කෝටි 5ක BMW එක හා ජීප් රිය බහිරවයෝ ගෙනත්ද? – කවුදෝ ගෙනත් දමලා

3277

රෝහිතගේ බෑනා පොලිසියට කියයි
ලියාපදිංචි කරලත් නෑ: – අයිතිකාරයෙකුත් නෑ

හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථය සහ ජීප් රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තම නිවසට ගෙනැවිත් දමා ගොස් තිබූ බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මීට සතියකට පමණ පෙර මෙම වාහන මෙසේ දමාගොස් තිබූ බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

නීති විරෝධීව මෙරටට ආනයනය කර ලියාපදිංචි නොකළ රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ සඟවා තිබියදී මහනුවර පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) සොයාගෙන තිබිණි.

මෙම වාහන දෙක සම්බන්ධයෙන් මහනුවර පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ඇමැතිවරයාගේ බෑනා මෙම ප්‍රකාශ කර ඇත.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද විමර්ශනයකදී මහනුවර අනිවත්ත ප්‍රදේශයේ වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු බව කියන හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ තිබී මෙම වාහන සොයාගෙන තිබිණි. පොලිසිය පවසන්නේ මෙම මෝටර් රථ දෙක එකලස් කරන ලද ඒවා නොවන බවයි. එහෙත් මෙම වාහන රේගුවද නොමඟ යවමින් කිසිදු රේගු ගාස්තුවක් නොගෙවා ගෙනවිත් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

එමෙන්ම මෙම වාහන ලියාපදිංචි කර නොමැති අතර ඊට අයිතිකරුවකුද නොමැති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් වාහන දෙක මහනුවර පොලිසිය භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, සිරිල් විමලසුරේන්ද්‍ර


advertistmentadvertistment