කෝටි 5ක රන් බිස්කට් ගුවන්තොටෙන් පන්නන්න හැදූ ආරක්ෂකයා අල්ලයි

449

මීට පෙරත් හොර වැඩ කළ අයෙක්

බඩු ලැබුණේ වැසිකිළියේදී : ඩීල් එක 60,000ක්

රුපියල් හාරකෝටි අසූලක්ෂයකට (රුපියල් මිලියන 48) අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 2කට අධික රත්‍රං බිස්කට් 18ක් නීති විරෝධී අයුරින් රට තුළට රැගෙන ඒමට උත්සාහ ගත් කටුනායක ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය ඊයේ (21 වැනිදා) උදේ සමත්විය.

මෙම සැකකාර ආරක්ෂක නිලධාරියා මීට පෙර අවස්ථා දෙකකදී මෙවැනි වරදවල් දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු බව හෙළි වී ඇතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නුවන් අබේනායක මහතා “දිවයින” ට පැවැසීය.

40 හැවිරිදි වියේ පසුවන සැකකාර නිලධාරියා මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහු ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියකු ලෙස වසර 15ක කාලයක් නිරතව සිටි අයකු බවත් හෙළි වී ඇතැයි හෙතෙම කීය.

මොහු තම රාත්‍රී සේවා මුරය නිමකර ගුවන් මඟින් පැමිණි කිසියම් මගියකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළදී ලබා දී ඇති රන් බිස්කට් තොගය එය කලිසම් සාක්කුව තුළ දමාගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් රැගෙන යෑමට උත්සාහ දැරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඔහු පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී අදාළ රන් බිස්කට් තොගය සමග සැකකරු නිලධාරින් විසින් කොටුකරගෙන තිබේ.

මෙම රන් බිස්කට් තොගය ගුවන්තොටුපොළෙන් පිට කරදීමට රුපියල් හැටදහසක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත අදාළ සැකකාර ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇතැයි රේගුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෝටි 5ක රන් බිස්කට් ගුවන්තොටෙන් පන්නන්න හැදූ ආරක්ෂකයා අල්ලයි

කැරට් 24 මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.6ක බරකින් යුක්ත වන අතර, අදාළ රන් බිස්කට් තොගය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 86 බැගින් යුක්ත බවද අබේනායක මහතා කීය.

අදාළ අවස්ථාව අධීක්ෂණය කිරීම සඳහා රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.

අත්අඩංගුවට ගෙන සිටින ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියා රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද අබේනායක මහතා කීය.

එහිදී ඔහුට දඩ පැවරීමක් කරන බවත්, අදාළ දඩ මුදල ගෙවීමට ඔහු අපොහොසත් වුවහොත් ඔහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

කටුනායක – ටී. කේ. ජී. කපිල, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment