. එහෙත් ලිට්‍රෝ සමාගම විසින් එම මුදල් යොදවා වැඩිම මිලකට ගෑස් මිලදී ගැනීමට කටයුතු කරනු ලැබීය. ගෑස් මිලදී ගැනීම සඳහා තිබූ වාර ටෙන්ඩරය පසුගිය පෙබරවාරි මාසය වන විට අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවනු ලැබීය. ඒ අනුව ගෑස් සැපයුම්කරුවන් තිදෙනකු ලංසු ඉදිරිපත් කර ඇති බව කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණය විය. මෙහිදී සියාම් ගෑස් සමාගම විසින් ඇමරිකානු ඩොලර් 96ක අවම මිලක් ඉදිරිපත් කොට තිබුණි. තවත් සමාගමක් විසින් ඇමරිකානු ඩොලර් 102ක මිලක් ඉදිරිපත්කොට තිබූ අතර ඕමාන් සමාගම විසින් ඇමරිකානු ඩොලර් 129ක වැඩිම මිලක් ඉදිරිපත් කොට තිබුණි. මෙහිදී සියාම් ගෑස් සමාගම විසින් ඇ.ඩො. 96 බැගින් අවම මිලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබුණි. කෙසේවුවද කැබිනට් අනුමැතිය ලැබී තිබූ එම ටෙන්ඩරය අහෝසි කොට වැඩිම මිලකට ගෑස් සැපයීමට ලංසු ඉදිරිපත් කළ ඕමාන් සමාගමකට ටෙන්ඩරය ලබාදීම ගැටලු සහගතය.

● කිරි ගවයින් ගෙන්වීමේ දි මිලියන 1749ක් අවභාවිතා වෙලා

කිරි ගවයින් 15000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 1,749,67ක මුදලක් 2018 වර්ෂයේ මැයි 08 වැනිදින කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණද එම ව්‍යාපෘතිය යටතේ කිසිදු කිරිගවයෙකු 2018 වර්ෂයේ සිට 2020 වර්ෂයේ අගෝස්තු මස 31 වනදින වන විටත් ආනයනය කර නොතිබුණි. කොන්ත්‍රාත්කරුට අත්තිකාරම් ගෙවීම් විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ගෙවා තිබූ බැවින් ඒ සඳහා වන පොලිය හා විදේශ විනිමය අවප්‍රමාණය වීමේ අලාභයද ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ව්‍යාපෘතියේ අසාර්ථකභාවය පැහැදිලිව තිබියදී අත්තිකාරම් ගෙවීම නිසා රජයේ මුදල් වෙනත් පාර්ශ්වයක් විසින් අවභාවිත වීමක් සිදුවී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුව ද විගණනය විසින් ගොවිපොළ මගින් ලබාගත් වාර්තා අනුව මීට පෙර ගෙනා සතුන් අසාර්ථක බව පෙන්වා දී තිබුණි. ඒ පිළිබඳ අවධානය යොමු නොකොට 2018 වර්ෂය තුළ ඒ සඳහා පාර්ලිමේන්තු ප්‍රතිපදන නොතිබියදී ඉතිරි සතුන් 15000 ක් ආනයනය කිරීම සඳහා වූ මුදලින් සියයට 20ක අත්තිකාරම් මුදලක් වූ 1,749,67 ක් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි.

මෙම සතුන් ආනයනය කිරීම සඳහා එළඹ තිබූ ගිවිසුම අවලංගු කිරීම සඳහා නීතිපතිගෙන් උපදෙස් විමසා තිබූ අතර අත්තිකාරම් ගෙවා තිබීම හේතුවෙන් එම ගිවිසුම අවලංගු කළ නොහැකි බව 2019 මැයි මස 03 වැනිදින නීතිපතිවරයා විසින් දන්වා තිබූ බවද විගණන වාර්තවේ සඳහන් වේ. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් කිරි ගවයින් 20000ක් ආයනය කිරීමට ශංශෝධිත ගිවිසුම අනුව අදියර දෙකකින් කටයුතු කර තිබුණි.

● සහනාධාර පොහොර වැඩසටහනනේ දි රුපියල් මිලියන 1072 වංචාවක්

පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව ද ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විගණනයක් සිදුකොට තිබුණි. මෙහිදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලැබූ අක්‍රමිකතාවන් රැසක් අනාවරණය විය. නිවැරදි රසායනාගාර පරීක්ෂණ වාර්තා අස්ථානගත කරමින් ව්‍යාජ රාසායනාගාර වාර්තා ඇතුළත් කරමින් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් වෙනුවෙන් අනුමැතිය ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබුණි. මේ අයුරින් අවස්ථා 34 කදි පොහොර වර්ග 07ක් සඳහා රුපියල් මිලියන 1072.7ක සහනාධාර මුදලක් වංචනිකව පොහොර ආනයනික සමාගම් වෙත ගෙවීමට කටයුතු කර තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඒ විතරක් නොව චීන අශූචි පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382කි.

● මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුවු මූල්‍ය අක්‍රමිකතා

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරනු ලැබූ හෝ මෙරටදී නීති විරෝධී ලෙස එක්ලස් කරනු ලැබූ වාහන 33ක දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කරමින් එම වාහන නීත්‍යනුකූල වාහන ලෙස මෙරට භාවිතයට මුදා හැරීම නිසා රජයට බදු මුදල් වශයෙන් රුපියල් පනස්පන්කෝටි අසූහය ලක්ෂ හතළිස්දහස් හයසිය විසිහතක මුදලක් (558,640,607) අහිමි වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment