කෝමාරිකා වගාවෙන් රාජාංගනයත් අහවරයි…..

504

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 6 ක් අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒකාබද්ධ කැබිනට් සංදේශයකට අනුව මෙම සමාගමට අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ඉඩම් අක්කර 104066 ක් (හෙක්ටයාර 42115 ක්) වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම අනුමැතිය ලබාදීමට වසර තුනකට පමණ පෙර රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවගේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගෙන කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරිණ. අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව අද වන විට යාය 18 ගම්මානයේ ජනතාව දරුණු ලෙස පීඩනයට ලක් කරමින් අඛණ්ඩ ව ඉදිකිරීම් හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මෙරට ක‍්‍රියාත්මක අණපනත් ගණනාවක් උල්ලංඝනය කරමින් දේශපාලන බලය භාවිතා කරමින් මෙම සමාගම විසින් අඛණ්ඩ ව සිදු කරමින් පවතී.

මේ ව්‍යාපෘතිය යටතේ අපනයනය සඳහා ඒක භෝග වාණිජ වගාවක් ලෙස කෝමාරික වගාව සිදු කිරීමට නියමිත ය. ඒ සඳහා රාජාංගනය හා නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 2000 ක් කෝමාරිකා පැළ තවාන පවත්වාගෙන යෑමටත්, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් අක්කර 102000 ක් කෝමාරිකා වගා බිම් පවත්වාගෙන යාමටත්, ව්‍යාපෘතියේ කර්මාන්ත ශාලාව, මෙහෙයුම් කාර්යාලය හා ගබඩාංගනය ඉදි කිරීමට අක්කර 66 ක භූමියක් ලබා ගැනීමටත් නියමිත ව ඇත.

කෝමාරිකා වගාවෙන් රාජාංගනයත් අහවරයි.....

රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධානවලට අනුව වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත මෙම ඉඩම් ලබා දීමට නියමිත ය. අක්කර 102000 ක් වන වගා බිම් සඳහා ලබා ගැනීමට යෝජිත ව ඇත්තේ දීමනාපත‍්‍ර හා බලපත‍්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විඳින පවුල්වලට අයත් ඉඩම් ය. මෙම සමස්ත ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 කි. මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් යෙදවීමට ආයෝජකයා සැලැසුම් කර ඇති බව අමාත්‍ය මණ්ඩල අනුමැතියේ සඳහන් වේ. දේශීය පරිභෝජනය සඳහා සිදු කෙරෙන කුඹුරු ගොවිතැනට පසුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඒක භෝග අපනයන වාණිජ වගාවක් ලෙස විශාල ඉඩම් ප‍්‍රමාණයක් භාවිත කිරීමට නියමිත ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සමස්ත භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 717900 ක් වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 42115 ක් යොදා ගැනීමට නියමිත ව ඇත. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් විට දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 6% ක් පමණ වේ.

අනුරාධපුර ගොවි ජනතාවට වගා බිම් අහිමි කිරීම

මෙතරම් විශාල ඉඩම් ප‍්‍රමාණයක් කෝමාරිකා වගාව සඳහා අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට එම දිස්ත‍්‍රික්කයේ ඉඩම් භාවිත රටාව පිළිබඳ ව සලකා බැලිය යුතු ය. ඉඩම් පරිහරණ ප‍්‍රතිපත්ති සැලැසුම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගෙවතු හෙක්ටයාර 88859 ක් පමණ පවතී. එය මුළු භූමි ප‍්‍රමාණයෙන් 12% කි. ස්ථිර භෝග, කෙසෙල් හා පොල් වගාබිම් ප‍්‍රමාණය හෙක්ටයාර 6494 කි. එය මුළු භූමි ප‍්‍රමාණයෙන් 1% ක ප‍්‍රතිශතයකි. කුඹුරු ඉඩම් හෙක්ටයාර 161752 ක් පුරා පැතිර ඇති අතර එය මුළු භූමි ප‍්‍රමාණයෙන් 23% ක් පමණ වේ. වාර්ෂික භෝග හා හේන් වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 87510 ක් වේ. එය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ 12% ක භූමි ප‍්‍රමාණයක පැතිර තිබේ. මේ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සමස්ත වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 344615 ක් වේ. එම වගා බිම්වලින් මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතියට 12% ක් ලබා දීමට සිදු වන බව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි. ඒ හේතුවෙන් රටේ ජනතාවට අහිමි වන ආහාර භෝග අස්වැන්නේ ප‍්‍රමාණය පිළිබඳ ව අධ්‍යයනය කළ යුතු ව ඇත. කෝමාරිකා ශාක අපනයනය කිරීමෙන් ලැබෙන ලාභය හා ආහාර බෝග අස්වැන්න අහිමි වීම හේතුවෙන් ඇති වන පාඩුව පිළිබඳ නිවැරදි අධ්‍යයනයකින් තොර ව මෙම ඉඩම් ලබා දීමෙන් මෙරට ආහාර ස්වෛරීභාවය බිඳ වැටීමට මෙම ව්‍යාපෘතිය අනාගතයේ දී ප‍්‍රධාන හේතුවක් බවට පත් වනු ඇත. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දැනට සිදු කෙරෙන වගා බිම්වල සුරක්ෂිතතාවයට ප‍්‍රධාන සාධකය වන්නේ එහි පවතින ජල මූලාශ‍්‍රයන් ය. වැව්, ජලාශ, ගංගා, ඇළ, දොළ හා වගුරු බිම් හෙක්ටයාර 67630 ක භූමි ප‍්‍රමාණයක් පුරා පැතිර තිබේ. එය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 10% කි. මෙම සියලූ ජල මූලාශ‍්‍රවල පැවැත්ම රැුඳී ඇත්තේ ඒවායේ ජල පෝෂක ප‍්‍රදේශ වන වනාන්තර පරිසර පද්ධති මත ය. මෙම දිස්ත‍්‍රික්කයේ ඝන වනාන්තර හෙක්ටයාර 175627 ක් පමණ ඇති අතර එය මුළු භූමි ප‍්‍රමාණයෙන් 25% ක් පමණ වේ. ලඳු කැලෑ ඇතුළු ව විවෘත වනාන්තර හෙක්ටයාර 116889 ක් පමණ පිහිටා තිබේ. එය දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 16% කි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් ඉතිරි හෙක්ටයාර 13139 ට අයත් වන්නේ භෞතික සංවර්ධනයන් සහිත ප‍්‍රදේශ සහ ගල්පර හා වැලි කඳු ප‍්‍රදේශයන් ය. ඒ අනුව මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා වනාන්තර පරිසර පද්ධති ලබා දීම සිදු කළහොත් දිස්ත‍්‍රික්කයේ සමස්ත වනාන්තර ප‍්‍රමාණයෙන් 14% ක් අහිමි වේ. මෙසේ අහිමි වීමට නියමිත වනාන්තර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු මායිම් හා සම්බන්ධ ව පවතී. එම ජල පෝෂක වනාන්තර අහිමි වීම හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ වගා බිම්වලට ජලය සීමා වීම නිසා යල හා මහ දෙකන්නය වගා කිරීමට නොහැකිව දරුණු බිඳ වැටීමකට ගොවි ජනතාව පත් වනු ඇත.

කෝමාරිකා වගාවෙන් රාජාංගනයත් අහවරයි.....

ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව කැබිනට් අනුමැතිය ලබා දිය හැකි ද?

මුදල් අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘතියට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කිරීම සඳහා පිළිගත්, අනුමත තාක්ෂණික වාර්තාවක් භාවිත කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු ය. ඒ මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ප‍්‍රදේශයේ ඉඩම් භාවිත කළ හැකි ආකාරය හා ඉන් සිදු වන බලපෑම් හා ආර්ථික තිරසරභාවය මෙන් ම ව්‍යාපෘතියේ ඵලදායීතාවය පිළිබඳ ව මූලික අවබෝධයක් ලබා ගත යුතු ය. ඒ මත පදනම් ව මෙරට ක‍්‍රියාත්මක අණපනත්වලට අනුව අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ගත යුතු අතර ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු ක‍්‍රියාවලියට යොමු විය යුතු ය. ඒ සඳහා සකස් කරන වාර්තාව මහජන අදහස් සඳහා විවෘත ව තැබිය යුතු අතර එම අදහස් මත ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය අනුමැතිය ලබා දීම තීරණය කරනු ලැබේ.

නමුත් මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් හෝ මූලික ව්‍යාපෘති යෝජනාවලියක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ සකස් කර නොමැති ව්‍යාපෘතියක් සඳහා ඉඩම් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප‍්‍රධාන ගැටලූවකි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට සකස් කර ඇත්තේ මූලික සංකල්ප වාර්තාවක් පමණි. එම වාර්තාව ”වියළි කලාපීය ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය” නමින් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් බව සඳහන් වේ.

එම මුදල ආයෝජනය කිරීමට සැලැසුම් කර ඇත්තේ, ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 15 ක්, ගෘහස්ථ ක‍්‍රිඩාංගනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 28 ක්, නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 10 ක්, පර්යේෂණායතනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 35 ක්, පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2 ක් හා කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 3 ක් ආදී වශයෙනි. ඒ අනුව කෝමාරිකා වගා ව්‍යාපෘතියට අමතර ව විශාල මුදල් ප‍්‍රමාණයක් වෙනත් කාර්යයන් සඳහා ආයෝජනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලැසුම් කර තිබේ. නමුත් අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 ක් ලෙස සඳහන් කර තිබේ. එය මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවේ සඳහන් ආයෝජන මුදලට වඩා දෙගුණයකට වැඩි ආයෝජනයකි. එසේ නම් එම මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවට අනුව ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ නොහැකි ය. මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු ව ඇත. වසර තුනකට පසුව ආයෝජන මුදල පළමු සැලසුමේ සඳහන් මුදල මෙන් දෙගුණයකට වඩා වැඩි වී ඇත්නම් එම ආයෝජනය ඵලදායී ආයෝජනයක් ද නැද්ද යන්න පිළිබඳ ව ඉඩම් ලබා දීමට ප‍්‍රථම සොයා බැලිය යුතු ය.

කෝමාරිකා වගාවෙන් රාජාංගනයත් අහවරයි.....

මෙම ව්‍යාපෘතියේ සැබෑ ආයෝජකයා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පිහිටි ඕම් ජීවා සමාගමයි. අවුරා ලංකා පුද්ගලික සමාගම නමින් ඕම් ජීවා සමාගමට පසුගිය වසර තුනක කාලයේ අවස්ථා දෙකක දී ඖෂධ වර්ග අපනයනය කිරීම සිදු කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රේගු වාර්තාවලට අනුව සනාථ වී තිබේ.

අවුරා ලංකා පුද්ගලික සමාගමේ වෙබ් අඩවියේ ද ඕම් ජීවා සමාගම පිළිබඳ සඳහන් කර ඇත. එසේ තිබිය දී එක්තරා ඇමැතිවරයකු නීති විරෝධීව කටයුතු කරන මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටීමට මාධ්‍ය සාකච්ඡුා පවත්වමින් මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ශ‍්‍රී ලාංකිකයකු බවත් ඔහු මහා පරිමාණ ව්‍යාපාරිකයකු බවත් සඳහන් කරමින් ජනතාව මුලා කිරීමේ නිරත ව සිටී.

නීති විරෝධී ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීන්ගේ සහාය

අද වන විට මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව ක‍්‍රියාත්මක කර ගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සහයෝගය ලබා දෙමින් තිබේ. පසුගිය දිනවල මෙම ආයතන ප‍්‍රධානීන් ගුවන් මගින් රාජාංගනය, යාය 18 ගම්මානයට ක්ෂේත‍්‍ර පරීක්ෂණ සඳහා පැමිණ තිබේ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා ඒ වටා ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක‍්‍රිට් හා ගල් අතුරා සකස් කර ඇත. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති ව තිබේ. මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දනු ලැබූ අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කෙරිණ. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත. ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලාඔයේ අතු ගංගාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීමට ද සැලැසුම් කර තිබේ. එසේ අමුණක් ඉදි කළහොත් ගම්මාන ගණනාවක් දැඩි ගංවතුර උවදුරකට ගොදුරු වීමට නියමිත ව ඇත. යාය 18 ගම්මානය ආශ‍්‍රිත ව පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප‍්‍රදේශවල කොන්ක‍්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිතා කරන කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත‍්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප‍්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලූතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලූ සංවර්ධන ක‍්‍රියාවලීන් දැනට වසර තුනකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ප‍්‍රදේශයක කෝමාරිකා ශාක වගා කර නොමැත. කෝමාරිකා වගා ව්‍යාපෘතියෙන් ගොවිතැනට සිදු කරන අහිතකර බලපෑම නියං සමය පවතින කාලවල දී විවෘත කෝමාරිකා වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප‍්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර ඒ හේතුවෙන් පසේ ජලය සීග‍්‍රයෙන් අඩු වී යයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ප‍්‍රදේශවල ජනතාවට උග‍්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස සීග‍්‍රයෙන් නිසරු වන අතර නිරන්තරයෙන් වගා බිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප‍්‍රධාන ගැටලූවක් බවට පත් වනු ඇත. මේ නිසා කෝමාරිකා වගාව මිශ‍්‍ර භෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒක භෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන්ගැටලූ බොහොමයක් උද්ගත වනු ඇත. මෙම ව්‍යාපෘතියේ භාවිතයට ගනිමින් තිබෙන්නේ කවුපි, මුං, උඳු, තල, බඩඉරිඟු, බටු, මිරිස්, දඹල, කරවිල, බණ්ඩක්කා වැනි භෝග වර්ග හා වී වගාව සිදු කළ බිම් ය. සුළු පරිමාණ ගොවීන්ගේ මේ වගා බිම් මෙම සමාගමෙන් ගොවීන්ට අහිමි කිරීමෙන් එම ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට වෙළෙඳ පොළ මත යැපීමට සිදු ව තිබේ. එපමණක් නොව රටේ ආහාර ස්වෛරීභාවයට ද මෙය ප‍්‍රධාන වශයෙන් බලපානු ඇත. නමුත් මේ සියල්ල අවුරා ලංකා සමාගමෙන් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට මවා පෙන්වා ඇති සුරංගනා ලෝකයෙන් වසා දමා ඇත.

අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම

අද වන විට වියළි කලාපය පුරා බඩඉරිඟු හා උක් ශාක ඒක බෝග වාණිජ වගාවක් ලෙස මහ පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම නිසා වාසස්ථාන අහිමි වීමෙන් අලි – ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වී ඇත. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම්වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම්වලට ලබා දෙමින් තිබේ. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළ දී වසරකට අලි – මිනිස් ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස වාර්ෂික ව අලින් 150 ක් හා මිනිසුන් 40 ක් පමණ මරණයට පත් ව තිබේ. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි – මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප‍්‍රමාණය 80 දක්වාත් අලි ඇතුන්ගේ ප‍්‍රමාණය 275 දක්වා මෙතෙක් ඉතිහාසයේ වර්ධනීය ම තත්ත්වයට පත් විය. ඒ තත්ත්වය ඉතා උග‍්‍ර මට්ටමකට පත් කරමින් පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීය ම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් විය. එම වසරේ දී හානි කර මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. 2020 වසරේ දී අලි මරණ 317 ක් හා අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112 ක් වාර්තා වී විය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හා අවට දිස්ත‍්‍රික්කවල අලි – මිනිස් ගැටුම තවත් උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

කෝමාරිකා වගාවෙන් රාජාංගනයත් අහවරයි.....
advertistmentadvertistment