රේගුවෙන් පිටවුණා නම් බදු පාඩුව කෝටි 37ක්
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435කට අධික (කෝටි හතළිස් තුනකට අධික) වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (04වැනිදා) පස්වරුවේ ඔරුගොඩවත්ත බහලුම් පරීක්‍ෂණ අංශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජබිල් අලි වරායේ සිට මෙරටට ගෙන්වා තිබූ අඩි 20 බහලුමක් තුළ මෙම දුම්වැටි තොගය තිබී ඇත. එහිදී විදේශයක නිෂ්පාදිත දුම්වැටි මිලියන 2.5ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කාර්යාලීය පුටු ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම තුළ මෙලෙස නීති විරෝධීව දුම්වැටි ගෙන්වා ඇති බවත් මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිටවූයේ නම් රුපියල් මිලියන 378කට අධික තීරු බදු මුදලක් රේගුවට අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම දුම්වැටි ගෙන්වීම සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් වාප්පු ලිපිකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ තිලක් සුරවීර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ තිස්ස දහනායක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන උපුල් ගෝනවල, සඳගෝපන් රේගු අධිකාරි අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, අනුෂ්කා කුරේ, රඛිත ආරියසේන යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රභාත් විතාන