කෝටි 13 ක් වටිනා කුඩු සමග ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

172

කැස්බෑවෙන් නිවසක් කුලියට ගෙන වැඩේ ජයටම කරලා

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්තොට නගරයේදී සිදුකළ වැටලීමකදී එක් සැකකරුවකු සමග රුපියල් කෝටි 13ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 210ක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 06 දින අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට නගරයේ හෙරොයින් ජාවාරමක නිරත වන පුද්ගලයකු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 06 දින සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමග අම්බලන්තොට සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ සිය මාමා කෙනෙකු නිවසක් කුළියට ගෙන හෙරොයින් ජාවාරමක් සිදුකරන බවය. තමන්ද එහි සිට මාස කිහිපයක සිට හෙරොයින් පැකට් කිරීම සිදුකරන බවත් පවසා තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුගෙන ලද තොරතුරුවලට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් සැකකරුගේ මගපෙන්වීම යටතේ කැස්බෑවේ පිහිටි කුලී නිවස වැටලීමට කටයුතු කර තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් තිබේ. පළාගිය සැකකරුවන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරම්කරු හා ඔහුගේ සහායට එහි නැවතී සිටි බව කියන පනාමුර පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

කෝටි 13 ක් වටිනා කුඩු සමග ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

එහිදී කැස්බෑවේ පිහිටි එම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 170ක ප්‍රමාණයක්,මිලි මිටර් 09 වර්ගයේ ජීව උණ්ඩු 19ක්, හෙරොයින් මත් කුඩු පැකට් කිරීමට රැගෙනවිත් තිබී අඟල අඟල ප්‍රමාණයේ කොළ කිලෝ 15ක්, කුඩා ප්‍රමාණයේ පොලිතින් කවර 100ක්, ව්‍යාජ අංක තහඩු දෙකක්, ජාවාරම්කරුවන්ගේ තොරතුරු ඇතුළත් පොත් දෙකක්, ප්‍රධාන ජාවාරම්කරුගේ විදෙස් ගමන් බලපත්‍රය, පොලිතින් සීලරයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා අම්බලන්තොට පොලිසියට බාර දී ඇත.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් (40453) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන (71452) ඉන්දික, (72939) සංජය, (84229) සමන් හා (80445) ප්‍රියංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.

මත්තල – දීලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment