කෝටි 5 ක බඩඉරිඟු මුදල් වංචාවට ඇලෝසියස්ට ලක්‍ෂ 10ක ශරීර ඇප 4ක්

1121

පෙබරවාරි 10 උසාවි ගේන්නත් නියෝග

පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 5යි ලක්ෂ 29ක් වටිනා බඩඉරිඟු ලබා ගෙන එම බඩඉරිඟු සඳහා ගෙවිය යුතු එම මුදල ලබා නොදී වංචා කර, විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (6දා) පස්වරුවේ නියෝග කළේය.

ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර අර්ජුන ඇලෝසියස්ට විදේශගත වීම වළකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළේය.

රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින සැකකාර අර්ජුන ඇලෝසියස් යළි 2025 වසරේ පෙබරවාරි මස 10 දින අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නොච්චියාගම පී. ඩී. ජී. ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාද් දිලංක යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවීමෙන් අනතුරුව බන්ධනාගාරය මගින් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රාසික් ශරූක් මහතා පැවසුවේ තම සේවාදායකයා රුපියල් පන් කෝටි පනස් නව ලක්ෂයක් වංචා කළ බවට පැමිණිල්ල විසින් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් (82172) ගැමුණු මහතා පෙනී සිටියේය. සැකකාර මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන රංජිත් රාජකරුණා, කාලිංග රවීන්ද්‍ර සහ රංජිත් අමරසිංහ යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ රාසික් ශරූක් මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය.
මිහින්තලේ – රංග චතූ


advertistmentadvertistment