කෝටි 217 ක තෙල් මිලේ වාසිය ගිය අරමුදලත් ඈවරයි… කෝටි 48 ක් විදුලිබල මණ්ඩලයටත් දීලා

481

ලෝක වෙළෙඳපොළේ පසුගිය වසරේ (2020) විශාල වශයෙන් බොරතෙල් මිල පහත වැටුණු අවස්ථාවේදී පැවැති මිල ගණන්වලටම ඉන්ධන විකිණීමෙන් මෙරට ඉන්ධන ස්ථායීකරණ අරමුදලට රුපියල් දෙසීය දාහත් කෝටි පනස් නව ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමට තෙල් සංස්ථාවට හැකි වී  තිබෙන බව විගණන වාර්තාවකින් හෙළිවී තිබේ.

කෙසේ වෙතත් අදාළ අරමුදල පිහිටුවීමට හෝ එවැන්නක් පවත්වා ගෙන යෑමට කිසිදු කැබිනට් හෝ පාර්ලිමේන්තු අනුමැතියක් හිමි වී නැති බව ද ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවක දැක්වේ.

අදාළ අරමුදලින් රුපියල් කෝටි 48ක මුදලක් විදුලිබල මණ්ඩලය වෙත ලබාදී ඇති අතර ඊට ද පාර්ලිමේන්තු අනුමැතියක් ලබා ගෙන නොමැත.

ඒ ආකාරයට ව්‍යස්තාපිත නොවන ලෙස අරමුදලක් පවත්වාගෙන යෑම කළ නොහැක්කක් බැවින් මෙම අරමුදල ඈවර කිරීමට කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන එන බව තෙල් සංස්ථාව විසින් ජාතික විගණන කාර්යාලය වෙත හේතු දක්වා තිබේ.

එලෙස ඈවර කිරීම කොට පසුව 2022 වසරේ අයවැය මගින් නැවත එම අරමුදල පිහිටුවීම මෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය ලබාදීම සිදුකරන බව ද තෙල් සංස්ථාව දන්වා ඇත.

ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි


advertistmentadvertistment