කෝ ඇමති කාංචන අරගෙන ආවාද ඉන්ධන!

533

ජනාධිපති ගෝඨාභයට පමණක් නොව ඔහුගේ අගමැති රනිල් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටම අද මේ රට මුහුණ දී සිටින සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද කිසිවකට සාධනීය විසඳුම් ලබා දීමට නොහැකි බව රහසක් නොවේ. මේ වන විට මාස කීපයක් ගත වී තිබෙන ඉන්ධන අර්බුදය මෙන්ම ආණ්ඩුව අපේක්‍ෂා කරන 21 වැනි (එය 22 ලෙසද හැඳින්වේ) සංශෝධනය මේ ආණ්ඩුවේ අසමත් බව විදහා දක්වන නිදසුන් දෙකක් පමණි. ආණ්ඩුව විසින් ඉන්ධන අර්බුදයට ඉදිරිපත් කරන ලද විසඳුමක් අනුව මේ වන විට ඉන්ධන සපයනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණි. ඒ අත්‍යවශ්‍ය සේවා විධි විධාන අනුව ලබන 10 වනදා තෙක් රජයේ කාර්යාල, ආයතන, (කොළඹ හා නගරාසන්න) පාසල් තාවකාලිකව වසා තැබෙනු ඇත. එසේම පිට පළාත්වලද ඒ කටයුතු වෙනදා මෙන් සිදු නොවන බව පෙනේ.

ආණ්ඩුවට – ඉන්ධන ප්‍රශ්නය විසඳා ගැනීම දුෂ්කර වී ඇත්තේ විදේශ විනිමය හා මූල්‍ය හිඟය නිසාය. රටට ඩොලර් ඒමද අඩුවීම නිසාය. එහෙත් මේ ප්‍රශ්න ආණ්ඩුව ගැඹුරින් වටහා ගත් බවක්ද කිව නොහැක. ඉතිහාසයේ මෑතකදී මේ රට මුහුණ නොදුන් ආකාරයේ බරපතළ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද වැලක රට ගිලී වෙලී තිබෙන මොහොතක ආණ්ඩුවට තනිවම එයින් ගොඩවීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ආණ්ඩුවට අනෙක් දේශපාලන පක්‍ෂ සමග එකඟතාවක් ඇති කර ගත නොහැකි වූවාක් මෙන්ම, ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිචාරද ඉතා අවුල් සහගත විය.

කෝ ඇමති කාංචන අරගෙන ආවාද ඉන්ධන!

මෙහිදී සර්ව පාක්‍ෂික, ආණ්ඩුවක් හෝ අන්තර් පාලනයක් ඇති කර ගත යුතුය යන යෝජනාව විවිධ හේතු නිසා නිෂ්ක්‍රිය වුවා විය හැකිය. එහෙත් ජනාධිපතිවරයා රට මුහුණ දී සිටින අර්බුදය විසඳීමට සමත් දේශපාලන චරිතය ලෙස රනිල් තෝරා ඔහුට අගමැති හා මුදල් ඇමැති ධුර ප්‍රදානය කිරීමත් සාර්ථක වී නැත. පසුගිය දිනක පොහොට්ටුවේ ලේකම්වරයා පවසා තිබුණේ රනිල් අගමැති කිරීමෙන් රටේ ප්‍රශ්න විසඳිය හැකි යැයි තම පක්‍ෂය නොකී බවය. එසේනම් එය කාගේ යෝජනාවක්ද? එසේම ඔහු විසින් තෝරා ගන්නා ලද ඇමති මණ්ඩලයෙන්ද රටේ ප්‍රශ්නවලට සුළු හෝ විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවද කිව යුතුය. පොහොට්ටුව බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ නාලක ගොඩහේවා හිටපු ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී දක්වා තිබුණේද ජනාධිපතිවරයාගේ තුන්වන කැබිනට් මණ්ඩලය පැරණි සම්මත දේශපාලන රාමුව තුළට යළි පිවිසීමක් ලෙසය (අනින්දා 23.06.2022) නිශ්චිත කාලයකට හෝ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇති කළ යුතු බව ඔහු එහිදීත් අවධාරණය කර තිබුණු කරුණකි.

ජනාධිපති ගෝඨාභයගේ පාලනය පිළිබඳ තිබෙන එක් චෝදනාවක් වන්නේ ඔහු කිසිවිටෙක අන් අයට සවන් නොදෙන හා තනිමතයට තීන්දු තීරණවලට එළඹෙන අයෙක් බවය. තමන් විසින් ගන්නා ලද ඇතැම් තීරණ සදොස් බව පසුව ඔහු පිළිගත් බවද රහසක් නොවේ. කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකදී (අද ඒ තත්ත්වය විනාශ වී ඇත) සම්මුතියෙන්, සාකච්ඡාවෙන් තීරණ ගැනීම වඩාත් සාර්ථක බව පිළිගනු ලැබේ.

කෝ ඇමති කාංචන අරගෙන ආවාද ඉන්ධන!

කෙසේ හෝ විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රවාදී හරය සිඳී ගිය ඒකාධිපතිත්වයකට ළං වූවක් බවද මෙහිදී සඳහන් කළ යුතුය. එනිසා ජනාධිපති ගෝඨාභයගේ පාලන ශෛලිය ඒ විධායකයට සමීප ලක්‍ෂණවලින් යුතු වීමද ස්වභාවිකය. එහෙත් වර්තමාන සමාජ දේශපාලන විචාරකයන් සඳහන් කරන එක් කරුණක් වන්නේ අද මේ රට අගාධයටම යෑමට හේතු වූයේද මෙම විධායක ක්‍රමය බවය. ජනාධිපති ගෝඨාභයද මේ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහසකට එකඟව සිටියි. එය යථාර්ථයක් වන්නේද යන්න වෙනම ප්‍රශ්නයකි. අද දේශපාලන වසයෙන් පරිහානියට පත්ව සිටින ලංකාව අභිනව දේශපාලන හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොමු වීමේ අවශ්‍යතාව ප්‍රබුද්ධ ජනතාවද දැඩිව අවධාරණය කරන්නකි. විශේෂයෙන් ගාලුමුවදොර තරුණ අරගලය ඉල්ලා සිටින වෙනසද එයයි. පවතින ක්‍රමය වෙනස් කළ යුතුය යන්න ඒ විරෝධතාකරුවන් විසින් කරන ලද අවධාරණයද වේ.

අද මෙරටේ පවතින දූෂිතම ආයතනයක් ලෙස බොහෝ අය විසින් දක්වනු ලබන්නේද රටේ උත්තරීතර පාර්ලිමේන්තුවය. එහි සංයුතිය, දේශපාලන පක්‍ෂ ක්‍රමය පමණක් නොව අභ්‍යන්තර ක්‍රියාකාරකම්ද බොහෝ දෙනෙකුගේ විවේචනයටද ලක්වේ. මහජන නියෝජිතයා ගෞරවනීය පුද්ගලයකු ලෙස පිළිගැනීමක්ද අද නැත. 1978 දී ජේ. ආර්. ජයවර්ධනට විධායක ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලේසියෙන්ම සම්මත කරගත හැකි වූයේද ඒ මහජන නියෝජිතයන්ගේ අපරිණතභාවයත්, දේශපාලන වහල් මානසිකත්වයත් නිසාය. එදා සිටි බුද්ධිමත් ස්වල්ප දෙනාත් ජයවර්ධනට මෙල්ල වූවෝය. ඒ ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වුවත් විශේෂයෙන් රාජපක්‍ෂ පාලනයේදී ඔවුන්ගේ දේශපාලනයට අවශ්‍ය පරිදි සංශෝධනය වු බවද රහසක් නොවේ. ඒ 2010 දී හා 2020 දීය. මේ දේශපාලන පරිහානියේ උච්චතම අවස්ථාව පොහොට්ටුවට හිමිවූ ජනවරම බවද සමහරු දක්වති. බලය අයථා ලෙස භාවිත කිරීම, දූෂණය, අල්ලස අද වන විට සාමාන්‍ය දේවල් බවටද පත්ව තිබේ.

මේ දේශපාලන පරිහානිය විසින් සමාජ ගත කරන ලද බරපතළ ආර්ථික බිඳ වැටීම අද මේ රටම අස්ථාවර බවට පත් කර තිබේ. ආර්ථික ස්ථාවරත්වය යනු ප්‍රබල හා සාධනීය දේශපාලන වටිනාකම් පද්ධතියක් තුළින් අත්කර ගත හැකි ඵලයකි. ඇතැම් කෙනෙක් ආර්ථිකය වෙනම ක්‍ෂේත්‍රයකට අයත් ක්‍රියාන්විතයක් ලෙස දක්වති. එහෙත් ආර්ථිකය යනු සුවිශිෂ්ට දේශපාලන උල්පත්වලින් සුපෝෂණය වන්නක් බව අපගේද අදහසය. එනිසා දේශපාලනය පවිත්‍රීකරණයට ලක්වන තෙක් ඒ හා බැඳුණු සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂෙත්‍ර දීප්තිමත් බවට පත් වන්නේද නැත. එනිසා අද අප මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයට විසඳුම් සෙවිය යුත්තේද දේශපාලනික වසයෙනි.

අපි යළිත් ලබන 10 වනදා තෙක් සීමා කර තිබෙන ඉන්ධන බෙදාහැරීම හා ඈඳී තිබෙන අත්‍යවශ්‍ය සේවා සීමාව වෙත යොමු වෙමු. ආණ්ඩුව හෝ ඔවුන්ට උපදෙස් දෙන ටිකිරි මොළකාරයන්ගේ හෝ තීන්දුවක් අනුව රට නොවසා වසා තිබෙන්නේ ඉතුරු වී තිබෙන තෙල් සොච්චම හරි බේරා ගැනීමටය. තෙල් ඇමැතිවරයා තෙල් රටකට ගියේත් තෙල් බින්දුවක් වත් රටට අලුතින් නොඑන පසුබිමකය. තෙල් නැව් ගැන ඇමැතිවරයා කළ ප්‍රකාශ එක පෙළට තැබූ විට අපට පෙනී යන්නේ ඒ තරම් බොරු අරාබි නිසොල්ලාසයේවත් නොමැති බවය. ඒ මොනවා උනත් ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබෙන අත්‍යවශ්‍ය සේවා නියමය අලුතින් ප්‍රශ්න පත්‍රයක්ම නිර්මාණය කරනු ලැබ ඇත. අද මේ සීමාව නිසා සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනෙකුටද ගෙදර නැවතීමට සිදුවී තිබේ. වෛi නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන හිඟය නිසා බොහෝ දෙනෙකුට සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබෙන බවය. ආණ්ඩුවට අනුව අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් විය නොහැකිය. එහෙත් මේ වන විට රටේ අධ්‍යාපනය බරපතළ කඩා වැටීමකට ලක්ව තිබේ. මේ ආණ්ඩුව විසින් පත් කරන ලද අධ්‍යාපන ඇමැතිවරුන් කීප දෙනෙක්ම වූහ. එහෙත් දරුවන්ට ගෙවල්වල නතරවීමට සිදුව තිබේ.

ආණ්ඩුව කල්පනා කරන්නේ සිසුන්ට “ඔන්ලයින්” ක්‍රමයෙන් ඉගෙන ගත හැකි බවය. එහෙත් කොළඹ ඇතැම් මහා විiාලවල ඇතැම් ගුරුවරුන්ට පවා ඒ සඳහා පහසුකම් නැතැයිද මව්පියෝ කියති. සමහර සුපිරි පාසල්වල ගුරුවරු දරුවන්ගෙන් සම්මාදම් කර පරිගණක ලබා ගන්නා තත්ත්වයට බාල්දු වී සිටිති. මේ ගුරුවරයෙකුට ණයක් හෝ ලබාදී පරිගණක පහසුකම් සැපයීම ඒවා යෝජනා කරන අධ්‍යාපන බලධාරීන්ගේ වැඩකි. අනේ ගුරු මව්වරුනි ඒ බරත් දෙමව්පියන්ට පටවන්න එපා යැයි අපි ඉල්ලා සිටිමු. කුමක් වුවත් මේ ආණ්ඩුව අපේ දරුවන්ට මතු රැකෙනා ශිල්පය ලබාදීමටද අසමත්ව සිටියි. කුමක් වුවත් කල දුටු කල වළ ඉහගන්නා අය නූතන දිසාපාමොක්ලා අතරද සිටිතියි කීම නිවැරදිය.

ලංකාව යනු ස්වයංපෝෂිත ආර්ථිකයක් අනුව ජගත් බුහුමනටද පාත්‍ර වූ රටකි. අහසින් වැටෙන එක දිය බිඳුවක් වත් වැඩකට නොගෙන මුහුදට නොහරින්නැයි ජනතාවට ආයාචනා කළ පැරකුම්බාවෝ අද නොවෙති. අද සිටින නිලබල ගත් නිදිකුම්බාවරු වැස්සෙන් එකතු වු රන්ටැඹේ ජලාශයේ දොරටු හැර ඒවා තක්කඩින්ට ලබා දෙන වර්ගයේ අමනයෝය. මේවා රටට හෙළි වුවත් මේ ටියුබ්ලයිට් වර්ගයේ බලධාරීහු අහක බලා සිටිති. මේ අසමත් ආණ්ඩුවට වගේ වගක් නැති වුවත් දෙසතියකට ආසන්න කාලයක් රට වසා තැබීම සෙල්ලමක් නොවේ. මේ හැම දෙයකින්ම පීඩාවට පත්වන්නේ පොදු ජනතාවය. දේශපාලන පැලැන්තියක් නඩත්තු කරමින් ජීවත්වීමට පොර බදන ජනතාවක් අද මේ රටේ ඉරණම බවට පත්ව තිබේ. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා තිබෙන මහජන නියෝජන ක්‍රමය පිළිබඳ වු විවේචන සුළු පටු නැත. එහෙත් මේ බොහෝ දෙනෙක් ජනතා සේවකයන් නොව ජාවාරම්කරුවෝය.

ඉන්ධන සීමාව නගරවලට වඩා ගම්වලට බලපාන්නක් බවද ඇතැම් සිදුවීම් තහවුරු කර තිබේ. පොදු ප්‍රවාහනයක් තබා ත්‍රීවිලරයක් වත් පහසුවෙන් සොයා ගත නොහැකි ගම්ද තිබේ. ඒ ගම්වල හදිසි ලෙඩෙක් රෝහලකට ගෙන යෑමට ගිලන් රථ සේවයක්ද නැත. (කොළඹ හා නාගරිකව ඒ සේවය තිබිණි) ගමේ සෞඛ්‍ය උපදේශිකාව ඒ ගම් වලට පය තබන්නේ කලාතුරකින්ය. ත්‍රීපෝෂ හෝ හොඳ ආහාරවේලක් නැති ඒ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙලෙති. අපේ දේශපාලනඥයන්ගේ ස්වරූපය දකින විට මේ රටට ඇත්තේ අධිපෝෂණයකැයි කෙනෙකුට සිතීමට බැරි නැත. ඒ මොනවා උනත් ආණ්ඩුව ඉන්ධන මිල තවත් වටයකින් ඉහළ දමා තිබේ. ආණ්ඩුව බලයට පත් වන විට තිබුණු මිලත් අද මිලත් සසඳා බැලීමට ඉන්ධන බලධාරීන්ටම පවරමු. අද ඒ මිල ඇතුලේ තිබෙන බදු ගැනද අපි කතා නොකරමු. මාස කීපයකට පෙර ඩොලර් 60 කට තිබුණු තෙල් බැරලය දැන් 106 ටත් වැඩිය. තෙල් නැති රටවල් හැම එකක්ම ඒ මිලට තෙල් ලබා ගත යුතුය. එහෙත් තෙල් මිල පමණක් වැඩිකර රට වසා දමා ජාම බේරා ගැනීමට කල්පනා කරන රටවල් කීයක් තිබේදැයි අපි නොදනිමු.

මේ රටේ ඉන්ධන මාෆියාව හදන්නේ ජනතාව නොව ඒ ක්‍ෂෙත්‍රවල ක්‍රියාකාරීන් විසිනි. ඉන්ධන සැපයීම ආණ්ඩුවට සීමා වී තිබීම මේ අර්බුදය උත්සන්න වීමට එක හේතුවක් බවට විවේචනයක්ද තිබේ. ඒ සඳහා විවෘත ක්‍රමයක් ඇති කළ යුතු බව යෝජනා කෙරෙන විට වෘත්තීය සමිති නායකයෝ පිඹගෙන එති. මේ අර්බුදයට පරණ රෙඩිමේට් වට්ටෝරුවලින් විසඳුම් සොයා ගත නොහැකිය. රටේ අභිමානය හා ජාතික උරුමයත් රැක ගනිමින් ඉන්ධන කළමනාකරණ පිළිවෙතක් සකසා ගැනීම ආණ්ඩුවට භාරය. මෙන්න තෙල් සමාගම ඉන්දියාවට හොර පාරෙන් දෙන්න යනවෝ යැයි කිසිවකුට බෙරිහන් දීමට නොහැකි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම නරක වැඩක් යැයි අපට කිව නොහැකිය. කොහොමටත් මේ රටේ ඉන්ධන, විදුලිය, වරාය ඇතුළු ආයතන ගණනාවක්ම අදටත් ක්‍රියා කරන්නේ එදා තිබුණු මුදානොගත් කලාප වාගේ බවද මතක් කළ යුතුය. ජරාජීර්ණ නිලධාරීන්ට හා මුග්ධ වෘත්තිය සමිතිවලට යට නොවිය හැකි කශේරුකාවක් ඇමැතිවරයාට තිබිය යුතුය. එහෙත් ඇමැතියාගේ හෙන්චයියකුට ටෙන්ඩරය භාර දීමේ දූෂිත ක්‍රමය නඩත්තු කරන රටක එබඳු පාලනයක් අපේක්‍ෂා කළ නොහැක. වරායේ මිලියන ගණනින් කජු කැවූ කතාවට එදා සිටි ඇමැත්තා සම්බන්ධ බව සේවකයෝම කියති. එහෙව් රටකි මේ.

මේවා ලියනවිට දිවයිනටත් මාධ්‍ය ගැන කියාදීමට සී අයි ඩී එකට ගෙන්විය යුතු යැයි ආණ්ඩුවේ පොහොට්ටු උපදේශකයකුට කල්පනාවීමටද බැරි නැත. එහෙත් සත්‍යය අඳුරේ තැබීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍ය වගකීම පැහැර හැරීමක් බව අපගේ ඇදහිල්ල වී තිබේ. දේශපාලන වලිගවල එල්ලීමට අකමැති මාධ්‍යකරුවෝ අදත් මේ රටේ සිටිති. මේ රට ප්‍රපාතයට රැගෙන ගියේ රට පාලනය කළ දැක්මක් නොමැති දේශපාලනඥයන් අහිතකර බව සැඟවිය යුතු නැත. පසුගිය දින අස්ගිරි පාර්ශවයේ ශ්‍රී ඥානරතන මහනාහිමියන් වදාළේ දේශපාලනඥයන්ට උපදෙස් දීම අනුශාසනා කිරීම නිෂ්ඵල බවය. මේ රට විනාශ මුඛයට ඇදගෙන ගිය දේශපාලනය පිළිබඳ තමන් වහන්සේ තුළද ඇත්තේ කලකිරීමක් හා දුකක් බවද මහනාහිමියෝ වදාළහ. එහි කිසිදු විවාදයක් නැත.

අද දවසේත් අපට දැක ගත හැක්කේ දේශපාලන බලපොරය පමණි. රට හෝ හෙට ගැන නොබලන දේශපාලන ජාවාරම්කාරයෝ අදත් බහුලව සිටිති. ඔවුන්ට නොදෙවෙනි නිලධාරි මාෆියාවක්ද ගොඩනැගී තිබේ. ඇතැම් නිලධාරීන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවල වමාරන ලද බොහෝ දේවල්වලින් තහවුරු වූයේද එයයි. එසේම එබඳු වැමෑරුම් ආපසු ගිලීමට තරම් නිවට නිලධාරීහුද සිටිති. කුමක් වුවත් ඇමැතිවරයකුට නිසි මග පෙන්වීමට තරම් කශේරුකාවක් සහිත නිලධාරීන් අද රටට වුවමනා වී තිබේ. එසේම දේශපාලන ඉඳුල් නොබුදින නිලධාරීන් ස්වල්ප දෙනෙක් හෝ මෙරටේ සිටිතියිද සඳහන් කළ යුතුය. අද බොහෝ අමාත්‍යාංශවල මුල් පුටුවට එන්නේ ජනාධිපති අභිමතය දිනාගත හැකි පුද්ගලයන් විනා ඒ ක්‍ෂේත්‍රවල ප්‍රාමාණිකයන් නොවන බවද අමුතුවෙන් කිව යුතු නැත. යර්ස් සර්, ඕකේ සර් කියමින් රටම වළට ගෙන යෑමට ඒ බොහෝ දෙනෙක් සේවය කළහ.

ගාලුමුවදොර විරෝධතාකරුවන් සමග අද මෙරටේ සාමාන්‍ය ජනතාවද එකඟ බව ඔවුන්ගේ බොහෝ ප්‍රකාශවලින් තහවුරු වේ. ඇත්තට ම මේ ඉන්ධන අර්බුදය වුවද මේ තරම් ඇදුනේ ඇමතිලාගේ මෙන්ම නිලබලධාරීන්ගේද වරදින්ය. මේ වන විට බොහෝ ක්‍ෂේත්‍රවල ආණ්ඩුව පැනවූ ඉන්ධන සීමාවට විරෝධය දක්වනු පෙනේ. මුළු රටම ඒ සමග සිටියත් ආණ්ඩුවට ලේසියෙන් ඒ ඉන්ධන අවුලට විසඳුම් දීමට නොහැකිය. අපේ බොහෝ දෙනෙක් බොහෝ විට ආදර්ශයට ගන්නා සිංගප්පූරුවේ තෙල් බින්දුවක්වත් නැත. එහෙත් සිංගප්පූරුව යනු අද ලොව තෙල් නිෂ්පාදනය හා අපනයනය කරනු ලබන රටවල් අතර තුන්වෙනි ස්ථානය හිමි කරගත් රටකි. ඉන්දියාව තෙල් සම්පත් තිබුණත් තවම තෙල් ආනයනය කිරීම එරටේ සිදුවේ. එහෙත් 1970 තරම් ඈතකදී ලංකාවේ පේසාලේ තෙල් තිබේ යැයි රටටම වාර්තා කළේ එදා තිබුණු ආණ්ඩුවය. එහෙත් අද දක්වාත් ඒ ගැන විමර්ශනයක් නොකළ බවද මෙහිදී මතක් කළ යුතුය.

අද අපට වුවමනා දේශපාලන වශයෙන් කුජීත වු හෝ කිසිදු දැක්මක් නැති නායකයන්, අනුගාමිකයන් හෝ නොවේ. රටක් ගැන හෙටක් ගැන හිතන පැණසර නිරිඳුන් අද වුවමනාය. පැණසර නොවන නිරිඳුන් ලද රජ සැපත ගොරතර මහා දුකටත් වැඩියෙන් විපතකැයි සුභාෂිතයෙහිද දැක්වේ.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment