කෝටි 75 ක් කණ්ඩායම් 5 ක් වියදම් කරන එල්. පී. එල්. ක්‍රීඩක වෙන්දේසිය අද

183

රඳවා ගත් ක්‍රීඩකයන් ප්‍රකාශ කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ (2024) ක්‍රීඩක වෙන්දේසිය අද (21දා) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක් පමණ) මුදලක් එක් කණ්ඩායමක් සඳහා වියදම් කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව රුපියල් කෝටි 75 ක් සියලු කණ්ඩායම් වෙත වියදම් කිරීමට අවස්ථාව හිමි වේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 420ක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

එහිදී දේශීය ක්‍රීඩකයින් 154ක් ද විදෙස් ක්‍රීඩකයින් 266 දෙනෙකු ද ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 600කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබූ නමුත් ඉන් තෝරාගනු ලැබූයේ ක්‍රීඩකයින් 266 දෙනෙකු බව එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා පැවැසීය.

ඒ අනුව මෙවර එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය අද දහවල් 12.00 සිට ප්‍රකට වෙන්දේසිකරුවකු වන චාරු ශර්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. මෙහිදී වට 18ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය වසරේදී තම කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු සමඟ වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වීමටත් කණ්ඩායම් හිමිකාරීත්වයට අවසර ලබා දී තිබේ.

එක් එක් කණ්ඩායම් මේ වනවිට කොන්ත්‍රාත් අත්සන් කර ඇති සහ රඳවා ගන්නා ක්‍රීඩකයින්

කොළඹ

චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ශඩාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස්

දඹුල්ල

ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුස්ටෆිසූර් රහමන්, ඉබ්‍රාහිම් සද්‍රාන්

ගාල්ල

භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, ටීම් සයිෆර්ට්, ඇලෙක්ස් හෙල්ස්

යාපනය

කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, අමතුල්ලා ඔමර්සායි, නූර් අහමඩ්

නුවර

වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ද්‍ර ෆ්ලෙචර්, කයිල් මේයර්ස්

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment