විකුණන්න සැලසුමක් නෑ – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්
නුවරඑළිය මීපිලිමාන දිමුතුගම ප්‍රදේශයේ රජයේ බීජ අර්තාපල් ගොවිපොළ සතු ඉඩමක් පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (02 දා) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයේ නිරත වූ උද්ඝෝෂකයන් කියා සිටියේ රජයට අයත් මීපිලිමාන දිමුතුගම ප්‍රදේශයේ කන්දේ ඇළ ඉස්මත්තේ පිහිටි රජයේ බීජ අර්තාපල් ගොවිපළ සතු අක්කර 7.5 කින් යුතු ඉඩම කෝපි වගා කරන මුවාවෙන් පෞද්ගලික සමාගමකට විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සහ වගකිව යුතු නිලධාරින් කටයුතු කරමින් සිටින බවයි.
උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ නුවරඑළිය වැනි ශීත දේශගුණයක් පවතින ප්‍රදේශයක කිසිසේත් කෝපි වගා කිරීමට නොහැකි තත්ත්වයක් මත මහජනතාව මුලා කරමින් කෝපි වගා කරන මුවාවෙන් එම ඉඩම පෞද්ගලික අංශයකට ලබාදී සංචාරක නිවාඩු නිකේතන ඉදිකිරීමට සැලසුම් කරන බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුකර මීපිලිමාන දිමුතුගම පිහිටි අක්කර 7.5 ක අදාළ බීජ අර්තාපල් ගොවිපළ සතුන් ඉඩම සහ මීපිලිමාන ප්‍රදේශය පුරාවට කිසිදු ව්‍යාපෘතියකට නොගෙන වල් වැදී යෑමට අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 60ක පමණ ප්‍රමාණය අඩු ආදායම්ලාභී පවුල් සදහා ගිවිසුම් පදනම මත වගා කටයුතු කිරීමට ලබාදීමට කටයුතු කර දෙන ලෙසයි උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස ඉල්ලා සිටියේ.
උද්ඝෝෂණයේ නිරත පිරිස නඟන චෝදනා සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ එම ඉඩම කෝපි වගාවක් සදහා නිර්දේශ කර ඇති බවත්, ඊට අමතරව කිසිදු ඉදිකිරීමක් එහි සිදු නොකරන බවත්, කිසිදු පෞද්ගලික සමාගමකට එම ඉඩම විකිණිමට කිසිදු සැලසුමක් නොමැති බවත්, එම ඉඩම කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු විසින් අනවසරෙන් අල්ලාගෙන වගා කටයුතු සිදුකරගෙන පැමිණ ඇති බවයි.
නුවරඑළිය – නාලක රත්නායක