රුපියල් කෝටි පහකට අලෙවි කිරීමට සූදානම් කළ ගජමුතු තුනක් හා අලෙවි කිරීමට කටයුතු කළ බව කියන තරුණයන් සිව් දෙනකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුවන් හමුදා උපාය දූතයන් යොදා ගනිමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් ඒකාබද්ධව වැටලීමක් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
පුත්තලම පොලිස් වසමට අයත් බෝධිරාජපුර, අට්ටවිල්ලුව සහ වනාතවිල්ලුව යන ප්‍රදේශවල අවුරුදු 24, 33, 40, 45 යන වයස් සීමාවල පසුවන සැකකරුවන් සිව් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් කෝටි පහක මුදලක් මෙම ගජමුතු සඳහා අවශ්‍ය බවත් අත්තිකාරම් මුදලක් ලබා දෙනවා නම් ගනදෙනුව සිදුකිරීමට රුපියල් කෝටි එකහමාරක් අවශ්‍ය බව සැකකරුවන් පැවැසීමෙන් පසුව නිලධාරීන් වෙස්වලාගෙන මෝටර් රථයකින් ගොස් එම ගනුදෙනු සිදුකිරීමට කැමැත්ත පලකර බෝධිරාජපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ගජමුතු විකිණීම සම්බන්ධව මුහුණු පොතේ තබා ඇති සටහනක් පිළිබඳ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් දීර්ඝ විමර්ශනයක් සිදුකර කිසිදු අන්දමකින් සැක නොසිතන අයුරින් සැකකරුවන් හඳුනාගෙන මෙම වැටලීම සිදුකිරීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අට්ටවිල්ලුව බෝධිරාජපුර පදිංචි අයෙකි. ඔහු විදෙස් රටවලින් රූපලාවණ්‍ය උපකරණ ආනයනය කරන අයකු බව හඳුනාගෙන ඇත. ප්‍රධාන සැකකරුට මෙම ගජ මුතු වනාතවිල්ලුවේ පදිංචි ඥාති අයකු විසින් කෝටි පහකට අලෙවි කර තමාට කෝටි දෙකක් ලබා දෙන ලෙසත් ඉතිරි මුදල වන කෝටි තුන ඔවුනට ලබා ගන්නා ලෙසත් දන්වා මෙම ගජමුතු ලබා දුන් බව ප්‍රධාන සැකකරු නිලධාරීන් හමුවේ පවසා තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් හා ගජ මුතු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කලාප අණ දෙන නිලධාරී පොලිස් අධිකාරී නිශේෂ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය අණදෙන නිලධාරී කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි අබේරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පුත්තලම කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මැදිහත්වීමෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු විය. කරුවලගස්වැව අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතාගේ මෙහෙයවීම මත අඩවි සහකාර වික්‍රමසිංහ යන නිලධාරීන් පිරිසද මෙම වැටලීමට එක්ව සිටියහ.
අමරනන්ද විජේසේකර- මහවැව, පුත්තලම – නලින් හෙන්දුරුගොඩ