කෝටි 40 ක් කජු ඇටද… කොස් ඇටද…?

893

මෙවර නිදහස් දින සැමරුම පවත්වන ලද්දේ දරුණු ආර්ථික අර්බුදයක් රට තුළ පවතින වාතාවරණයක් තුළය. කොටින්ම විදෙස් ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත්භාවයට පත්ව ඇති මොහොතකය. එසේම, උද්ධමනය ඉහළටම ගොස් අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ මිල පෙර තිබූ තත්ත්වයට වඩා අවම වශයෙන් හතර ගුණයකට වඩා වැඩිවී ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාලව පවතින මොහොතකය. රට ආර්ථික වශයෙන් කඩා වැටුණත්, 75 වැනි නිදහස් දිනය පෙබරවාරි 04 වැනිදාට එන එක අතින් අල්ලාවත් නවත්වන්නට නොහැකි බව ඇත්තකි. නමුත් කෝටි ගණන් වැය කර නිදහස් සමරුවක් පවත්වා අමාරුවෙන් ඉතිරි කරගෙන ඇති මුදල් ටිකත් නිකං නැති නාස්ති කිරීම පිළිබඳව දැඩි ජනතා අප්‍රසාදයක් නම් රට තුළ පැන නැගී ඇත. අඩුම තරමින් සාමාන්‍ය සැමරුමක් ලෙස මෙය පවත්වා පාලකයින් විසින් රටට ආදර්ශයක් සැපයිය යුතුව තිබිණි. නමුත්, සැබෑව නම් මේ සඳහා රුපියල් කෝටි 40 ක් වියදම් කළ බවට දැන් ගණන් බලා තිබීමය.

නිදහස් සැමරුමට කෝටි ගණනක් වියදම් වන බවට කල් තියාම කනින් කොණින් ආරංචි වීම නිසා මේ පිළිබඳව බොහෝ දෙනා ආණ්ඩුවට අප්‍රසාදය පළ කළහ. නමුත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැත. පෙර කී පරිදි චාම්ව නිදහස් සමරුව පවත්වනවා වෙනුවට ජනාධිපතිවරයා මාස ගණනක් තිස්සේ පටන් පැවසූ පරිදි අභිමානවත්ව නිදහස් උළෙල පැවැත්වීය. ඒ නිසා මෙසේ රුපියල් කෝටි 40 ක් වියදම් වී ඇත්තේ රටේ ජනතාව අසීමිතව පීඩාවට පත්ව ඇති මොහොතකය. මෙම වියදම 2022 වසරේදී නිදහස් උළෙලට වැයවූ මුදල මෙන් සිව් ගුණයකි. ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පුවත්පත තම ප්‍රධාන සිරස්තලයෙන් හෙළි කළ පරිදි උත්සවයේ වැසිකිළි වියදම පමණක් ලක්ෂ 142 කි.

නිදහස් උළෙලට සමගාමීව පැට්‍රල් ලීටරයක් රුපියල් 400 දක්වා රුපියල් 30 කින් වැඩිකරන ලද අතර, කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 334 කින්, එනම් රුපියල් 4800 කට ආසන්න මිලක් දක්වා වැඩි කරන ලදි. එසේම ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක්ද රුපියල් 200 කින් ඉහළ දමා ඇත. මෙසේ ජීවන බර තව තවත් වැඩි කරන්නට නම් නිදහස් උළෙලක් සඳහා කෝටි ගණන් වැයකරන්නේ ඇයි දැයි පාලකයින් තේරුම් ගත යුතුව ඇත. ‘සිස්ටම් චේන්ජ්’ යැයි මතුර මතුරා මේ කරන කටයුතුවලින් රටට කිසිදු සෙතක් නැත. ජනතා අප්‍රසාදයද තව තවත් ඉහළ යනවා මිස ජනතාවට ලැබෙන සහනයට වඩා අසහනය වර්ධනය වන බව පාලකයින් තේරුම් ගත යුතුය.

මේ අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කටයුතු කිරීම නිසා රට තුළ අරාජිකත්වයක් නිර්මාණය වන ලක්ෂණ පහළ වෙමින් තිබේ. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාටවත් කළ නොහැකි වූවකි. ඒ මගින් පෙඩරල් රාජ්‍යයක් බිහිවී වෙනම රාජ්‍යයකට යෑමේ පාර කැපෙන බවට දේශපාලන විචාරකයෝ පවසති. එසේම, මහා සංඝරත්නයද මේ නිසා 13 සම්පූර්ණයෙන් සංශෝධනයට තම දැඩි නොකැමැත්ත පළ කර ඇත. එනමුත්, රට නොබෙදා බලය උපරිමයෙන් විමධ්‍යගත කරන බවට ජනාධිපතිවරයා පවසයි. මැතිවරණ මානසිකත්වයක් රට තුළ පවතින මෙවන් මොහොතක 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් මෙසේ පටලවා ගැනීම කෙතරම් යහපත් දෙයක්ද යන්න හා එහි වාසිය කාටද යන්න සැබෑම ප්‍රශ්නයකි. මීට පිළිතුරු ලබා දෙන ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා කියා ඇත්තේ මෙය මැතිවරණයට ජාතිවාදය පටලවා ගැනීමක් බවය. කෙසේ හෝ 13 සංශෝධනය යනු ප්‍රශ්න විසඳීමකට වඩා තවත් ප්‍රශ්න වැලක ආරම්භයක් බවට බොහෝ විචාරකයින් අනතුරු හඟවති. එනම්, 13 ක් ගැන කතා කරන්නේ 13 ක් ගැන කතා කරන්නට අවශ්‍ය මොහොතක නොවන බවයි. ඇත්තටම අද රටට අවශ්‍යව ඇත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය හෝ විදේශ විනිම ආර්ථිකය ගොඩ දමා රට වැටී ඇති ආපදාවෙන් රටත් ගොඩගැනීමය. එසේ නැතිව නැති ප්‍රශ්න නිර්මාණය කිරීම තුළින් රට අරාජිකත්වයට පත්වීම වැළැක්විය හැක්කක් නොවේ. මේ මොහොතේ වැදගත් වන්නේ එකාවන්ව සිතා සියල්ලන් විසින්ම රට වැටී ඇති තැනින් ඔසවා තැබීමය. නමුත් එවන් ධනාත්මක දෑ සිදුවනු දක්නට නොලැබීම අවාසනාවකි.

තුර්කිය හා සිරියාව කම්පා කළ ඛේදවාචකය

පෙබරවාරි 06 දින අලුයම තුර්කිය හා සිරියාව අයත් භූමි ප්‍රදේශයේ සිදු වූ බලවත් භූකම්පන කිහිපයකින් දෙරටේ ජනයා 20,000 කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කර ඇත. නමුත් දැනට නිකුත්වී ඇති නිල සංඛ්‍යාලේඛන අනුව දක්වා ඇති මරණ සංඛ්‍යාව 5,000 ක් තරම් වේ. එක පිට එක සිදු වූ බලවත් භූකම්පන නිසා බොහෝ ගොඩනැගිලි සමතලා වී ගියේ නිදා සිටි මිනිසුන් සමූහයා ලෙස මිහිදන් කරමිනි. මේ අනුව මෙම භූකම්පනය ශතවර්ෂයේ සිදු වූ දැවැන්තම ඛේදවාචකයන්ගෙන් එකක් ලෙස සැලකේ. ලෝකයේ කොතැන සිදුවූවත් මෙවන් ව්‍යසනයන්ට මුහුණ දෙන්නේ අපේම සහෝදර මිනිසුන්ය. මෙවන් මොහොතක ඒ විපතට පත් මිනිසුන්ට අපේ දෑත් දිගුවිය යුතු අතර ඒ විපතට පත් මිනිසුන් සමග අපි ද ශෝක විය යුතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment