ඛේදවාචකයක රමණීයත්වය සී+!

631

 ‘…කොහොම නමුත් එක රාත්‍රියක අපේ නිවසේ අධිපති මහත්මිය වූ මේරි රේයිස්ගේ පරණ පෙම්වතෙකු පැමිණ දොරට පයින් ගසා ඈ සමග දිවි ගෙවූ ඔවුන්ගේ පස් වියැති දරුවා රැගෙන ගිය විට නම් ෆෝක්නර්ගේ මුලාව විශ්වාස කිරීම පිළිබඳව මම පසුතැවුණෙමි. ඇගේ නව පෙම්වතා වූ පොලිස් නිලධාරියා කොට කලිසම පිටින් නිදන කාමරයෙන් එළියට ආවේ නිවසේ ගෞරවයත්, බඩු බාහිරාදියත් ඔහුගේ රෙගුලාසි රිවෝල්වරයෙන් ආරක්ෂා කිරීමටය. අනෙක් මිනිසා ඔහු පිළිගත්තේ කාලතුවක්කු උණ්ඩයක් මෙන් නැටුම්හල තුළ දෝංකාර දුන් වෙඩිල්ලක පිපිරුමක් සමගිනි. (කියවනු වස් පවතිමි – ගාර්ෂියා මාර්කේස් – පි 454)

 මහේෂි වීරකෝන් විසින් සිංහලට නගනු ලැබ ඇති,

 ගාර්ෂියා මාර්කේස්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වූ ‘කියවනු වස් පවතිමි’ කෘතියේ තරමක් දිගු ඡේදයක් උපුටා ගැණුනේ, කරුණු කිහිපයක් අවධාරණය කරනු පිණිසය. එනම් සැබෑ සිදුවීමක් මාර්කේස් රූපනය කොට දක්වන ආකාරයෙහි විශිෂ්ටත්වය ගැන කියන්නට ය. නාටකීය උත්ප්‍රාසයකින් යුතුව සිදුවීම් වාග් චිත්‍රයට නගන හෙතෙම වාර්තාරූපී ගුණ, ජයගන්නේ සිද්ධිවාචක මැනවින් ප්‍රතිමුඛ කිරීමෙනි. ප්‍රතිභාන්විත ලේඛකයකුගේ සංජානනයට මිස හුදු වාර්තාකරුවකුට එය කළ නොහැක. (මෙහි සඳහන් ෆෝක්නර් යනු සුප්‍රකට සාහිත්‍යධරයා ය.)

 සී+ නමින් සිය දෙවන නවකතාව එළි දක්වන සුරත් ද මැල් ඊට සමීප වන කුසලතාවක් ඇතිව තම ප්‍රබන්ධයේ ඇතැම් සිද්ධි සහ අවස්ථා රූපණයෙහි යෙදෙන බැව් කීම ඔහුට අනර්ථයක් විය නොහැකිය. සුරත්ගේ නවකතාවේ දක්නට ලැබෙන තරුණ කාන්තා චරිත ද සිය ජීවිත අරමුණු හඹා යමින් ස්වකීය ජීවන හා මනෝ වෘත්තීන් පළකරන්නේද එබඳු නාටකීය උත්ප්‍රාසයකිනි; මන බඳනා චර්යාවකිනි.

 ග්‍රන්ථ නාමයට ද පාදක වී ඇති සේම කතාව කියන්නී මානසී ය. සී+ යනුවෙන් සාපේක්ෂ වන්නී ඇය ය. ඇය තමාගේ කතාවට වඩා මෙහි කේන්ද්‍රීය පුවත වන ‘දිල්’ හෙවත් දිල්හානිගේ කතාවට ප්‍රමුඛත්වය දෙයි. සරසවි සිසුවියන් වන ඔවුන්ගේ ජීවිත, ‘හෙවනැල්ල’ නවකතාවේ සිරි ගුනසිංහයන් මැවූ චරිතවලට ඉඳුරාම වෙනස්ය. ඔවුන් අන්තරාවර්ති නොවනවා ම නොවේ. එහෙත් බාහිරාවර්තී වීම පැවැත්ම විසින් ඉල්ලා සිටිනු ලබන්නක් වෙයි. දිල් හා මානසී යෙහෙළියන්ට පසුව එක්වන ඉහළ පන්තියේ නාගරික තරුණිය මුතූ ද නවකතාවේ කේන්ද්‍රීය චරිතයකි.

 ඔවුන්ගේ පෙම් පුවත් ඇතද ඒවා පවතින්නේ කේන්ද්‍රීය පුවතින් බැහැරවය. සරසවි දේශපාලනය, ශිෂ්‍ය අරගලය සහ නිලවරණ මෙන් ම, මානව – මානවිකාවන්ගේ පරත්වාරෝපිත ජීවිත ද මෙහි නිරූපිතය. එහෙත් කරුණාසේන ජයලත්ගේ නවකතාවල මෙන් ප්‍රේමවන්ත භාව ලෝකයක් හා එය හසුරුවන දේශපාලන තලයක් ඉඳුරාම සී+ හි හඳුනාගත නොහැකිය. සී+ නවකතාවේ කේන්ද්‍රීය පුවත වන්නේ ගමේ සිට කොළඹ සරසවියට පැමිණි දිල්ගේ රියැලිටි තාරකා සිහිනයයි. තාරකා මණ්ඩල අතර අග්‍ර තාරකාව වී යසිසුරු කඩාහැලෙන ජීවිතයක් දිනා ගැන්ම ඇගේ අපේක්ෂාවයි. පරිභූංජන වාදී වණික් සමාජයෙහි, ලේ, සැරව සහ ශුක්‍ර තැවරුණු ප්‍රාග්ධනයෙහි ව්‍යාජයත්, කෘතීම හා නිස්සාරභාවයත් විසින් සියල්ල හැසිර වේ.

 ඉංග්‍රීසි දන්නා ඉහළ මධ්‍යම පාංතික මානසී සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම උගන්නා ඉහළ පංතියේ මුතූ වෙත දිල් සමීප වන්නී, සිය ගායන චාතූර්යය ම පහුරක් කොට  ගනිමිනි. විජිගිෂාවෙන් හා උන්නතිකාමයෙන් උන්මාදයට පත්වූවා සේ අවසන හැසිරෙන්නීය.

 ”She is actually bigger than life˜ යනුවෙන්, අවසන් රියැලිටි තරඟ වේදිකාවට නගින සිය මිතුරිය දෙස බලා මුතූ කියන කියුමෙහි ඇත්තේ, දිල් දිනා ගත් සුවිසල් ජීවිතය මතු නොවේ; ‘ප්‍රබන්ධය ජීවිතයට වඩා සත්‍යතරය’ යන කියමන ද එහි ඇත්තේය. සිද්ධිවාචක, ඖචිත්‍ය ගුණෝපේතව සම්මුඛ කොට, ආරම්භක ඡේදයේ දී ගාර්ෂියා මාර්කේස් පෙන්වන්නේ ද එයයි.

 ‘රෝසමල් අවැසි නම් වගා කළ යුතු යැයි කතාවක් තියෙනවා. මුතූ නම් ඉපදිලා තියෙන්නෙම රෝසමල් යහනාවක. රෝස මල් වැසි වහිනකම් බලා නොඉඳ දිල් රෝස වගාවක් පටන් ගෙන. මම තාම ‘රෝස මලේ නටුවේ කටූ‘ කිය කිය තැවෙනවා’

 මානසී කියන අයුරින් ම සියලු ප්‍රවණතා එකසේ පිළිගන්නට සැදී පැහැදී සිටින්නියක නොව කිසියම් පුරුෂාර්ථ ගවේෂණයක යෙදී සිටින්නියකි. විරෝධාකල්ප මතධාරිනියකි. ‘දිල්ගේ අම්මා ගුරුවරියක්. තාත්තා ගොවියෙක්. අපේ අම්මා හිතන්නේ තාත්තා ළමයෙක් කියලා. තාත්තා හිතන්නේ අම්මා කන්න තුනක් වගා කරන්න පුළුවන් කුඹුරක් කියලා” ඒ දිල් සිය දෙමාපියන් ගැන සපයන විවරණයයි.

 ඇගේ ජීවිත පරිධිය පුළුල් වීම පිළිබඳ ඇගේ කියවීම මෙසේය: “ටවුමෙ ඉස්කෝලෙට ආවයින් පස්සෙ තමයි දන්නෙ රට මෙච්චර ලොකුයි කියලා. දාගන්න බැරි තරම් කොල්ලො ගොඩක් ලෝකෙ ඉන්නවා කියලා. ඇඳ ගන්න බැරි තරම් ඇඳුම් සාප්පුවල තියෙනවා කියලා. ගාල්ල නෙමෙයි කෑල්ල කොළඹ කියලා.”

 ඒ අතර, මානසී සිය මිතුරිය හා තමා එකිනෙකා හා සසඳන්නී මෙලෙසිනි; “මම උසයි ඒත් එයා මිටි නෑ. මම සුදු නැතත් තළෙළුයි. එයා කලුයි. මට ඉංග්‍රීසි පුළුවන්. එයාට බෑ. මට කවි පුළුවන්. එයාට බෑ. ඇගේ පියා ගොවියෙක්. ඒත් මඩ සෝදා ගත් පසු රජකමට සුදුසු නෑ. මගේ පියා හමුදාවේ  බි්‍රගේඩියර්.”

 එහෙත් රියැලිටි ගායනා තරගයෙන් දිල් හෙවත් සත්සරණි ලබා ගන්නේ විශාල ජනප්‍රියත්වයකි. ඉන් අනතුරුව මානසීගේ සැසඳීම් මෙසේ වේ: ‘කවීත්වය මිනිස්සු අගයනවා.

 ගායිකාවොන්ට ආදරය කරනවා. ගායිකාවන්ගේ පිංතූර බිත්තිවල ඇලවෙනවා. කවි පිටුවලින් බත් එතෙනවා.’

 සිය පළමු නවකතාව වූ ‘තී හා තා’ කෘතියේ කැපී පෙනෙන චරිතයක් වූයේ සුරත් ගේ අපූරූ-නිර්මාණාත්මක භාෂා ව්‍යවහාරයයි. එකී ප්‍රතිභාව තවදුරටත් රැක ගනිමින් වඩාත් උත්ප්‍රාසාත්මක නැඹුරුවක් වෙත ඔහු මෙහිදී යොමු වෙයි.

 සිය සංවාද නාට්‍යවල වූ උත්ප්‍රාසාත්මක ගුණය තම නවකතාවලට ද කැඳවාගත් සුගතපාල ද සිල්වා නම් ප්‍රවීණයා අපට සිහි වෙයි. මේ ඔහුගේ භාවිතයේ ම දිගුවකැයි කියනවාට වඩා නිවැරැදි වන්නේ එහි වැඩි දියුණු කළ භාෂා භාවිතයක් බවයි. සුරත් විවිධ තන්හී යොදා ගන්නා වාගුක්ති සහ වාගාලාප පිළිබඳව විමසා බලන්න.

 “කිරි එරෙන්නත් ආදරය දිනන්නත් අඬන්න ඕන. මට කිරි එරියන් කියා නිර්ම ඇඬුවා. කිරි නැතත් මා ඔහු කැපූ වළේ වැටුණා” (පි. 39)

 “එයාලා දරුකමට හදා ගත්තේ ලෙඩ්ඩු” (පි. 42)

 “ජපන්නු පර්ල් වරායට අහසින් බෝම්බ දැම්මා. ලංකාවට ටී.වී. දැම්මා. දෙකම එකම ආනිසංසේ” (පි. 88)

 සුරත් නිපදවා ගන්නා ඉහත යෙදුම්වල රම්‍යතාව පවතින්නේ ඉන් මතු කෙරෙන විවිධ ඉඟිලෑම් ද ඇසුරේය. ඒ හැරැණු විට භාෂාවේ විවිධ රිද්ම සංයෝජන මගින් ද හෙතෙම කාව්‍යමය හැඩරුවක් සිය ප්‍රබන්ධයට ලබා දෙයි.

 “ඇය ගෙදරදී යූ.එන්.පී. කැම්පස්එකේදී

 රැඩිකල්. සමාජයට රියැලිටි. ඇගේ සිතුවිලි හුරුබුහුටි. වැඩ කෛරාටික. පෙනුම හුරතල්”

 (පි. 149)

 ලං ලංව යෙදෙන ක්‍රියාකාරක පද සබඳතා ඇති මේ වැකි රටා, සංස්කෘත ගද්‍ය රීතීන් වන මුක්තක හා චූර්ණකාදී රීතීන්ම බව අපට පෙනෙයි. ගුරුළුගෝමීන් වහරට ගත්තේද එයයි. (හමන සුළඟ – කිමිතිත්ත අකුරු – විහිදුනා පලු – ගජනා බමර – නටනා මොනර –

 (සුළු කළිඟුදාවත).

 කථිකාව වන මානසී බොහෝ විට යොදා ගන්නා ආත්ම කථන විඥාන ධාරා මගින් ඉදිරිපත් වන අතර, ඈ මුවින් දෙසන්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. නවකතාවක භාව ලෝකය ගොඩ නැගෙද්දී ඇතැම්විට මේ ප්‍රතිරෝධතා මගින් වින්දනයට බාධා ගෙනෙන බැව් ඇතැමෙකුට පෙනී යා හැකිය. එහෙත් වංචක ධරී වල ක්‍රියාකාරීත්වය එසේය. කෘතියේ අඛණ්ඩ අවධානය රඳවා ගැනීමට හේතුවන සිදුවීම් පෙළගැස්වීමේදී නූතන භාරතීය ලේඛකයකු වන විවේක් ස්වරූප් වැන්නකුගේ රචනා රීතීන් සුරත් ද භාවිතයට ගනී. එහෙත් දේශපාලන අර්ථ ක්‍රම තුළනය කරන්නට හෙතෙම ඉදිරිපත් නොවේ. නවකතාකරුවෙක් එබන්දක් කළ යුතුද?

 සී+ නිම වන්නේ ඛේදවාචකයකිනි. එහි වගඋත්තරකරුවන් ලෙස, ටී.වී. නාලිකා මෙන්ම සමාජජාලා ද ප්‍රකට වන නමුත් ඒවා හසුරුවන දේශපාලන අර්ථ ක්‍රමය අනුක්තව තැබීම ඇතැමෙකුගේ විස්සෝපයට හේතු විය හැකිය. එමෙන්ම මෙම ඛේදවාචකයක හුදු පුද්ගල ඛේදවාචකයක් ලෙස දැකීමත්, මානසී සහ මුතූ ඉන් ගැලවී පලා යෑම විසඳුමක් නොවන වග ද කෙනෙකු කියනු ඇත. එහෙත් ‘ප්‍රබන්ධය ජීවිතයට වඩා සත්‍යතරය’ යන්න වෙනුවෙන් සුරත් ද මැල් පෙනී සිටින බව ද අමතක කළ නොහැකිය.

 ● රත්න ශ්‍රී විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment