කෝටි 19ක ස්වර්ණාභරණ  විදේශ මුදල් රන් බිස්කට්  ගුවන්තොටෙන් අල්ලයි

133

රුපියල් කෝටි 19ක් වටිනා ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීති විරෝධී ලෙස පිටකිරීමට තැත්කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට 07/03 දින රාත්‍රී ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.

කෝටි 19ක ස්වර්ණාභරණ  විදේශ මුදල් රන් බිස්කට්  ගුවන්තොටෙන් අල්ලයි

කිලෝ ග්රෑම් අටහමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස්කළ රන් බිස්කට් මෙන්ම ඇමරිකානු ඩොලර් 75,000ක් සහ යුරෝ 18,000ක විදේශ මුදල්

තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇඳ සිටි කලිසම් සහ කමිස සාක්කුවල විශේෂයෙන් සකස්කළ ව්‍යාජ පතුල් තුළ සඟවාගෙන සිටි බව ගුවන්තොටුපළ රේගු නිලධාරිවරයෙකු පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් 53 සහ 42 වයස් වල පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනා වෘත්තීය වශයෙන් මෙසේ දෙරටේ ගුවන්තොටුපළ ඔස්සේ රත්තරන් සහ විදේශ මුදල් ජාවාරමේ යෙදෙන්නන් බවට ගුවන්තොටුපළ රේගු නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තිබේ.

එසේම මෙසේ අත් අඩංගුවට ගත් 46 හැවිරිදි ශ්‍රී ලාංකිකයා නිතර නිතර ගුවන්ගමන් වල යෙදෙමින්,ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නෙකු බව ද ගුවන්තොටුපළ රේගුව පවසයි.

ඉන්දියාව සහ ඩුබායි යන රාජ්‍ය වලින් විශාල තොග වශයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එන ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් ගුවන්තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයෙහි රැඳී සිටින ව්‍යාපාරිකයන් සහ ජාවාරම්කරුවන් වෙත කුඩා ප්‍රමාණ වලින් යුතු කොටස් වලට වෙන්කර ලබාදී ඒවා ගුවන් තොටුපළෙන් පිටකිරීම මොවුන්ගේ ප්‍රයත්නය වී ඇති බව ගුවන්තොටුපළ රේගු නිලධාරීන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව 07/03 දින රාත්‍රී ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් සහ 07/04 දින අලුයම 01.40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.273 දරණ ගුවන් යානයෙන් මෙම ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් තොගය කටුනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව රේගු නිලධාරීන් සිදුකළ මූලික විමර්ශන වල දී සොයාගෙන තිබේ.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ. ටී. බී. අලවතුගොඩ මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර, මෙම පුද්ගලයන් තිදෙනාට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

කටුනායක – ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment