කෝප් කමිටුව (රාජ්‍ය ජල්තර හොයන MRI ස්කෑනරය)

837

මේ රටේ පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද වඩාත්ම හොඳ විමර්ශනාත්මක කමිටුව විය හැක්කේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් COPE කමිටුව ය. මෙය ආණ්ඩුවල ලෙඩ හොයන MRI ස්කෑන් යන්ත‍්‍රයක් හා සමාන ය. X-RAY ඡායාරූපයක් මගින් කරනු ලබන්නේ ශරීර අභ්‍යන්තරයේ ඡායාරූපයක් ලබා දීමයි. මේ ඡායාරූපය බලා, ශරීරය තුළ පවත්නා කිසියම් රෝග තත්ත්වයක දල හඳුනාගැනීමක් කිරීමට වෛද්‍යවරයකුට පුළුවන. X-RAY යන්ත‍්‍රයකට එහා යමින් ශරීරයේ පටකවල ඡායාරූප ගෙන ඒවා ත‍්‍රිමානව සකසා ලෙඩ රෝග ගැන වැඩි හඳුනා ගැනීමක් කිරීමට ක්‍ඔ ස්කෑන් යන්ත‍්‍රවලට හැකිය. MRI යනු ශරීරයේ කොටස් සූක්‍ෂම ලෙස ඡායාරූපගත කර ක්‍ෂුද්‍ර කොටස්වලට බෙදා වෙන්කර පෙන්වන යන්ත‍්‍රයකි. ඕනෑම රෝගයක අභ්‍යන්තර තත්ත්වය 100% ක් විග‍්‍රහ කිරීමට MRI ස්කෑන් යන්ත‍්‍ර සමත් වේ.

1979 ජුලි 21 වැනිදා පිහිටුවන ලද කෝප් කමිටුවද එවැනි සුප‍්‍රකට ස්කෑනරයකි. පසුගිය කාලයේදී එම කමිටුව මගින් හඳුනාගන්නා ලද රාජ්‍ය දූෂණ සංඛ්‍යාව අති විශාලය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කැබිනට් මණ්ඩලය රවටා ලබාගත් අනුමැතියක් සහිතව ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බඳවාගෙන ඇති බවත් ඉන් සමහරකුගේ මාසික වැටුප රුපියල් මිලියනයක් බවත් හෙළිව ඇත. මෙහිදී මෙය කැබිනට් මණ්ඩලය රවටා ලබාගත් අනුමැතියක් ද යන කාරණය අප කිසිසේත්ම විශ්වාස නොකරමු. පහසුවෙන් රැවටිය හැකි කැබිනට් මණ්ඩලයක් රටක සිටීම ඉතාම භයානක කාරණයකි. එක්තරා දවසක උදය වරුවේ කැබිනට් මණ්ඩලය විශාල ලෙස රැවටී මුළු රටම කාට හෝ විකුණා දමනවා ඇත.

කෝප් කමිටුව පිහිටුවන ලද්දේ රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යනු පිණිස ය. කීර්තිමත් මැති ඇමැතිවරුන් ගණනාවක් මෙහි සභාපති තනතුරු දරා ඇති අතර දැනට එම තනතුර දරන්නේ දේශපාලනඥයකු ලෙස කිසිම කුණක් ඇෙඟ් ගාගෙන නැති ශාස්ත‍්‍රලෝලියකු වන මහාචාර්ය චරිත හේරත් ය. මෙයට පෙර එම කමිටුවට නායකත්වය දුන් සුනිල් හඳුන්නෙත්ති සහ ඞීව් ගුණසේකර යන දෙදෙනා ද ඉතා උසස් මෙහෙයක් සිදුකළ අය වෙති. විශේෂයෙන් සුනිල් හඳුන්නෙත්ති රාජ්‍ය දූෂණ රාජ්‍ය දූෂණ විශාල සංඛ්‍යාවක් හෙළිකිරීම සඳහා නොබියව හා නොපැකිලව කටයුතු කළේය. 2003 දී ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පුද්ගලිකකරණය කරන ලදි. එම වැඩපිළිවෙළ බොහෝ දෝෂ සහිත සහ දුෂිත කටයුත්තක් බව 2007 දී COPE කමිටුව හෙළිකළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක් හේතුවෙන් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත වරක් 2009 දී රජයට අනුයුක්ත විය. ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම මගින් ආනයනය කරන ලද බාල ප‍්‍රමිතියෙන් යුතු ඉන්ධන පිළිබඳ 2012 දී පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට කෝප් කමිටුවට හැකිවිය. අනතුරුව අල්ලස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද බාල තෙල් සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන ලදි. එම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් බාල තෙල් ගෙන්වූ ඛනිජ තෙල් ප‍්‍රධානීන් සියලූම දෙනා ඉවත්කර අලූත් ප‍්‍රධානීන් පත්කරන ලදි. ඉවත් කළ ප‍්‍රධානීන්ට කිසිදු දඬුවමක් ලැබුණ බවට කිසිදු ආරංචියක් අදටත් නැත. එම ආරංචිය හෙට ලැබෙන්නේ ද නැත.

බැඳුම්කර වංචාව පිළිබඳව ද COPE කමිටුව විසින් පරීක්‍ෂණයක් පවත්වන ලදි. මේ සම්බන්ධයෙන් එවකට මහ බැංකුවේ අධිපති වූ අර්ජුන් මහේන්‍ද්‍රන් වගකිව යුතු බව 2016 දී COPE කමිටුව හෙළි කළේය. එමතුද නොව අර්ජුන් මහේන්‍ද්‍රන්ට විරුද්ධ නීතිමය පියවර ගත යුතු බව ද COPE කමිටුව නිර්දේශ කළේය. ඒ සැනින් අර්ජුන් මහේන්‍ද්‍රන් රට පිනූ බවත්, ඔහු දැන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහල පෙනෙන මානයේ Apartment එකක ජීවත් වන බවත් අපි මහත් සංවේගයෙන් වාර්තා කරමු.

මේ අතර ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් (SLIT) මහපොල අරමුදලේ ධනය අපහරණය කළ බව ද COPE කමිටුව මගින් හෙළිකර ගෙන ඇත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සිදු වූ ජල්තර වැඩ, ජාතික පශු සම්පත් ආයතනයේ සිදු වූ හොරවැඩ, පාපන්දු සම්මේලනයේ සිදුව ඇති වර්චස් වැඩ යනාදිය ගැන ද කමිටුව පරීක්‍ෂණ පවත්වා ඇත. ශ‍්‍රී ලංකාව ගොඩ දැමීමට නම් මෙවැනි කමිටු තව තිහ හතළිහක් පමණ අවශ්‍ය බව අපගේ මතය වේ. ඒ හැම එකකම ප‍්‍රධානියා චරිත හේරත් හෝ සුනිල් හඳුන්නෙත්තිට සමාන වන්නේ නම් තත්ත්වය ඉතා යහහපත් වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment