කෝප සබ වැනුම

119

පොරණ දඹදිව්හි මියුළු නම් නුවර වේදේහ නම් රජුන් සමයෙහි එතුමනට රාජ පාලනය පිණිසැ අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළා වූ මහෞෂධයන් නම් මහා ප්‍රඥාසම්පන්න පණ්ඩිතයන්ගෙන් පසු මඤ්ඤංලන්ත රජුන් අනුශාසනා පිණිසැ නොව හුදී ජනයින් බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් සන්නද්ධ කෙරුම් පිණිසැ උත්පාදව ඇතැයි යනුවෙන් එකී මඤ්ඤං ජනයින්ගේ මහත් වූ ගෞරව බුහුමනට ප්‍රාප්තව හිඳිනා වූ චූලෞෂධ නම් පණ්ඩිතයෝ එක් සමයක්හි දිනෙක පූර්වාහ්නයෙහි මාංසයෙන් තොර ශාකසාරමය පාතරාසය වැළැඳීමෙන් අනතුරුව කරදමුඟු, කරහබු නටු, පියලි හිඟුරු, පුන්නපූගාදී නේක මුඛාසුව ඖෂධාදීන්ගෙන් සපිරුණු නාගවල්ලි දැහැත් විටක් සපමින් ආලින්දයෙහි වූ සුව අසුනෙහි පාසුයෙන් දිගාව, එකී සුව අසුනෙහි අපර පාදයන් ද්වය සමීපයෙහි වූ ස්වේත අයෝමය පඩික්කම් බඳුනට වරින්වර මුඛයෙහි පිරෙනා රක්ත වර්ණ වූ කේඨය පදාසව හෙළැමින්, විසල් අංගනයෙහි වූ උයන්පල්ලාගේ අනේක සාත්තුවට බඳුන්වැ සාර ලෙස වැඩී අලංකෘත පුෂ්පයන්ගෙන් ගහන වූ නේක පුෂ්පාශාක ගොමුවෙන් හා මායිම් පවුරෙන් ඉහළ වූ ද ඉන් එපිට ඇස්මානයේ පෙනෙනා වූ වන වියනෙහි උස් වූ නේක තුරු මුදුන් දෙස බලාගෙනැ කල්පනාවෙක යෙදෙනුයේ විසඳුම් පිණිස අතොරක් නොවූ පැනයෙන් බර වූ හිසින් යුතුවැ තුමූ හමුවට පැමිණෙනා මඤ්ඤං ජනයා පෙරකල්හි මෙන් නොව සාධනීය වූ වැහැර දැනුමෙන් හා සමාජාවබෝධයෙන් සන්නද්ධව ඇති සේ පෙනෙනා බැව්ද එමතුද නොව මඤ්ඤංලන්තයෙහි තත්කාල දෙස්පළු හා ආරතික අවුල්, ගැටලු, පැටළිලි පිළිබඳව මනාවබෝධයක් ඇති සේ පෙනෙනා බැව් හැඟෙනාතරමැ මහා පණ්ඩිත වූ තුමුනට වඩා හුදී ජන උන් එකී දැනුමෙන් ඉහළ බැව් බෝ වේලාවල දක්නට ලැබෙනා බැව් ද සිතෙනුයේ මඳ විළියක් සිතට නැගී අවට බලනා කල කිසිවකු නොමැති බැව් දැන මඳක් සැනසුම් ඉසිඹවක් ගෙන සන්සුන්වැ යළි අසුනෙහි දිගාව එකී ජනයින් පැන විසැඳුම් කතිකා පිණිසැ මෙතෙක් නොපැමිණි නියා සිහි නැඟී ඒ කිමෙක් නිසාවදැයි සිතිවිල්ලක් නැගි වේළායෙහිමැ ඉදිරි ප්‍රාකාර මහ දොරටුව දෙසින් නැඟුනා වූ කතාබහ කුමක්දැයි එදෙස බැලූ කල්හි සුපුරුදු මඤ්ඤං ශ්‍රාවකයින් කැලත සිරිත් පරිදි මග සිටම කෙරෙනා වූ කචෝබචෝවෙන් යුක්තව පැමිණෙනා බැව් දැකැ කවර දැනුමක් ලැබුවද මුන්ගේ කච කචය නම් නොඅඩු බැව් සිතෙනුයේ එසේ වුවද මුන් මෙසේ වාද විවාදයෙන් පැමිණෙනුයේ කිසියම් වූ වෙසෙස් කරුණක් ගැන විය හැක්කේ යැයි යළි සිතිවිල්ලක් පහළ වනුයේ මින් පෙරත් මුන් මෙසේ කචබචයෙන් විවාද කළ වැදගත් වූ කාරණා ගැන සිහිව ගිය හෙයින් යැ.

ඉදින් ජන කැලත එකිනෙකා උරෙනුර ගැටෙමින් එක පොදියට කතාබතාවෙන්මැ අංගන පෙත් මඟ ඔස්සේ කෙලින්මැ රැස්වුම් කුටිය තෙක් ගමන් කරනා බැව් දැකැ මුන් අද පාතරාස කටයුතු අරභයා වගේවගක් නොමැත්තේ පැමිණුමට මඳ පමාවක් වූ හෙයින් ඉන්තේරුවෙන්මැ මුන් තුමු තුමූ නිවස්නයන්ගෙන්මැ එකී කටයුතු අහවර කොට පැමිණ ඇති නිසාවෙන් හෝ නොමැත්තේ නම් වාද විවාද කෙරෙමින් පැවැත්වෙනා වූ කාරණය මහත් වූ වෙසෙස් එකක් වන්නා වූ නිසාවෙන් කෑම්පීමාදී කටයුතු එකී වාදය නිමා කොට දෙවනු ලෙස කෙරෙමැයි මගදීමැ උන් සැම ගිවිස ගත් නිසාවෙන්දෝයි සැකැවැ මඳක් තාවර වූ චූලෞෂධයෝ උන් පසුපසැමැ රැස්වුම් ගෘහය වෙත ඇදෙනාහ. “සකියනි, තෙපි කුමක් කියුවද මෙවර නම් උන් රොත්ත නොසෑහෙන කලක් මහ සිපිරි ගෙයි තැපුමට වේයැයි මෙන්න කැට යැ.”යි එකකු ගමන්ගනිමින්මැ තුමූ සුරතෙහි මහපටැඟිල්ල හා මැදැඟිල්ල එක්කොට අසුරක් ගසා පසුපස හැරී අනෙකුන් සිසාරා ගැම්මෙන් බලනුයේ පසුපසින් පැමිණෙනා වූ ජන පෙළෙහි කෙළවර මඳක් ඈතින් උන් අනුවමැ චූලෞෂධයන්ද සපැමිණෙනා බැව් අහම්බෙන් දැකැ තුමූ හැසිරුම් ගැන චකිතයෙන් හා ලජ්ජායෙන් යුතුවැ, “කමා කල මැනව ස්වාමීනී, අප වාද කතායෙන් පසු වූයේ කෝප නම් කමිටුවෙක් පිළිබඳවයැ.”යි පවසනායැ. අනෙකුන්දැ එකී වදන “එසේයැ ස්වාමීනී” යැයි අනුමත කරනුයේ චූලෞෂධයෝ,“ඉදින්, එකී සබය අරභයා කවර වූ වාදයෙක්දැ?”යි ඇසූ කල්හි පළමු පුඟුලා කියනුයේ, “ස්වාමීනී, කෝප සබයෙහි ඇත්තන් රාජායතනයන්හි උන් ගෙන්වා උන් කරන ලද්දා වූ අකටයුතු හෝ චෝරකම් පිළිබඳ පැන කොට උන් නිරුත්තර කොට හෝ උන් පිළිවදන් මුසා කොට හැඳි වස්ත්‍රයන් ගලවනායැ.”යි පවසනුයේ එකෙණෙහිමැ තවකෙකු පැනැ,“බම්බුවයැ. උන් හැඳි වස්ත්‍ර ගැලැවුමෙහි කවර ඵලයෙක්දැ? කවදත් උන් සිටිනුයේ වස්ත්‍ර නොමැති සේයැ.”යි මහ නදින් කියනායැ. එබසට පළමුවැන්නා,“එසේ නොව සකිය. බලව, අප දෑහිත ධනය විනාශ කෙරෙමින් උන් කෙළනා උමතුවන් අප දැනැගනුයේ කෝප සබය නිසාවෙන් නොවේදැ?”යි ජයග්‍රාහී ලීලායෙන් ඇසූ කල්හි අනෙකා,“ඉදින් අප දැනගැනුමෙන් උනට පඤ්ඤංදැ? මෙකී කෝප සබයෙන් චෝදනා ලැබ සිපිරි ගෙට ගිය එකෙකු මට කියව.”යි පවසා, “බලව, කලෙකට පෙර සංතෝසයේ ස්වේත සිහිනි මගඩිය කෝප සබයේ හෙළි වූ කල නුසාදයාට වූයේ කිමෙක්දැ? ඒ සා ධනයක් කාබාසිනියා කළ උහු යවන ලද්දේ සිපිරිගෙට නොව පරිභෝජ භාණ්ඩයන්හි පරමිතිය මැනුම් පිණිසයැ’ පුහු උපදෙස දෙනු පිණිසැ කහවනු මිලියන ගණනින් වේතන ලැබූ ආයෝජන මණ්ඩල හිටපු අදියුරු ජනරාල ලියට කිමෙක් වූයේදැ? කහවනු කෙළ ගණනින් ගිලැ කෝප සබයෙහිදී පිළිවදන් නොමැතිවී නස්පුක් වූ පන්දු කෙළි නිලදරුවනට සිදුවූයේ කිමෙක්දැ? රක්ෂණය ගිල දැමූවනට, ගිලනුනට කුණු ඖෂධ ගිල්ල වූවනට, මඤ්ඤංලන්තය බංකොළොත් කළ භාණ්ඩාගාරයනට කිමෙක් සිදුවේදැයි තොප සිතනේදැ? කිසිත් නැත්තේයැ. කලෙක එකී කෝප සබයේ හිඳ දූෂණ වංචා හෙළි කළ රනජනයා නම් අන්න සිපිරි ගෙයිහියැ,” යි මහත් ආවේගවැ කියවාගෙන ගොස් හති අරිනට වන්නායැ.

එකී වදන් වැල ඇසූ චූලෞෂධයන්ද අන්ද මන්දවැ, මුහු කියූ දෑ සත්තක් නොවේදැයි සිහිවැ පළමු පුඟුලා ඊට කුමක් කියත්දැයි උහු දෙස බැලූ කල උහු මුඛයෙහි පිට්ටු නම් සිලින්දරාකාර අහර වෙසෙස සිර වූ කල්හි මෙන් පිළිවදන් නොමැතිවැ සිටිනු දක්නා ලද්දේයැ. සෙසු ජනයෝද තුෂ්ණිම්භූතයාගේ සුළු පියාගේ පුත්‍රයා සේ මවිතවැ සිටිනුයේ හති හෙළැමින් සිටි දෙවැන්නා,“නොදනී නම් අසව, කෝප සබය වනාහී තෝ සොරයැ, අරූ සොරයැ, මුහු සොරයැ ආදී ලෙසින් පවසා හුදී ජනයාගේ කෝප අවුලනු විනා වෙන කරනා වූ මඟුලෙක් නොමැත්තේයැ. එකී සබය කෝප සබය යැයි නම් කොට ඇත්තේ එනිසායැ.”යි කියූ කල්හි මුන් දැන් දැන් නිර්භය ලෙසැ තුමූ අදහස් පවසනායැයි චූලෞෂධයනට සිතෙනුයේ එකවරැමැ මහ දොරටුවෙන් ප්‍රාදුර්භූත වූ පමා වී පැමිණි ශ්‍රාවක පුඟුලෙකු “ස්වාමීනී, අභිනව තතුව දන්නේදැ? රුසියන්ගේ දේශයේ වා රියට නිදොස කොට නිදහස දී ඇත්තේයැ.”යි එතැන සිටමැ හඬ නගා කියනායැ. එකී වදන් ඇසූ පළමු පුඟුලා කෝප සබ කතිකාව මඳකට නවතා,“ස්වාමීනී, පුටිනයා වනාහී නාහෙට නාහනා එකායැ. නොබෝ දිනෙකින් අපට කවර වූ පරිපුවක් අනුභව කෙරුමට වේදැයි සැකැයැ.”යි කියූ කල්හි දෙවැන්නා,“ඒ කෙසේ වුවද ස්වාමීනී අපට යම් අභිමානයෙක්දැ නැත්තේමැ නොමැත්තේයැ.”යි කියූ කල්හි මවිතප්‍රාප්ත වූ චූලෞෂධයෝ,“ඒ කෙසේදැ? මේ සා මරිමෝඩ දැයක් කොට කවර නම් අභිමානයෙක්දැ?”යි ඇසූ කල්හි උහු ඊට පිළිවදන් ලෙසැ,“ඇයි ස්වාමීනී, සොට බිම ඇනුනද සොම්බෙන් ගියද අප වනාහී එසේ මෙසේ පොරවල් නොවන්නේයැ. බංගලින්ගෙන් සිඟා කා පුටිනයාගෙන් ගේම ඉල්වනා පට්ට පොරවල් වම්හ”යි කෝචොක මුවින් කියනායැ.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment