ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

619

අදට යෙදෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ හැත්තෑ අටවැනි ජන්ම දිනය සැමරීම නිමිත්තෙනි.

 හික්කඩුවේ ශ‍්‍රී සුමංගල මහා යතිවරයාණන් ජීවමානව වැඩිසිටින ගංගාරාම නම්වූ පුදබිමෙහි වැඩවසනා හික්කඩුවේ ශ‍්‍රී සුමංගල මහා යතිවරයාණන් වහන්සේගේ සඟ පරපුරේ සිව්වැනි මහා නායකයාණන් වහන්සේ පිළිබ`ද උන්වහන්සේගේ හැත්තෑ අටවන ජන්ම දිනයදා උන්වහන්සේට නිදුක් නිරෝගී දිගු ආයුෂ පතමින් කෙටි සටහනක් තැබීමට අවස්ථාව ලැබීම, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල මහා යතිවරයාණන්ගේ ගිහි සිසු පරපුරෙන් බිහිවූ මම ලද මහත් වාසනාවකි. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ යනු හික්කඩුවේ ශ‍්‍රී සුමංගලාභිධාන මහ නා හිමියන්ගේ ගංගාරාම සඟ පරපුරේ වර්තමාන නායක හිමිපාණෝ මෙන්ම, හික්කඩුවේ ශ‍්‍රී සුමංගලාභිධාන මහ නා හිමියන්ගේ අපරිමිත පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයෙන් බිහිවූ විද්‍යාදය සරසවියේ කීර්තිමත් ආදි විද්‍යාර්ථ හිමිනමකි. මම වූ කලී හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන්ගේ අපිරිමිත පරිශ‍්‍රමයෙන් ප‍්‍රතිඵලයක් ලෙසට බිහිවූ ආනන්ද විද්‍යාලයෙනුත්, විෙද්‍යාදය සරසවියෙනුතේ අකුරු කර එම සරසවියේ උපකුලපතිවරයා ලෙස කලක් කටයුතු කළෙමි. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නා හිමියන්ගේ එක් පරපුරක් නියෝජනය කරනු ලබන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නායකත්ව ආකෘතිය පිළිබ`ද විමර්ශනයක යෙදීමට සුමංගල නා හිමියන්ගේ තවත් පරපුරක් නියෝජනය කරනා මට උන්වහන්සේගෙන් අවසර ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

 ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ජීවිත චරිතාපදානය අධ්‍යයනය කිරීමේදී අවබෝධ කරගත හැකි ප‍්‍රධාන දර්ශනය වනුයේ පොදු ජනයාගේ සුවහසක් ජීවන ගැටලූවලට හර සුන් උපදෙස් වෙනුවට භෞතිකවූත් ආධ්‍යාත්මික වූත් පිහිටක් පන්සලෙන් ලබාදීමය.

 බුද්ධ පුත‍්‍රයකු ලෙසට බුදුන්වහන්සේගේ මග ගනිමින් භෞතික ගැටලූ මැනවින් අවබෝධ කරගත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ මිනිසාගේ දෛනික ජීවන ගැටලූවලට පන්සලෙන් පිහිටක් ලබාදෙන්නට කි‍්‍රයාකරන සංඝ පීතෘවරයෙකි. කුසගින්නෙන් පෙළෙනා මිනිසාට නිවන් මඟට අවැසි ගැඹුරු දහම් කරුණු දේශනා නොකළ පොඩි හාමුදුරුවෝ කුසට අහරක් ලබාදී  කුසගිනි නිවමින් සරල දහම් කරුණකින් මිනිසාගේ සිත සුවපත් කළ සැබෑ බෞද්ධ භික්‍ෂූන්වහන්සේ නමකි. නිවන් මඟ පසක් කරමින් උන්වහන්සේ යනෙනා මේ ගමනේ ලොකු පොඩි භේදයකින් තොරව සැමට එකා මෙන් සැලකීමේ ආදර්ශය ලබාදෙනු ලබනුයේ භෞතිකවාදී ජීවිත පද්ධතියට මිනිසාගේ ඇති බැ`දීමේ ප‍්‍රබලත්වයත් ඉන් මිදීමට ගිහියෙකුට ඇති අපහසුතාවත් දන්නා වර්තමාන ලෝකයේ සැබැවින්ම ජීවත්වන භික්‍ෂූන් වහන්සේ නමක් ලෙසටය.

 ගංගාරාම විහාරස්ථානයේ දෛනිකව පැවැත්වෙන ආගමික වතාවත් ස`දහා නායනත්වය දෙමින් අනුගාමිකයන්ගේ අධ්‍යාත්මික ගුණ දහම් වර්ධනය කිරීමේ ව්‍යායාමයක යෙදෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සැබැවින්ම මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතයට අර්ථදායී සුවයක් භෞතික ජීවිතයට කි‍්‍රයාකාරී සුවයත් ලබාදෙමින් ආධ්‍යාත්මික වූත් භෞතික වූත් මිනිස් සිත්සතන් සමබර කිරීමේ දර්ශනයකින් යුතු නායත්වයකට හිමිකම් කියන්නේය. එය ගංගාරාම විහාරස්ථානයේ නායකත්ව දැක්ම වේ. හුදෙක් ඒ ඒ අවස්ථාවේ පැන නැෙඟන ගැටලූ හමුවේ සිය අනුගාමිකයන් කෙටිකාලීන ඉලක්ක ස`දහා මෙහෙයවීමේ නායකත්වයට එදිරිවෙමින් දැක්මක් දර්ශනයක් ඇතිව භික්‍ෂූන්වහන්සේත් ගිහි උපාසක උපාසිකාවනුත් අර්ථයෙන් හා ධර්මයෙන් සිය ඉලක්ක කරා මෙහෙයවීමේ ¥රදර්ශනයක් නායකයකු තුළ පිහිටිය යුතුය යන නායකත්ව ගුණාංගය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානයෙන් ගම්‍යවන එක් කරුණක් ලෙසට පෙන්වා දිය හැකිය.

 කළමනාකරණ සාහිත්‍යයට අනුව හර වටිනාකම් යනු හුදෙක් මිනිසාගේ හෝ මිනිසා විසින් නිර්මිත සංවිධානයේ දැක්ම කරා ළඟවීමේදී අනුගමනය කළයුතු මූලික චර්යා ධර්ම පද්ධතිය වේ. බෞද්ධ භික්‍ෂුවකගේ හර වටිනාකම් මොනවාද? යන්න විමසීම වඩාත් වැදගත් වනුයේ විනය පිටකයෙන් දක්වා ඇති භික්‍ෂූන්ගේ විනය නීති-රීති භික්‍ෂු සමාජයේ උන්නතිය උදෙසා යොමුවන අවධියකදී ගිහි – පැවිදි අන්තර් සම්බන්ධතාවයේදී අද්විතීය භික්‍ෂු චරිතයක් හිමි යතිවරයකුට ළඟාවිය යුතු සමාජ ඉලක්ක ස`දහා ඇවැසි වටිනාකම් අධ්‍යයනය කිරීමෙන්ය. විනය පිටකයේ ඇති විනය කර්මවලට අනුරූපීව සමාජ ශෝධනයේ යෙදෙනා භික්‍ෂූන්වහන්සේ සමාජ පරිසරයේ අභිමතය අනුව අනාවරණය කරගත් සුවිශේෂී වටිනාකම් පද්ධතියකින් සිය භික්‍ෂු චරිතය සදාචාරාත්මක කරගනුයේ භික්‍ෂු චරිතයේ නායකත්ව ලකුණ සමාජ පද්ධතියේ ප‍්‍රතිස්ථාපනය කිරීමේ අරමුණෙනි.

 භික්‍ෂූන්වහන්සේ වෙනුවෙන් මහා කරුණාවෙන් විනය ඇතිකළ බුදුන්වහන්සේගේ දේශනයට අනුව යමින් දායක දායිකාවන්ගේ හිත සුව පිණිස ධර්ම ප‍්‍රචාරයත්, භෞතික ජීවිතයට අවැසි ගිහි කළමනාකරණ උපදේශයත් සපයන ගංගාරාමයේ භික්‍ෂූන් වහන්සේ සිය දායකයන් බලකිරීමෙන් තොරවත් පීඩාකාරීත්වයෙන් තොරවත් විහාරස්ථානයේ ආගමික වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීමේ චර්යා පද්ධතිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චර්යාවෙන් නිරූපිත හර වටිනාකමකි.

 සැමට සේවය කිරීම නම් වූ හර වටිනාකමට අනුව යමින් ජාති-ආගම් භේදයකින් තොරව, ලොකු – කුඩා භේදයකින් තොරව, කුල – මල භේදයකින් තොරව, වැදගත් මෙන්ම නොවැදගත් සෑම කාර්යකදීම මිනිසාගේ සංවේදීත්වය අනුව කි‍්‍රයාකිරීමට ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ප‍්‍රමුඛ භික්‍ෂූන්වහන්සේලා සැමට හැකියාව ලැබී ඇත.

 සැමට සේවය සැපයීම නම් වූ වටිනාකම මහත් ගැඹුරකින් යුතු චර්යා රටාවකි. එය සැබැවින්ම පරිණත සිතකට පමණක් සිදුකළ හැකි චර්යා රටාවකි. ලෝකයේ විෂම වූ පන්ති ක‍්‍රමය තුළ විසම අදහස් තුළින් පීඩිත ජනයා පීඩාවෙන් පීඩාවට පත්කරනු ලබන වත්මන් ලෝක සමාජ පද්ධතියේ, සැමට සමානව සේවය කිරීම අතිමහත් අභියෝගාත්මක කාර්යක් වනුයේ එකෙකු වෙනුවෙන් සිදුකරනු ලබන සේවය තවකෙකුගේ සිත් රිදවීමට හේතු කාරණා වන නිසාය. නිදහස් මනසකින් මිනිසුන් දෙස බලමින් සමාජ පන්තීන් අතර ඇති සමචර්යාවන් මෙන්ම විසමචර්යාවන් පිළිබ`ද මනා අවබෝධයක් ලබමින් සැමට සේවය සැපයීමට ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට හැකියාව ඇත්තේ භෞතිකවාදී අභිලාෂයන් තුළින් සිය ජීවිතය තෘප්තකිරීමට තරම් ලෝභී සිතක් උන්වහන්සේට නොමැති බැවිනි. උපකාරයට අනිවාර්ය ප‍්‍රති-උපකාරය පදනම් වර්තමාන සමාජ පද්ධතියේ උපකාරයට ස්වකැමැත්තෙන් ප‍්‍රති-උපකාර කිරීමට දායක දායිකාවන්ට ඇති නිදහස ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ තුන්වන හර වටිනාකම වේ. එය හුදෙක්ම විහාරස්ථානයකින් පමණක් දැකිය හැකි එමෙන්ම වටිනාකමකින් මැන දැක්විය නොහැකි චර්යා රටාවකි. සමාජ ශෝධනයේදීත් සමාජ සංවර්ධනයේදීත් දායක දායිකාවන්ට මෙන්ම හුදු මිනිසාට ගංගාරාම විහාරස්ථානයෙන් යම් කිසි උපකාරයක්වේද එය නොමිලයේ ලබාගැනීමේ විභවතාව මෙම හර වටිනාකමෙන් ගම්‍ය කරයි.

 පොඩි හාමුදුරුවන්ගේ නායකත්වයෙන් යුතු ගංගාරාම විහාරස්ථානයේ දැකිය හැකි වඩාත් වැදගත් චර්යා රටාව වනුයේ කිවයුතු දේ කියන, කියන දේ කරන විවෘත භාවයෙන් යුතු චර්යා පද්ධතිය වේ. පොඩි හාමුදුරුවන්ගේ ආභාසයෙන් ජීවය ලබා ඇති මෙකී චර්යා රටාව ගංගාරාම විහාරස්ථානයේ අනන්‍යතාව රැුකීමට මහත් රුකුලක් වී ඇත. ගංගාරාම විහාරස්ථානය යන නම ඇසූ පමණින් සෑම සිතක් තුළම ජනිතවන පෞරුෂත්වය රෝපණය කිරීමෙහිලා ‘‘කිවයුතු දේ කියන, කියන දේ කරන’’ විවෘතභාවයෙන් යුතු චර්යා ගුණ ඉවහල් වී ඇත.

 නායකත්වය පවතිනුයේ අනුගාමිකයන් මතය. අනුගාමිකයන්ගේ අනුගතවීම නායකත්වයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වීම උදෙසා බලපානු ලබන ප‍්‍රබල කරුණකි. නායකත්වය විසින් අනුගාමිකයන් ග‍්‍රහණයකර ගැනීමේ උපක‍්‍රම කිහිපයක් බටහිර සාහිත්‍යයට අනුව විස්තර කරනු ලැබේ. නායකත්වයේ බලය ලෙසට අර්ථ නිරූපණය කර ඇති එය ප‍්‍රතිදානයන් හෝ ත්‍යාග ලබාදීමෙන්, තොරතුරු ග‍්‍රහණය කර ගැනීමෙන්, විශේෂඥතාවයෙන් අනුගාමිකයන් අද්දවා ගැනීමත් ර`දවා ගැනීමත් සිදුකරනු ලබන ආකාරය විස්තර කරනු ලැබේ.

 ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සැබවින්ම බටහිර නායකත්ව බලවේගයන් ලෙස සලකනු ලබන සෑම බලවේගයක්ම සිය නායකත්වය ස`දහා සමාන්තරව භාවිත කළ හිමිනමකි. අභීත තීරණ ගැනීමේදී දඬුවම් ස්වරූපයේ බලයක් ආරෝපණය කළ උන්වහන්සේ සිය ඉලක්කය ඉටුකරගන්නා තුරු දැඩි නායකත්වයක් ඉදිරිපත් කළෝය. නමුත් ආධ්‍යාත්මික ගුණ වගාවේදී සිය උපාසක උපාසිකාවන් වෙනුවෙන් ලිහිල් ස්වරයක් භාවිත කරමින් සිය දැනුම හරහා දහම් කරුණු දේශනා කළ උන්වහන්සේ ගිහි ජීවිතයේ ගැටලූ විස`දීමට තොරතුරු ගබඩාවකින් තොරතුරු සම්පාදනය කර ක්‍ෂණික විස`දුම් සෙවීමට තරම් හැකියාවක් පෑසේක. සිය උත්තුංග දේහය තුළින් පෞරුෂත්ව ආකර්ෂණයක් ඇති උන්වහන්සේ ජනකාන්ත බලයෙන් යුතු නායකයකු වනුයේ මිනිසාට සංවේදී ආර්ථික, සමාජීය, දේශපාලන ආදී කරුණු මත අභීතව සිය අදහස් ප‍්‍රකාශ කිරීමේ මාහැඟි චරිතය තුළිනි.

 ගංගාරාම විහාරස්ථානයේ අනුගාමිකත්වය විමර්ශනයේදී රටේ ප‍්‍රධාන පුරුවැසියාගේ සිට මැති – ඇමැතිවරුන්ද, ධනවත් හා පොහොසත් ජනයාද, දැන උගත්කමින් වැඩි ජනයාද, මධ්‍යම පාන්තික ජනයාද, දුගී දුප්පත් ජනයාද, අඩු අධ්‍යාපනය ලද ජනයාද එකලෙස අනුගාමිකත්වය දරනු ලබන බව පෙනෙන කරුණකි.

 සමාජයේ ඉතා පුළුල් පරාසයක් තුළ විහිද ඇති අනුගාමිකයන් විශාල පිරිසක් හිමි ලංකාවේ ඇති විශාල විහාරස්ථානයක් ලෙසට ගංගාරාම විහාරස්ථානය හැ`දින්වීමට අනුගාමික පිරිස ප‍්‍රමාණවත් වේ. සිය සංඝ පරම්පරාවේ උන්නතිය උදෙසා ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් තුළ ඇත්තේ කිසිවකුටත් සිතාගත නොහැකි විශිෂ්ට දැක්මකි. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ අවධියේත්, විෙiා්දය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවධියේත්, විෙiා්දය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය 1965 දී ලබාගැනීමෙන් පසුවත් ගංගාරාමයේ වැඩවිසූ දෙවුන්දර සිරි වාචිස්සර නාහිමියන්ගේ අනුදැනුම මත විහාරස්ථානයේ පාලනය පොඩි හාමුදුරුවෝ විසින් සිදුකෙරිණි. ඒ අනුව යමින් ගංගාරාම විහාර පරපුරේ අනාගත නායකත්වය සංවර්ධනය කිරීමේ පරම චේතනාවෙන් සිය සිසු හිමිවරුන් වන ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේට මෙන්ම ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමීන් වහන්සේටද විදේශීය විශ්වවිද්‍යාලයන් තුළින් ආචාර්ය උපාධි ලබාගැනීමට අවැසි පහසුකම් සැපයූ පොඩි හාමුදුරුවෝ එම හිමිවරුන්ගෙන් ඉල්ලා සිටි එකම ඉල්ලීම වූයේ ආචාර්ය උපාධියෙන් පසු සිය පූර්ණ කැපවීම ගංගාරාම විහාරස්ථානයේ අනාගත උන්නතිය උදෙසා යොමුකරන ලෙසටය.

 ඒ අනුව යමින් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් මෙන්ම ආචාර්ය පල්ලේගම රතනසාර හිමියන් සිය ආචාර්යවරයාණන්ගේ ඉල්ලීමට කීකරු වෙමින් ගංගාරාම විහාරස්ථානයේ උන්නතිය උදෙසා දිවා ? වෙහෙසෙනු දැකගත හැකිය. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ගරු සභිකත්වය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට ලබාදුන් අවස්ථාවේ පවා එය පිළිගැනීමට පෙර සිය නායක හිමියන් වන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ අවසරය ලබාගැනීම, මේ ස`දහා කදිම උදාහරණය වේ. දැනුමෙන් හා කි‍්‍රයාවේදී ශක්තිමත් සඟ පරපුරක් තනමින් අනාගත ගංගාරාම විහාරයේ උන්නතිය පිළිබ`ද කල් යල් ඇති දැකීමට හැකි නායකත්වයක් හිමි ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සිය අනුගාමිකයන්ගේ අනාගත ජීවිත වර්තමානයේදී දැකීමට තරම් ශක්තිමත් නායකත්වයක් හිමි යතිවරයාණන් වහන්සේ නමකි.

 නායකත්වය ස`දහා ගුරුකර ගතහැකි සංකල්ප දෙකක් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානයෙන් අනාවරණය කර ගැනීමට හැකිවේ. ඉන් එක් කරුණක් වනුයේ නායකත්වය ස`දහා එක් බල ප‍්‍රභවයක් නොව බහුබල ප‍්‍රභවයක් පැවැතිය යුතුය යන්නය. දෙවන කරුණ වනුයේ පුළුල් පරාසයක් තුළ නායකයාගේ අරමුණ උදෙසා විශාල අනුගාමික පිරිසක් ඒකරාශීවීමය.

 ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සඵලදායී නායකයකු ලෙසට අනුගාමිකයන් සමගත් අනුගාමිකයන් නොවන පාර්ශ්වයන් අතරත් මනා අන්තර් පුද්ගල සම්බන්ධතා ජාලයක් ජනිතකර පවත්වාගෙන යනු ලබන චරිතයකි. සාර්ථක අන්තර් පුද්ගල සම්බන්ධතාවය තුළින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සිය අභිමතයන් ඉටුකර ගනු ලැබුවේ සාර්ථක නායකයකුගේ රුවගුණ පෙන්වමිනි. බෞද්ධ ආගමිකයන් මෙන්ම අන්‍ය ආගමිකයන් සමඟ සමීප ඇසුරක් පවත්වන පොඩි හාමුදුරුවෝ, නවම් මහා පෙරහැරට පැමිණෙන නැටුම් ශිල්පීන් සමගත් කතාබහ කිරීමට අමතක නොකරන අද්විතීය චරිතයකට හිමිකම් කියන සංඝ පීතෘවරයෙකි.

 ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානය අධ්‍යයනය කිරීමේදී අනාවරණය කළ නායකත්ව ලක්‍ෂණයන් අතර දැක්මක් පැවතීම, හර වටිනාකම් පැවතීම, නායකත්ව හුරුව හා පරම්පරාවෙන් උරුම නායකත්ව හැකියාව, අනුගාමිකත්වය, අන්තර් පුද්ගල සම්බන්ධතාව, පරිවර්තනය කිරීමේ හැකියාව මෙන්ම කළමනාකරණ හැකියාව වඩාත් වැදගත් ලක්‍ෂණයන් ලෙසට දැක්විය හැකිය. නායකත්ව සංකල්පයෙහි ගුණාංග ලෙසට අපරදිග සාහිත්‍යයේදී අනාවරණය කර නොමැති සන්දර්භයකදී ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නායකත්ව ආකෘතිය තුළින් එකී නායකත්ව මූලිකාංග සාර්ථක නායකත්වයක් ස`දහා අවැසි ආකාරය පෙන්වාදීමට හැකිය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය අප සැමගේ ප‍්‍රාර්ථනයයි.

 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග
 සභාපති විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම.

advertistmentadvertistment
advertistmentadvertistment