‘කෲඩියා’ ගලවා කොන්ක්‍රීට් ගස් සිටුවීම

405

2019 සිට දැනගෙනත් කෲඩියා බේරාගන්නට බලධාරීන් කළ දෙයක් නැහැ..

අරගල මැදින් ගෙවී යන කාලයකි මේ. එක පැත්තකින් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ නොමැති කමින් ජනතාව ජීවන අරගලයකට මැදිවී සිටින අතර, තවත් පැත්තකින් රටේ දූෂිත පාලනය දුරලා නව සංස්කෘතියක් සහිත පාලනයක් රටට ගෙන එන්නට ගෝල්ෆේස් අරගලය ඇතුළු අරගල රැසක් රට පුරා සිදුවෙමින් පවතී. මේ සියලු අරගලවලට පෙර රටේ ඉඩම් හා පරිසර සම්පත් අවභාවිතය ගැන කලක පටන් අරගලයක් තිබුණු බව දැන් බොහෝ දෙනකුට අමතක බව අපගේ විශ්වාසයයි. සැබවින්ම, වත්මන් අර්බුදය මතුවන්නට පෙර රටේ වන සම්පත හා ඉඩම් සම්පත මේ දූෂිත රාජ්‍ය පාලනයෙන් රැකගන්නට පරිසරවේදීන් දියත් කළ ඉතා උණුසුම් අරගලයක් පැවතිණි. බිබිල – ඇකිරියන්කුඹුර ප්‍රදේශයේ ඉතා දිළිඳු ගොවි ජනතාව වගා කටයුතු සඳහා භාවිතාකළ ඉඩම් ඇතුළු රජයේ ඉඩම් අක්කර 85,000 ක් සිංගප්පූරුවේ “ගැසල් වෙන්චස්” නම් සමාගමකට උක් කර්මාන්තය සඳහා ලබාදීම නිසා ඇතිවූ ඌව වෙල්ලස්සම රත් කළ අරගලය මේ සඳහා ඉතා හොඳ නිදසුනකි.

එසේම, කඩවත – දඹුල්ල (හා මහනුවර) දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයට බිලිවීමට ඔන්න මෙන්න කියා තිබෙන මුළු ලොවෙන්ම ශ්‍රී ලංකාවේදී පමණක් හමුවන “කෲඩියා සිලනිකා” (පණු කරඳ/පඬු කරඳ) නම් ශාකය එම විනාශයෙන් ගලවා ගැනීම සඳහා ඇතිවූ පරිසර අරගලයද ලෝකයක් දැනගත්තේය. ඒ ජාතික හා අන්තර්ජාතික රතු දත්ත වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර ඇති ලෝකයක් වටිනා ශාකයක් ඒ වන නිසාය. එනමුත් මෙම අරගලවලට ජනාධිපතිවරයා, අගමැති ඇතුළු රටේ ඇමැති මණ්ඩලය, පරිසර ඇමැතිවරයා, මහා මාර්ග ඇමැතිවරයා හෝ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් බලධාරීන් කොතෙක් කන්දී ඇත්දැයි දැනගන්නට ලෝකයක් දැනගත් ගම්පහ – දාරළුවට පැමිණෙන ලෙස අපි පරිසර හා ජනතා අරගලකරුවන්ට ආයාචනය කරන්නට කැමතිය.

මන්ද, අනෙකුත් පාරිසරික අර්බුද සේ මෙන්ම, කෲඩියා ශාකයටද මේ දූෂිත ආණ්ඩුවෙන් හා මැති – ඇමැත්තන්ගෙන් සැලකිල්ලක් හා සාධාරණයක් ඉටු නොවූ නිසාය. ලියුම්කරුගේ අදහස නම්, තවත් කොතරම් කෲඩියා ගස් ප්‍රමාණයක් ලංකාවෙන් සොයාගෙන තිබුණත් අප කියන මේ කෲඩියා ගස නිසා අරගලයක් නිර්මාණය වූ නිසාත්, මේ කෲඩියා ගස නිසා “දාරළුව” ජාත්‍යන්තරයේ පවා ප්‍රකටවූ නිසාත්, මේ ගස කේන්ද්‍ර කරගනිමින් (ගස අධිවේගී මාර්ගයට බිලිදීමට නොදී බේරාගනිමින්) දාරළුව සංචාරක ගම්මානයක් ලෙස සංවර්ධනය කර (දාරළුව දුම්රියපළ ඇතුළුව) දාරළුවට ධරණීය සංවර්ධනයේ අරුණළු කැන්දාගෙන එන්නට තිබූ බවයි. වැඩිමනත්, පරිසර ඇමැති (හිටපු) මහින්ද අමරවීරට හෝ වනජීවී හා වනසංරක්ෂක ඇමැති (හිටපු) සී. බී. රත්නායකට හෝ මහාමාර්ග ඇමැති (හිටපු) ජොන්ස්ටන් ප්‍රනාන්දුට මේ තත්ත්වය නොතේරුණත් සංචාරක ඇමැතිවරයාව සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට අඩියක් පස්සට ගෙන මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම් කරගෙන දාරළුව (ගම්පහ) කෲඩියා ගස සමගම දාරළුව ගම ඉතා හොඳින් ගොඩදමන්නට තිබිණි.

නමුත්, දැන් ඇත්ත තත්ත්වය නම්, මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අනුශාසනා පිට දාරළුව හරහා කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ගය චීන සාමාගම විසින් කළින් සැලසුම් කළ පරිදිම කෲඩියා ගස යටකරගෙන යන පරිදි සකස් කර තිබීමය. කෲඩියා මැදට කොටුවන පරිදි දෙපසින්ම මේ වන විට ගස අයත් පරිසර පද්ධතිය දක්වා මීටර් 200 ක් පමණම දෙපසින් ළඟාවන සේ මාර්ගයේ මූලික ඉදිකිරීම් සිදුකර තිබේ. ඒ අනුව පෙනී යන්නේ ගෙවී යන කවර මොහොතකදී හෝ රටක්, ලෝකයක් කතාකළ ගම්පහ – දාරළුවේ ඉපැරණි කෲඩියා වෘක්ෂය තම නිජබිමෙන් අතුරුදන් විය හැකි බවය.

‘කෲඩියා’ ගලවා කොන්ක්‍රීට් ගස් සිටුවීම

ගස රැකගන්නට ඇතිවූ විරෝධතාව සලකා මාර්ගයේ ආනතිය මදක් වෙනස්කර මේ අගනා ගස මගහැර අධිවේගී මග හදන්නට තිබූ අන්තිම අවස්ථාවත් ඉහත කී ඇමැති රැළ හා මෙරට පාලකයන් විසින් මගහරින ලද අතර, මේ නිසා දාරළුව සංචාරක පුරවරයක් කරන්නට තිබුණු අගනා අවස්ථාවක් ගිලිහී යන බව දැන් ඉතින් සක්සුදක් සේ පැහැදිලිය. අඩුම තරමින් ශ්‍රී ලාංකික මාර්ග සංවර්ධන ඉංජිනේරුවන්ට හෝ මේ සඳහා මැදිහත්වී කටයුතු කරන්නට ඕනෑතරම් අවස්ථාව, කාලය තිබිණි. එසේ නොකළ එවන් ඉංජිනේරුවන් ඒ වගකීම ඉටුනොකර අද ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවන්නට කටයුතු කරන්නේ නම් උන් මේ සටනට සුදුසු නොවන බව ලියුම්කරුගේ අදහසයි.

කෲඩියා වෙනුවෙන් කරන ලද මේ අසාධාරණය දෙස දිනපතා දුම්රියෙන් යන එන අපට බලාඉන්නට බැරි නිසා ඉකුත්දා අපි වල්වැදී ගිය දාරළුව දුම්රියපළෙන් බැස කෲඩියා සොයා ගිය අතර, දැවැන්ත කොන්ක්‍රීට් කඳන් විසින් හෙට අනිද්දා මේ ප්‍රතාපවත්, සුන්දර එහෙත්, කාත් කවුරුවත් නැතිව අසරණ වූ කෲඩියා යුවතිය යටකරගෙන යන චිත්‍රය දැකීමෙන් අපි මහත් කම්පනයට පත්වූයෙමු. කොතරම් ජන විරෝධයක් තිබුණත් ඇය බේරාගන්නට නොහැකිවූ තැන අද කෲඩියා අසරණව වැතිර සිටින්නේ බල පුළුවන්කාර සල්ලාලයින් පිරිසක් විසින් දූෂණයට ලක්කර, තලා, පොඩිකර ඉවත ලූ හපයක් පරිද්දෙනි.

සැබැවින්ම චීන මාර්ග සංවර්ධන සමාගමට මේ සඳහා කරන්නට යමක් නැති බව අපගේ අදහසයි. නමුත්, කොමිස් කුට්ටියක් ගිල දමා හෝ මාර්ගයේ ආනතිය දශම දෙක තුනකින් වෙනස්කර දෙන්නට යයි පාලකයන් විසින් කීවානම් චීන සමාගමට එය ඉටුකර දෙන්නට තරම් ඉංජිනේරු ඥානයක් ඇති බවද අපට විශ්වාසය. එනමුත්, ඒ කාර්යය ඉටු නොවූයේ මන්ද යන්න අපට අදත් ප්‍රශ්නයකි. අප සිතමින් සිටියේ මෙතරම් කතා කළ, භික්ෂූන් වහන්සේ විසින් මහණ කළ කෲඩියා වෘක්ෂය එතැනම ඉතිරිවන පරිදි අධිවේගය ගමන් ගනු ඇති බවයි. නමුත් ඒ කිසිවක් සිදුවී නැත, දුසිම් ගණනට පරිසර, වනජීවී ඇමැතියන් සිටි රටේ අන්තිමට මුළු ලොවෙන්ම ශ්‍රී ලංකාවෙන් පමණක් හමුවන මේ වෘක්ෂය බේරාගෙන, ගස ඇති ගමට වටිනාකමක් දෙන්නට ඔවුහු අසමත් වූහ. මේ ගස සොයාගන්නා මොහොතේදී කෲඩියා සිලනිකා යන නම රතු දත්ත ලේඛනයේ තිබුණේ වඳවී ගිය ශාකයක් (Extinct) ලෙසය. නමුත් ඇමැතියන් කළේ අලුත් රතු දත්ත වාර්තාවේ එය දැඩි තර්ජනයට ලක්වූ ශාකයක් (Highly Threaten) ලෙස ඇතුළත් කිරීම පමණි. සමහර ධනවත් ව්‍යාපාරිකයන් මේ ගස ගලවාගෙන හෙළිකොප්ටරයකින් ගෙන ගොස් තම ගම් පළාතේ සිටුවන්නට කතා කළේය. තවත් සමහරු වෙනත් තැනක සිටුවන්නට කතා කළහ. අන්තිමේදී සිදුවන අසාධාරණය දැක දාරළුව ගමේ තරුණයකු ගස ගලවනවාට විරුද්ධව අධිකරණයේ නඩුවක් පවරා ඇත. එසේම, රතු දත්ත වාර්තාවේ දැක්වෙන තර්ජනයට ලක්වූ ශාකයක් නිසා ගස ගලවන්නට හෝ වනසා දමන්නට අධිකරණයේ පිහිට පැතිය යුතු නීතිමය තත්ත්වයක් ද තිබේ, ඒ නැතිව කෲඩියා ගසට අත තබන්නට චීන සමාගමට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට නොහැක. කළ හැක්කේ කවුරුන්ගේත් අවධානය නැති මොහොතක ගස අතුරුදන් කිරීම හෝ ගලවා සිටුවීම පමණි.

කළ හැකිව තිබුණේ, හෝ කළ යුතුව තිබුණේ පෙර කී පරිදි අංශක කීපයක් පාරේ ආනතිය වෙනස් කර කෲඩියාට ඉන්නා පරිදි ඉන්නට දීමය. අන්තිමේදී අපට කියන්නට ඇත්තේ මෙවන් දැවැන්ත (මාර්ග) සංවර්ධන කටයුත්තකදී සිදුකළ පරිසර බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය පවා පුස්සක් වී ඇති බවයි. ඒවා සිදුකර ඇත්තේ තනිකරම සල්ලි උපයාගන්නට පමණක් බව අපගේ අදහසයි. නොඑසේ නම් එම පරිසර බලපෑම් ඇගයීමේ කටයුත්තේදී මේ ගස හඳුනා නොගත්තේ ඇයිද යන්නද විශාල ප්‍රශ්නයකි.

අපගේ දැනීමේ හැටියට හා අපගේ නිරීක්ෂණයේ හැටියට මධ්‍යම අධිවේගී මග නියත ලෙසම කෲඩියා පමණක් නොව, කෲඩියාගේ පරිසර පද්ධතියද බිලිගනු දිනය වැඩි ඈතක නැත. නමුත්, කෲඩියා නාමයෙන් ගම්පහට, දාරළුවට වටිනාකමක් දෙන්නට තිබුණු හැකියාව ගිලිහී ගොස් ඇත. තායිලන්තය වැනි රටක නම් මේ සඳහා උපරිම සංචාරක වටිනාකම් ලබාදෙන බව අපි අත්දැකීමෙන් දනිමු. ඒ සඳහා කදිම උදාහරණද තිබේ. ඒ ගැන පසුවට කතාකරමු. එතෙක් අපට කියන්නට ඇත්තේ තවත් ඉතිරිව ඇති ඉතා කෙටිකාලය තුළ මේ වෙනුවෙන් තවදුරටත් යමක් කළ හැකිව ඇති බවය. ඒ බව කෲඩියා සිලනිකා නොහොත් දාරළුවේ පණු කරඳ ගස හිමින් මුමුණා කියනු අපට ඇසේ.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප – සුජාතා ජයරත්න


****

ලොකේටම එකයි… පඬුකරඳ ශාඛයත් ඉවරයි

‘කෲඩියා’ ගලවා කොන්ක්‍රීට් ගස් සිටුවීම

කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් (හා ශාක පිළිබඳ ඔස්තාර්වරුන්ගෙන්) ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත නම් කළුගඟ නිම්නයේ පිහිටි ප්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (G. H. K. Thwaits) මහතා විසිනි. කළුතර ගල්පාත ප්‍රදේශයේ පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත්‍ර ඇතුළු එක් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බ්‍රිතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඩ්න්) තැන්පත්කරමින් ඔහු විසින් මෙම ශාකය විද්‍යා ලොවට හඳුන්වා දී (Describe) ඇත.

අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත්කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරනු ලබති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (EX) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්වය. ජාත්‍යන්තර රතු දත්ත වාර්තාවද ඒ අනුව යමින් මෙම ශාකය වඳව ගිය ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. නමුත් මෙම ශාකය පිළිබඳව කරුණු සොයා යෑමේදී අපට පසක් වුණු සැබෑව නම්, සංරක්ෂණවේදීන් අතින් වඳවී යෑමේ වාර්තාවකට හිමිකම් කියන ශාකයක් හෝ සතෙකු යළිත් කුමන හෝ ප්‍රදේශයකින් හමුවන්නට ඇති ඉඩකඩද මේ වඳවීම යන්නෙන් අදහස් කරන බව ඔවුහු පවසති. නොහොත්, වඳව ගියා යැයි සැලකෙන ශාකයක් (හෝ සතෙකු) යළි හමුවන්නට හැකි බව ඔවුහු පවසති.

කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේද ඒ සිද්ධාන්තය අනුවය. නමුත්, යළිත් කෲඩියා දාරළුවෙන් මතුවන්නේ සිද්ධාන්තයකට, වාසනාවකටත් වඩා ආශ්චර්යයකට බව ලියුම්කරුගේ අදහසයි. මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා අවශ්‍ය බව රජය (නොව සංරක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතන) කීවද, එවන් අවංක, සැබෑ පරිසර බලපෑම් තක්සේරු පරීක්ෂණ මෙරට සිදුනොවන තරම්ය. මෙම වාර්තා රජයට (මධ්‍යම පරිසර අධිකාරියට) ලබාදීම සඳහා ව්‍යාපෘති යෝජකයා විසින් එවන් පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ආයතනයක, පුද්ගල කණ්ඩායමක සේවය කුලියට ලබාගැනීම සිදුකරනු ලබන අතර, නිවසේ දහසකුත් ආර්ථික ප්‍රශ්නවලට ලක්ව සිටින මෙම කුලීකරුවන්ට කීයක් හෝ හොයාගන්නට ලැබෙන දුලභ අවස්ථාවක් මේ වන බැවින්, කොම්පැණියේ සල්ලිවලට පින්සිදු වන්නට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව වැඩි අමාරුවක් නැතිව විශිෂ්ඨ සාමාර්ථ ඇතිව පාස් වේ. මෙය හරියට වාහනයක දුම් සහතිකය පරීක්ෂණයක් නොකර සල්ලිවලට ලබාගන්නවා වැනි කටයුත්තකි.

එසේ නොවන්නේ නම්, මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව දෙතුන් පාරක් සිදුකිරීමෙන් හා දෙතුන් වතාවක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුද, කෲඩියා ශාකය ඔවුන්ට හමුනොවීම මහා පුදුමයකි.

‘කෲඩියා’ ගලවා කොන්ක්‍රීට් ගස් සිටුවීම

සමස්ත අධ්‍යයනයේදී ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂිත ශාක විශේෂ 06 ක් හඳුනාගත් බව මෙහි එක් සමීක්ෂණයක් සිදුකළ ප්‍රකට පරිසරවේදීහු සඳහන් කරති. යාගොඩ ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයේ පළමු බිම් සැලසුම තුළ මැන්ඩෝර (Vatica paludosa) නම් ශ්‍රී ලංකාවට අවේණික, දුලභ හා වඳවීමට ලක්වූ වෙනත් ගසක් හඳුනාගෙන තිබූ අතර, ගෝනවැල් නම් (Ancistrocladus hamatus) ශ්‍රී ලංකාවට ආවේණික කාෂ්ටීය අවරෝහකය (වැලක්) ද, ශ්‍රී ලංකාවට අවේණික නොවන, එනමුත් වඳවීමේ තර්ජනයට ලක්වූ තවත් වැල් වර්ග තුනක්, එනම් හීං හිඹුටු (Salacia chinensis), බූ වසතැල් (Bonamia semidigyna) සහ Combretum acuminatum මෙම අධ්‍යයනයේදී හඳුනාගෙන තිබීමද නොසලකා සිටිය යුතු කාරණයක් නොවේ.

කෙසේ හෝ 2018 අප්‍රේල් 03 වැනිදා මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ කොන්ත්‍රාත් සහ රාජ්‍ය ආයතනවල සියලුම වගකිවයුතු අංශවල සහභාගිත්වයෙන් ගම්පහ දාරළුව නම් (පසුව කෲඩියා ශාකය හඳුනාගත්) මෙම පරිසර පද්ධතිය පිහිටි ස්ථානයේම තවත් මැන්ඩෝර ශාක තිබේ දැයි යන්න පිළිබඳව සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදීවත් මගහැරුණු මෙම දුලභ ගස (ගසේ අත්තක් කඩාගෙන ජාතික ශාකාගාරයට ගෙනයන ලදැයි වාර්තා වේ.) යළිත් විදුලොවට එන්නේ ඊටත් වසරකුත් මාස 7 කට පසු, එනම් 2019 නොවැම්බර් 17 දින යළිත් එම ස්ථානය ගවේෂණය කරනු ලබන පරිසරවේදියකු අතිනි. ඒ හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් කරන ලද පසු පරීක්ෂණයකදීය. ඔහු මීට පෙර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉල්ලා සිටින ලද ශාක පිළිබඳ ජෛව විවිධත්ව සමීක්ෂණය සඳහා උද්භිද උද්‍යානය නියෝජනය කරන ලද සාමාජිකයෙකි. 2018 අප්‍රේල් මස 03 වැනිදා මෙහි පැමිණී පසු ඔහුගේ සිතේ ඇතිවුණු දෙගිඩියාවක් නිසා මල් පිපුණු කාලයක යළිත් එහි තනිව පැමිණ කරන ලද සොයාබැලීමකදී මෙසේ මෙම ගස කෲඩියා සිලනිකා බවට ඔහු විසින් තහවුරු කර හඳුනාගනු ලැබීය.

ඉන් පසු ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මේ අලුත් සොයාගැනීම පිළිබඳ ප්‍රවෘතිය මතු වූ දා සිටම පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර, හා වසරක කොරෝනා නිවාඩුව තුළ මේ ගස පිළිබඳව හෝ මාර්ගයේ වෙනස්කමක් කිරීමක් සිදුකර ගස බේරාගැනීම සඳහා ඕනෑ තරම් කාලයක් තිබියදී බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව සිටීම අද ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවයි. එනම්, එම සොයා ගැනීමත් සමගම මෙම ශාකයේ වැදගත්කම පිළිබඳව එවකට බස්නාහිර පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා දැනුවත් කෙරෙන අතර, මේ පිළිබඳ පණිවිඩය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබාදෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දැනුවත්කර වහාම ක්‍රියාමාර්ග ගැනීම සඳහාය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් පරිදි ඔවුන් විසින් 2019 වසරේ නොවැම්බර් මස මේ පිළිබඳ සියලු තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇත්තේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහාය. එදා වසරකට පෙර ඔවුන් විසින් නිවැරදි තීන්දුව ගෙන මාර්ග සැළසුම වෙනස් කළේ නම් අද කෲඩියා සිලනිකාගෙන් ආණ්ඩුව ඇදගෙන නාගන්නේ නැත. හා කෲඩියා අධිවේගයට ගොදුරු වන්නේ නැත.

රජයට විරුද්ධව මාර්ග සංවර්ධන අධිකාරිය තුළ ගේම් දෙන ඉහළ බලධාරීන් විසින් හිතා මතා මෙම වැදගත් තොරතුර යට ගසා ඇති බව අපගේ විශ්වාසයයි. මන්ද මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ මේ පිළිබඳව නිවැරදිව කටයුතු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත්කර තිබියදී වත්මන් තත්ත්වය උද්ගතව ඇති බවයි. එනමුත් අධිකාරිය පසු විපරමක් සිදු කළේ නම්, දැනටමත් කෲඩියා සහ ඇයගේ අපූරු, වටිනා පරිසර පද්ධතිය බේරාගැනීමට ඉඩ තිබිණි.

කෙසේ හෝ 2018 අප්‍රේල් 03 වැනිදා දාරළුව කෲඩියා පරිසර පද්ධතියෙන් සාම්පල් රැස්කරගන්නා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ශාකය නිවැරදිව හඳුනා නොගන්නා අතර, හිමේෂ් දිල්රුවන් ජයසිංහ විසින් ශාකය හඳුනාගැනීමෙන් පසු එම ශාකයේ බීජ එක් රැස් කරගනු ලබන අතර, තවත් මේ විශේෂයේ ශාක ඇත්දැයි සමීක්ෂණයක් කරනු ලබයි. ඒ අනුව 20 ක පමණ පැල ප්‍රමාණයක් බෝ කරගන්නා ඔවුන් කොළඹ අවටින් තවත් වැඩිහිටි කෲඩියා ශාක 7 ක් (දරළුවේ ශාක 3 ක්ද ඇතුළුව) හඳුනාගනු ලබයි. මින් එකක් පිහිටා ඇත්තේ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ යැයි දැන් කියයි. එසේ නම් එම ගස මෙතෙක් කලක් නම්කර තිබුණේ කුමන නමකින්ද යන්න මෙහිදී අපි උද්භිද උද්‍යාන බලධාරීන්ගෙන් ප්‍රශ්නකර සිටිමු. මේ සියල්ලක් රහසේ තබාගන්නා එම දෙපාර්තමේන්තුව ඒ සියලු තොරතුරු හෙළිදරව් කරනු ලබන්නේ කෲඩියා ශාකය කපා දැමීමේ සූදානම පිළිබඳව ගින්න ඇවිළී ගිය පසුවය. අඩුම තරමෙන් හඳුනාගැනීමෙන් පසුව හෝ මෙම ගස ලේබල් කර කපා දැමීමේ අනතුර වළකන්නට කිසිදු රාජ්‍ය ආයතනයක් පියවර ගෙන තිබුණේ නැත. පරිසර අංශ මගින් ලබාදෙන නිර්ණායක කිසිවක් නොසලකා කටයුතු කරන මාර්ග සංවර්ධන අධිකාරිය, බුල්ඩෝසර යොදා මෙසේ දාරළුව කෲඩියා පරිසර පද්ධතිය හානියට ලක්කරන ලද අතර එය වැළැක්වීමට කටයුතු කිරීම පිළිබඳව ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලකට පන්න පන්නා පහරදීම ලජ්ජා නැති වැඩක් සේම, අද මෙසේ එය අනතුරට ලක්වන්නේ නැත.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment