කෲඩියා ශාකය ගම්පහ අධිවේගයෙන් ඉවත් කරයිද?

194

තර්ජනයට ලක්ව තිබෙන ශ‍්‍රී ලංකාවට ආවේණික (ශ‍්‍රී ලංකාවේ පමණක් වැවෙන) කෲඩියා සිලනිකා ශාකය පිළිබඳව යළිත් එක එක කතා අසන්නට ලැබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් ඍජුවම තර්ජනයට ලක්ව ඇති සහ ගම්පහ දාරළුව ප‍්‍රදේශයේ එම දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති මෙම ශාක විශේෂයේ නැවත හඳුනාගන්නට ලැබුණු ශාකය (ගස) නොවන්නට, මීට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද 2020 රතු දත්ත වාර්තාවටද එය ඇතුළත්වනු ඇත්තේ වඳවී ගිය ශාකයක් ලෙසිනි.

නමුත්, මෙවර ශාකය නැවත ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගැනීමේ පදනම මත ශාකය දැඩි තර්ජනයට ලක්වූ කැටගරියට (කාණ්ඩයට) ඇතුළත් කර ඇත. එය ඇතැම් මාධ්‍යයන්ට ප‍්‍රවෘත්තියක් වූයේ ඇයිද යන්න අපට ඇති ප‍්‍රශ්නයකි. ඇතැම් මාධ්‍ය (රූපවාහිනී සහ පුවත්පත් පවා) වාර්තා කර ඇත්තේ කෲඩියා ශාකය 2020 රතු දත්ත වාර්තාවෙන් ඉවත් කර ඇතිය යන ලෙසිනි. මේ මාධ්‍යකරුවන් පරිසරය ගැන හා විද්‍යාත්මක තොරතුරු ගැන දන්නා හරිය ගැන (පරිසර සාක්ෂරතාව) ඉන් තේරුම් ගත හැකිය. ශාකය නැවත වාර්තාවී ඇති නම්, වඳවී ගිය (E*tinct) කැටගරියෙන් ඉවත් වන බව මොන්ටිසෝරි ළමයකුටත් තේරෙන දෙයකි. ඉන් පසු ඊට ආසන්නම කැටගරිය (කාණ්ඩය) වන්නේ අතිශය තර්ජනයට ලක් වූ (ශාක හෝ සත්ත්ව) (Critically Endanger) කාණ්ඩයයි. දැන් එම කාණ්ඩයට ශාකය ඇතුළත් කොට තිබේ. නොහොත් තවම කෲඩියා ශාකය ඇත්තේ රතු දත්ත වාර්තාවේම ය.

කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් හා (ශාක පිළිබඳ ඔස්තාර්වරුන්ගෙන්) ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත නම් කළුගඟ නිම්නයේ පිහිටි ප‍්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (G’ H’ K’Thwaits) මහතා විසිනි. කළුතර ගල්පාත ප‍්‍රදේශයේ පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත‍්‍ර ඇතුළු එක් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බි‍්‍රතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඞ්න්) තැන්පත් කරමින් ඔහු විසින් මෙම ශාකය විද්‍යා ලොවට හඳුන්වා දී (Describe)ඇත.

කෲඩියා ශාකය ගම්පහ අධිවේගයෙන් ඉවත් කරයිද?

අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරනු ලබති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (E*) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්වය. ජාත්‍යන්තර රතු දත්ත වාර්තාවද ඒ අනුව යමින් මෙම ශාකය වඳව ගිය ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. නමුත් මෙම ශාකය පිළිබඳව කරුණු සොයා යෑමේදී අපට පසක් වුණු සැබෑව නම්, සංරක්ෂණවේදීන් අතින් වඳවීයෑමේ වාර්තාවකට හිමිකම් කියන ශාකයක් හෝ සතෙකු යළිත් කුමන හෝ ප‍්‍රදේශයකින් හමුවන්නට ඇති ඉඩකඩද මේ වඳවීම යන්නෙන් අදහස් කරන බව ඔවුහු පවසති. නොහොත්, වඳව ගියා යැයි සැලකෙන ශාකයක් (හෝ සතෙකු) යළි හමුවන්නට හැකිය. කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේද ඒ සිද්ධාන්තය අනුවය.

නමුත් සැබෑ ප‍්‍රශ්නය නම් එය නොවේ. එය තවමත් මධ්‍යම අධිවේගී මාර්ගයට බිලිවීමේ අතිශය තර්ජනයට ලක්ව තිබීමය. නැතහොත්, එම තර්ජනය ගිලිහී ගොස් නැති බවය. උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා යයි කියන පරිදි කෲඩියා සිලනිකා ශාකයේ ඇත්තේ දරට ගන්නා වටිනාකම පමණක් ද යන්න හා දැන් මධ්‍යම අධිවේගී මාර්ගයට ඔය කියන ( වඳවී ගොස් තිබූ බවට විශ්වාස කර නැවත වාර්තා කළ සමරු ශාකය) ශාකය බිලිනොවන්නේද හෝ බිලි නොවන බවට සංවර්ධන හෝ සංරක්ෂණ බලධාරීන් සහතිකයක් දෙන්නේද යන්න ගැනය. ලියුම්කරුගේ නිරීක්ෂණයට අනුව නම්, කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ දක්වා අන්තිම මගී දුම්රිය පැමිණි දින වන විටත් කෲඩියා සිලනිකා ‘සමරු ශාකය’ පත්ව තිබුණේ මාරාන්තික අවස්ථාවකට බවය. ලියුම්කරුට ඇති දුක සහ කනගාටුව නම්, පසුගිය පෙබරවාරියේදී මේ ගස පිළිබඳව මතුවූ උණුසුම හා ආන්දෝලනයට පෙර, ඊට එපිට 2020 පෙබරවාරියේදී, හරියටම වසරකට පෙර ලියුම්කරු විසින් අදාළ පරිසර නිකේතනය නිරීක්ෂණය කර, තෙත් බිම් වන වදුලක් තුළ පිහිටි මෙම ගස හා තවත් පරිවාර කෲඩියා ශාක දෙකක් (අඩි 8-10 ත් අතර උස) නිරීක්ෂණය කර, ඡායාරූපද ගෙන, එම ගස් ස්පර්ශ ද කර ඒ පිළිබඳව කරුණු සහිත ලිපියක් පුවත්පතට සම්පාදනය කළද, බලධාරීන් ඒ නොසලකා තිබීමය. ඒ මතුද නොව මෙම ශාකය නැවත විදු ලොවට සොයා දුන් පරිසර හා ශාක විද්‍යාවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් 2019 නොවම්බරයේදී මෙම ශාකය කෲඩියා සිලනිකා (Crudia ceylanica) බවට නැවත තහවුරු කිරීමෙන් පසු, එවක බස්නාහිර පළාත භාර වන ජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා මේ පිළිබඳව දැනුවත් කරන ලදී. ඒ මගින් මධ්‍යම පරිසර අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය භාරව කටයුතු කරන මාර්ග සංවර්ධන අධිකාරිය ද දැනුවත් කර ඇත. නමුත් මේ සියලූ තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යට ගසන ලද බව අපගේ විශ්වාසයයි. අන්තිමේ අපහසුතාවට පත්වූයේ කඩවත – මීරිගම මධ්‍යම අධිවේගී මාර්ග කොටසේ වැඩ ඉක්මන් කළ රජය සහ ආණ්ඩුවයි. සැබවින්ම කළ යුතුව තිබුණේ මේ කොටසේ වැඩ ප‍්‍රමාද කරමින් සිටි යහපාලන ආණ්ඩුව සමයේ දී කෲඩියා ශාකයේ විශිෂ්ට සොයාගැනීමට ගරු කරමින් මාර්ගය යම්තාක් දුරට වෙනස් කර ශාකය තිබුණු තැනම තිබීමට කටයුතු කිරීමයි. එසේ වුණේ නම් අද ගම්පහ – දාරළුව රටක්, ලොවක් දන්නා ප‍්‍රදේශයක් බවට පත් කරන්නට අති විශාල ඉඩකඩක් තිබුණු බව ලියුම්කරුගේ අදහස වන අතර, ලෝක රතු දත්ත වාර්තාවේ පවා සඳහන් වන ශාකයක් බවට පත්වන මෙම ශාකය සහ ස්ථානය අතිශය සංචාරක ආකර්ෂණය ලබන ස්ථානයක් බවට පත් කරන්නට තිබිණි. ගම්පහ නියෝජනය කරන සංචාරක ඇමැතිවරයාටවත් මේ බව නොතේරෙන්නේ ඇයි දැයි අපට තේරෙන්නේ නැත. අඩුම තරමින් මෙම ගස වටකර (ගස මැදිවන සේ ) මාර්ගය තැනුවත් ඒ වටිනාකම ඒ අයුරින්ම ලබාගත හැකිය. කුඩා, දාරළුව දුම්රිය ස්ථානය දියුණු කර සංචාරක ගමනාන්තයක් (Tourist Destination) බවට (Crudia Railway Station) මෙම ස්ථානය පත් කරන්නට තිබිණි. (මේ පිළිබඳ ගුරුහරුකම් අපේ සංචාරක ඇමැතිවරයා ඇතුළු සංචාරක ප‍්‍රවර්ධන බලධාරීන්ට තායිලන්තයෙන් ලබාගත හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස සිටියදී සාදන ලද කොළඹ පාවෙන වෙළෙඳ පොළ (Bangkok Floating Market), අපේ ගම (Siyam Niramit), රිදියගම සෆාරි උද්‍යානය (Bangkok Safari Park) වැනි සංකල්ප අපි දැනටමත් තායිලන්තයෙන් ලබාගෙන ඇත.

(අපේ සංචාරක බලධාරීන්ට වැරදුනු තැන් හා නොසලකා හැර ඇති තවත් මෙවැනි වැදගත් කතාවක් අපි ඉදිරියේදී පාඨක ඔබට හෙළිදරව් කරන්නෙමු) කෙසේ හෝ කියන්නට ඇත්තේ කෲඩියා ශාක විශේෂයට ගෝලීයව ඇති තර්ජනය මෙන්ම, දාරළුවේ සමරු කෲඩියා ශාකයට ද ඇති තර්ජනය තවමත් නිමවී නැති බවය. මෙම ශාකය කපා දමන්නට හෝ බුල්ඩෝසර් කර දමන්නට ක‍්‍රියා කරන්නේ නම් මුළු ලොවෙන්ම අපේ රටට පමණක් සීමාවී තිබෙන හා රතු දත්ත වාර්තාවේ අතිශය තර්ජනයට ලක්ව ඇති ශාකයක් අතු ගා දැමීමේ පාපකර්මයෙන් බලධාරීන්ට නිදහස් විය නොහැකි වනු ඇත. එනම්, රතු දත්ත වාර්තාවේ තැන වෙනස් වුණාට, මේ විනාශයෙන් බලපාන පාපකර්මයේ තැන වෙනසක් සිදුනොවනු ඇත.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment