කෝටි 1500ක හොර සිගරට් විනාශ කෙරේ

324

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 1500කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී දුම්වැටි මිලියන 204කට ආසන්න ප්‍රමාණයක් මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේ දී ඊයේ (15 වැනිදා) විනාශ කරනු ලැබීය.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතා සහ ලංකා දුම්කොළ සමාගමේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කිරීම ආරම්භ කෙරිණි.

2021 වසරේදී සමාගම් තුනක් විසින් මෙරටට ගෙන්වා තිබූ මෙම දුම්වැටි සහිත බහාලුම් 21ක් රේගු අනුගතවීමේ හා පහසුකම් සැලසීමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට කටයුතු කර තිබිණි.

මෙලෙස විනාශ කෙරුණේ ලොව විශාලතම නීති විරෝධී දුම්වැටි තොගය බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.

මෙම දුම්වැටි තොගය රේගුව විසින් අත්අඩංගුවට නොගත්තේ නම් රජයට අහිමිවීමට තිබූ බදු මුදල රුපියල් කෝටි 1300කට ආසන්න යැයි රේගුව සඳහන් කරයි.

මෙම නීති විරෝධී ජාවාරමට සම්බන්ධ වූ පුද්ගලයන්, ආයතන, වාප්පු ලිපිකරුවන්, නැව් නියෝජිත ආයතන හා ආනයනකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් රේගු පරීක්‍ෂණවලදී අනාවරණය කර එම සියලු පාර්ශ්වයන් වෙත රේගු ආඥා පනත අනුව රුපියල් ලක්‍ෂ 25කට අධික දඩ මුදල් ද පැනවූ බව රේගුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මට්ටමින් සිදුකෙරුණු මෙම දුම්වැටි ජාවාරම අසුරාලමින් සිදු කෙරුණු මෙම රේගු විමර්ශනය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි රේගු අනුගතවීමේ හා පහසුකම් සැලසීමේ අංශයේ රේගු අධ්‍යක්‍ෂවරයාගේ මඟපෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සංජය රවීන්ද්‍ර, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ලාල් වීරකෝන්, යූ. ඩී. එම්. ඕ. දීපානි, මංජුල ප්‍රසාද්, නියෝජ්‍ය රේගු අධිකාරි අමිල් සංජීව, ප්‍රවීන් ඉන්ද්‍රනාම, සම්මාන සමරසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන අවිඳු රාජපක්‍ෂ, සඳලි මද්දුමගේ, භාතිය කුමාරසිරි යන නිලධාරීන් විසින් සිදුකරන ලදී.

ඡායාරූප

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් යන මහත්වරු හා ලංකා දුම්කොළ සමාගමේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ දුම්වැටි තොගය විනාශ කිරීමට පෙර පරීක්‍ෂා කළ අයුරු.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment