ඛනිජ සම්බන්ධයෙන් සියලු බලපත්‍ර නිකුත් කරන්නෙ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයෙන්…
සතියෙන් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන්…
පහුගිය කාලේ ගවේෂණ බලපත්‍රයක් ගන්න නිලධාරීන් සතුටු කරන්න වෙලා…
විදේශීය සමාගම්වලට ඛනිජ ගවේෂණ බලපත්‍ර දීම තහනම් කරන්න ඕනෑ…
විදේශීය සමාගම් කිහිපයක් ඛනිජ ගවේෂණයට බලපත්‍ර අරගෙන කල් මරනවා…
සමහර සමාගම් අවුරුදු 10, 15 ගවේෂණය කරනවා, කැණීම් කරන්නෙ නෑ…
භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදී ය. එම ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨ කතුවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය. ඔහුගේ උපදෙස් මත ඛනිජ සම්පත් ගවේෂණය කරගෙන ගිය ඉංග්‍රීසි ජාතික ඛනිජ ගවේෂකයන් විසින් මෙරට පොළොව තුළ නිධන්ව තිබෙන ඛනිජ බොහෝමයක් සොයාගෙන ඇති බව ඉතිහාසයේ සඳහන් ය. අනතුරුව භූ විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශය ආරම්භ වී ඇත්තේ 1965 වර්ෂයේදී ය. ආරම්භක අවධියේ මෙරට භූ විද්‍යාඥයන් නොසිටියේ ය. ගවේෂණ කටයුතු සිදු කරගෙන ගොස් ඇත්තේ විදේශීය ආචාර්යවරුන් යටතේ ය. මේ වෙනකොට භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට මහාචාර්යවරු සිටිති. ආචාර්යවරු සිටිති. 1993 වර්ෂයේදී ආරම්භ වූ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය තිබේ. වාර්තා වන ආකාරයට එම කාර්යාංශයේ ප්‍රාදේශීය ශාඛා දොළහකට වැඩි ය. ප්‍රාදේශීය ශාඛා ඇතුළුව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සේවය කරන පිරිස හාරසීයකට වැඩි ය.
ජලය, තෙල්, ලුණු හැර මෙරට සියලුම ඛනිජ සම්පත් කළමනාකරණය කිරීමේ මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියාකරනුයේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය යි. ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් කිරීම, ප්‍රවාහනය, ගබඩා සහ වෙළෙඳ බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන ආයතනය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය යි. පරිසර අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය එකී නොකී ආයතන විශාල සංඛ්‍යාවකින් ඛනිජ ගවේෂණ සහ කැණීම් බලපත්‍ර ලබාගැනීමේ දී අනුමැතිය ලබාගත යුතු බව සැබෑ ය. එහෙත් අවසානයේ එකී බලපත්‍ර නිකුත් කරනුයේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසිනි. එමෙන්ම භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට අයත් ඛනිජ සම්පත් කොටස් දෙකකි. ගොඩනැඟිලි ඛනිජ සහ කාර්මික ඛනිජ ය. මැටි, කළු ගල් සහ වැලි ගොඩනැඟිලි ඛනිජ යටතට අයත් වන අතර සෙසු ඛනිජ සම්පත් කාර්මික ඛනිජ යටතට අයත් වේ. ඛනිජ දෙවර්ගය සඳහා ගෙවිය යුතු රාජ්‍ය භාගය ද වෙනස් ය. ගොඩනැඟිලි ඛනිජවලට 4%කි. වාණිජ ඛනිජ සඳහා 9%කි. එහෙත් මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදිය හැකි, රටට මහඟු සේවයක් කළ හැකි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පසුගිය කාලය පුරාවට යුතුකම හරි හැටි ඉටු කළ බවක් නොපෙනේ. එමෙන්ම මෙරට ඛනිජ සම්පත් කළමනාකරණය, පරිහරණය අතිශය දුර්වල තැනකට වැටී ඇති බව ද සැබෑය.
මුදලට යට වී සිටි ඇතැම් නිලධාරීන් ඛනිජ ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීම ජාවාරමක් කරගෙන සිටි බව ද වාර්තා වේ. නීතිය නැවීමේ න්‍යාය තිතටම ක්‍රියාත්මක කර ඇත්තේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සිටි ඇතැම් නිලධාරීන් බව බලපත්‍ර ඉල්ලුම්කරුවන් කියන කතාවකි. එම නිලධාරීන්ව සතුටු නොකරන ඉල්ලුම්කරුවන්ට බලපත්‍ර ලබාදීම මාස ගණන් ප්‍රමාද කරන බව ද වාර්තා විය. විශේෂයෙන්ම මෙරට ඛනිජ වැලි ගවේෂණය කරන විදේශීය හවුල් සමාගම් ගහන පදයට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් නැට්ට වනන කුක්කන් වී සිටි බව ද වාර්තා විය. ඇතැම් දේශීය ආයතන, පුද්ගලයන් ඛනිජ ගවේෂණයට බලපත්‍ර ලබාගෙන විදේශීය සමාගම්වලට විකිණීම ද ජයටම සිදුකෙරිණි. මෙරට ස්වාභාවික සම්පත් සංරක්‍ෂණය කරන බොහෝමයක් ආයතනවල කාලයක සිට ලොකු පුටු රත් කරනු ලැබුවේ ද මේ මහ පොළොවට, ජාතියට, ආගමට අබමල් රේණුවක තරමේ ළෙන්ගතුකමක් නැති කාලකණ්ණි බලධාරීන් සහ නිලධාරීන් ය. ඔවුන් කටයුතු කරනු ලැබුවේ මෙරට සම්පත් සංරක්‍ෂණය කිරීමට හෝ එම සම්පත් කැණීම් තුළින් රටේ ආර්ථිකයට වාසියක් අත්කර දීමට නොවේ. ඔවුන්ගේ මඩිය තර කරගැනීම සඳහා පමණි. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියෙක් ඒ ගැන හරි අපූරුවට අපට විස්තර කළේ ය. නම, තනතුර හෙළිදරව් කිරීමෙන් වැළකී ඔහු කියන කතාව පමණක් අපි මෙසේ සටහන් තබන්නෙමු.
“භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයෙන් ප්‍රධාන බලපත්‍ර පහක් නිකුත් කරනවා. ඉල්ලුම්කරුවන් විසින් අවශ්‍ය ලියකියැවිලි නිවැරැදිව ඉදිරිපත් කරනවා නම් සතියෙන් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන්. බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ඉඩමේ ඔප්පුව, ප්ලෑන් එක, පුනරුත්ථාපන සැලැස්ම, ආර්ථික ජීව වාර්තාව, ග්‍රාමසේවා, ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිර්දේශයන් නිවැරැදිව ලැබුණු පසු පැයක් ඇතුළත පරීක්‍ෂා කර අවසාන කරන්න පුළුවන්. පුංචි හෝ ප්‍රමාදයක් වුණොත් ඒ කැණීම් ඉංජිනේරුවෙක් විසින් අදාළ ඉඩමේ පුනරුත්ථාපන සැලැස්ම පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ගත වෙන කාලය විතරයි. බලපත්‍ර ප්‍රමාද කරන්න වෙන කිසිම හේතුවක් නෑ. වැලි ප්‍රවාහන බලපත්‍රයක් නම් දවසෙන් නිකුත් කරන්න පුළුවන්. එහෙම ලබාදීපු අවස්ථා තියෙනවා. බලපත්‍ර ලබාදීම ප්‍රමාද කරන්නෙ වෙන වෙන පරමාර්ථ යටි හිතේ තියාගෙන. අදාළ නිලධාරීන් සතුටු වුණොත් කඩිනමින් බලපත්‍ර නිකුත් වෙනවා. නැති නම් මාස ගණන් ප්‍රමාද කරනවා.
ගවේෂණය, කැණීම් විතරක් නෙමෙයි, මේ රටත් එපා වෙන තරමට බලපත්‍ර ලබාදීම ප්‍රමාද කරනවා. ඒ වගේම ගවේෂණ බලපත්‍රයක වලංගු කාලය වසර දෙකයි. ගවේෂණ කටයුතු අවසාන කරගන්න බැරි වුණොත් භූ විද්‍යා කාර්යාංශයේ අදාළ නිලධාරීන්ට ප්‍රමාදයට හේතු දක්වා කාලය දික් කරගන්න ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ විදිහට වසර දෙකෙන් දෙකට ගවේෂණ බලපත්‍රයේ වලංගු කාලය දිගු කරගන්න බොහෝ ගවේෂණ ආයතන තියෙනවා. මුදලට යටවෙච්ච දූෂිත නිලධාරීන් ඒ කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා. ඒ දූෂිත නිලධාරීන්ගේ සහායෙන් දේශීය, විදේශීය හවුල් සමාගම් ඛනිජ වැලි ගවේෂණයට බලපත්‍ර ලබාගෙන අවුරුදු දහය, පහළොව අදිනවා. යාල, විල්පත්තුව වන උද්‍යාන හැර අපේ රටේ සෑම ඛනිජ නිධියක් සහිත ඉඩමකටම දේශීය, විදේශීය හවුල් සමාගම් ගවේෂණ බලපත්‍ර ලබාගෙන තියෙනවා. ඒත් කරන ගවේෂණයක් නෑ. ඒ විදේශීය සමාගම්වලට අවශ්‍ය මෙරට ඛනිජ කැණීම් කර ලෝක වෙළෙඳපොළට යවන එක නතර කිරීම විතරයි. කැණීම් කරන කතාවක්වත් නෑ…”
“ඛනිජ ගවේෂණයට බලපත්‍රයක් නිකුත් කරන්නෙ අවුරුදු දෙකකට. ඒ කාලය තුළ අවස්ථා හතරකදී කරගෙන යන ගවේෂණය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන්න ඕනෑ. මේ වෙනකොට ගවේෂණ බලපත්‍ර ලබාගෙන සිටින දේශීය, විදේශීය හවුල් සමාගම් බොහෝමයක් මාස හයෙන්, හයට ලබාදෙන වාර්තා සම්පූර්ණ බොරු. ඒත් අදාළ නිලධාරීන් බලන්නෙ පිටකවරය විතරයි. එහෙම වෙනකොට කොහොමද මේ රටේ ඛනිජ ගවේෂණය කෙරෙන්නෙ.
ගවේෂණයක් නැතිව කැණීම් කරන්න බෑ. එක දේශීය ආයතනයක් ඉල්මනයිට් නිෂ්පාදනය කරන්න කර්මාන්තශාලාවක් පටන්ගෙන බලාගෙන ඉන්නවා. ඉල්මනයිට් පිටරට යවන්න අවශ්‍ය වෙළෙඳ බලපත්‍රය නිකුත් නොකර කල් මරනවා. පහුගිය කාලයේ එක නිලධාරියෙක් එයාගේ මතයට එකඟ නොවෙන කිසිදු ඉල්ලුම්කරුවෙක්ට බලපත්‍ර නිකුත් කළේ නෑ. දීලා තියෙන බලපත්‍රත් අවලංගු කරලා එයාගේ හිතවතුන්ට දුන්නා. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය එයාගේ බූදලයක් බවට පත් කරගෙන තිබුණා. ආයතනය තුළ ජාතිවාදය වැපිරුවා. දැන් ඒ පිළල, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයෙන් අතුගෑවෙලා ගිහින්. වැඩ බැලීම සඳහා අලුත් සභාපතිවරයෙක් පත් කරලා තියෙනවා. මේ වෙනකොට අධ්‍යක්‍ෂවරුත් නීතියට වැඩ කරගෙන යනවා. වර්තමාන සභාපතිවරයාගේ ප්‍රධාන කාර්යභාරය වෙන්න ඕනේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය වංචාවෙන්, දූෂණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීම. මෙරට ඛනිජ සම්පත් කැණීම්කොට රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාගන්න නම් ඛනිජ ගවේෂණය සම්බන්ධයෙන් තියෙන නීතිරීති ලිහිල් කරන්න ඕනෑ. ඛනිජ ගවේෂණයට උනන්දු ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනෑ. ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය උපරිම පහසුකම් ලබාදෙන්න ඕනෑ.
ගවේෂණයට, කැණීම් කටයුතුවලට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ ආනයනයට තීරුබදු සහන ලබාදෙන්න ඕනෑ. ගවේෂකයන්ට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. ගවේෂණ ක්‍රියාවලිය වසරකට සීමා කරන්න ඕනෑ. ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත බිහි කිරීමට පහසුකම් සම්පූර්ණ කරන්න ඕනෑ. ඒ වගේම විදේශීය සමාගම්වලට මෙරට ඛනිජ ගවේෂණය සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනෑ. විදේශීය සමාගම් මෙරට ඛනිජ ගවේෂණය කරන්න උනන්දු වෙන්නෙ කැණීම් කරන්න නොවේ. වෙනත් කෙනෙක්ට ගවේෂණය කිරීමට තිබෙන අවකාශය ඇහිරීමට. විදේශීය සමාගමක් මෙරට ඛනිජ කැණීම් කරන්න පටන් ගත්තත් රටට මහ විශාල සෙතක් වෙන්නෙ නෑ. අගය එකතු කිරීමේ කර්මාන්ත බිහි කිරීමට විදේශීය ආයෝජකයෝ කැමැතිත් නෑ. ඔවුන්ට ඇවැසි ගෙඩිය පිටින් අපේ ඛනිජ පිටරට පටවන්න. අමුද්‍රව්‍යයක් විදිහට අපනයනය කරනකොට රටට ලැබෙන ආදායම අඩු වෙනවා…” භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අකටයුතුකම් සහ යහපත් පාරිපාලනයක් තුළ එම ආයතනයේ දියුණුව, රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔහු සරලව පැහැදිලි කළේය. එහෙත් පෙළගැසෙන කතාවට මේ ටිකත් එකතු කර තැබීමට අපි අදහස් කළෙමු.
රන්, රීදි, මුතු, මැණික් පමණක් නොවේ, තඹ, යකඩ, තෙල්, ගෑස් හැම සම්පතක්ම මේ මහ පොළොව යට නිධන්ව තිබේ. සැබැවින්ම අපේ රට ඛනිජ උල්පතකි. බැලු, බැලූ අත ඛනිජ නිධි ය. කැණීම් කර ඉවර කළ නොහැකි තරම් ය. මෙරට පිහිටීම අනුව රට වටකර මුහුදු වෙරළට ඛනිජ වැලි එකතු වේ. එහෙත් ඛනිජ වැලි කැණීම් කරනුයේ පුල්මුඩේ පමණි. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වගේ සිය ගුණයකින් විශාල ඛනිජ වැලි නිධියක් කොළඹ සිට දකුණු දිසාවට තිබෙන බව මහාචාර්ය අතුල සේනාරත්න අප සමග පවසා තිබේ. එහෙත් මෙරට ඛනිජ වැලි නිෂ්පාදනය තවම 10%ට අඩු ය. මෙරටින් හඳුනාගත් වටිනාකමින් වැඩි ඉල්මනයිට් නිධි පිහිටා ඇත්තේ උතුර, නැඟෙනහිර යාපනයේ සිට තිරුක්කෝවිල් දක්වා කලාපය තුළ ය. තලෙයිමන්නාරම ප්‍රදේශයේ මෙන්ම කොළඹ ප්‍රදේශය දක්වා මීගමුව වෙරළ තීරය දිගට ද වැලි නිධිවල ඉල්මනයිට් ඛනිජය තිබේ. කොළඹ සිට දකුණු දිසාවට මුහුදු තීරයේ පමණක් නොව උඩවලව, පානම, කුමණ ප්‍රදේශවල වැලි කඳු අතරෙත් ඉල්මනයිට් ඛනිජය අඩු – වැඩි වශයෙන් තැන්පත්ව තිබේ. ඉල්මනයිට් පමණක් නොව, මෙරට වැලි නිධිවල තවත් ඛනිජ සම්පත් බොහෝ ය. මෙරට ඉල්මනයිට් ඛනිජයට ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව ද සැබෑ ය. ඉල්මනයිට් යනු, ටයිටේනියම් ඔක්සයිඩ් සහ අයන් ඔක්සයිඩ්වලින් සමන්විත ඛනිජයකි. මේ ඛනිජය බහුලව භාවිතයට ගනුයේ වර්ණක නිෂ්පාදනය සඳහා ය. මෙරට ඉල්මනයිට්වලින් අපේ රටට ආනයනය කරනු ලබන වර්ණක පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි බවත්, මෙරට වර්ණක නිෂ්පාදනය කරගැනීමෙන් පිටරටවලට ඇදී යන විශාල විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකි බව විද්වත් මතයකි.
ලෝකයේ දියුණු බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ඒ රටවල ඇති ඛනිජ සම්පත් ය. ඔස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව සංවර්ධනය වී ඇත්තේ එම රටවල ඛනිජ සම්පත්වලිනි. ඇමරිකාවේ ජාතික ආර්ථිකයට එරට ඛනිජ සම්පත්වලින් ලැබෙන දායකත්වය 18%ට වැඩිය. චිලී රටේ ජාතික ආර්ථිකයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට තිස්අටකි. බොට්ස්වානා රාජ්‍යයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට හැටකි. චීන රාජ්‍යයේ ඛනිජ සම්පත්වල දායකත්වය 40%කි. ඉන්දුනීසියාව, මැලේසියාව ආදී බොහෝ රටවල් ඛනිජ සම්පත රටට උපරිම සම්පතක් බවට පරිවර්තනය කරගෙන තිබේ. අපේ රට පුංචි දූපතක් වුවද ඛනිජ සම්පත් තියෙන ප්‍රමාණය අතිශය වැඩි ය. මෙරට ඛනිජ සම්පත් ගුණාත්මක තත්ත්වයෙන් අතිශය ඉහළ ය. එහෙයින් ලෝක වෙළෙඳපොළේ මෙරට ඛනිජවලට ඉහළ ඉල්ලුමක් පවතින බව ද වාර්තා වේ. එහෙත් ඛනිජ සම්පත්වල වටිනාකම, ඛනිජ සම්පත් සොයාගැනීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන පැවැති කිසිම රජයක් සැලකිලිමත් නොවිණි. සොබාදහම විසින් අපට උරුම කර ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අදට ද ජාතික ප්‍රතිපත්තියක් නැති බව විද්වත් මතයකි. මාලිමා රජය හෝ ඒ කාලකණ්ණි අඳුරු යුගය අවසාන කොට අපට උරුම සම්පත්වලින් රට ආලෝකවත් කළ යුතුය. දැන් අප බලා සිටිනුයේ එදවස උදා වන තෙක් ය.
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ වර්ථමාන සභාපති සමන් ජයසිංහ මහතාගෙන් කරුණු විමසීම සඳහා 0112886268 දුරකථන අංකය ඔස්සේ කිහිපවිටක් අපි ඇමැතුම් ලබා ගත්තෙමු. එහෙත් ඔහුව සම්බන්ධ කරගැනීමට අසීරු විය.
තරංග රත්නවීර