ගංවතුරේ ගසාගෙන ගිය ලෝක පරිසර දින සැමරුම

118

දේශගුණික අනාථයින්ගෙන් එහා ලෝකය

මේ දිනවල ඇදහැලෙන අනෝරා වැසි සහ ඒ මගින් ඇති කරන ගංගා, ඇළ, දොළ පිටාර ගැලීම මගින් ඇති කරන ගංවතුර තත්ත්වයන්ට “ආන්තික දේශගුණික තත්ත්වයක්” බලපා නොමැතිද යන්නයි. දිස්ත්‍රික්ක 20 ක ජනයා 20,000 ක් පමණ පීඩාවට පත්කරමින් ඇදහැලෙන වැස්ස නිරිත දිග මෝසමේ සක්‍රීය වීම නිසාම සිදුවන්නක් පමණක්ද…? වර්ෂාවේ පෙර නොවූ විරූ තීව්‍රතාවක් ඇතිව තිබෙන්නේ ඇයි…? යන ප්‍රශ්න මෙහිදී මතුවේ.

ලෝක පරිසර දිනය සැමරීමට අපට තව ඉතිරිව ඇත්තේ එක දිනයකි. එනම් සෑම වසරකම ජුනි මස 5 වැනිදා ලෝක පරිසර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කර ඇති නමුත් මෙවර අපගේ ලෝක පරිසර දින සැමරුම ගංවතුරේ ගසාගෙන ගිය ආකාරයක් දකින්නට ලැබේ. ඒ මේ දිනවල දිවයිනට ඇදහැලෙන අනෝරා වැසි හේතුවෙනි.

පසුගිය කාලයම අප දිවා – රාත්‍රී නැතිව ගෙවා දැම්මේ දැඩි දාහයකිනි. කොටින්ම සීරු – මාරුවට භාවිත කරන නිවසේ විදුලියේ බිල වැඩි වූයේ විදුලි පංකා කැරකැවීම සඳහාය. එසේ දාහය වැඩිවීමට හේතුව ලෙස කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ මෙම වසර ”එල්නිනෝ” වසරක් වන නිසා එසේ කාලගුණ විපර්යාසයක් (Climate Change) බලාපොරොත්තු විය යුතු බවයි. ශාන්තිකර සාගරයේ ඇතිවන උණුසුම් දිය වැල්වල බලපෑම නිසා සිදුවන “එල්නිනෝ – ”Elnino˜ තත්ත්වයන්හිදී ලෝකයේ උණුසුම් දේශගුණික තත්ත්වයන් ඇතිවන බව පිළිගැනීමයි. එයද යම් රටාවකට සිදුවන සංසිද්ධියකි.

ශ්‍රී ලංකාව පමණක් නොව, කලාපීය රටවල් රැසකට මෙම උණුසුම් දේශගුණික තත්ත්වය බලපා තිබුණු අතර, අපට මේ ඊයේ පෙරේදා සිට අනෝරා වැසි කඩාවැටෙන්නට පටන් ගත්තත් තවමත් ඉන්දියාවේ බොහෝ පළාත්, ප්‍රාන්තවලට එම උණුසුම් තත්ත්වය නිමාවී නැත. සෙන්ටිග්‍රේඩ් අංශක 30 කට වැඩි උෂ්ණත්ව අගයන් වාර්තාවූ අවස්ථා ඇති අතර, උණුසුම දරාගත නොහැකිව මියගිය පිරිස් ගැනද වාර්තාවේ. ශ්‍රී ලංකාවට වර්ෂාව ඇතිවන්නේ එවන් පසුබිමක් දකුණු ආසියානු කලාපයේ තිබෙන වකවානුවකය.

පෙර කී පරිදි රටේම උණුසුම් දේශගුණයක් පවතිද්දී පළමුව නිරිත දිග කලාපයේ වර්ධනය වූයේ සංවහන වැසි ය. එනම්, දහවලට ගොඩබිම රත්වී ඉන් නිර්මාණය වන වළාකුළු මගින් ඇතිවන සන්ධ්‍යා වැසිවලින් නිරිත දිග කලාපයේ ඇතිව තිබුණු දාහය මදක් නිවාගන්නට හැකිවූ නමුත්, ඒ සමගම දෙවැනි අන්තර් මෝසම සක්‍රීය වෙමින් බක් මහට වදින අකුණු සමග ගිගුරුම් වැසි ඇතිවීම නිරීක්ෂණය කරන්නට හැකිවිය. කෙසේ හෝ මේ දිනවල පවතින වර්ෂාවට හේතුව “නිරිත දිග මෝසම සක්‍රීයවීම” බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසයි. කෙසේ හෝ

පසුගිය සති කිහිපයේ දකුණු අර්ධය ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි ඇතිවිය. එම නිසා රටට දාහයක් තිබුණද වර්ෂාපතනයේ ලොකු අඩුවක් තිබුණේ නැත.

නමුත් ප්‍රශ්නය නම්, මේ දිනවල ඇදහැලෙන අනෝරා වැසි සහ ඒ මගින් ඇති කරන ගංගා, ඇළ, දොළ පිටාර ගැලීම මගින් ඇති කරන ගංවතුර තත්ත්වයන්ට “ආන්තික දේශගුණික තත්ත්වයක්” බලපා නොමැතිද යන්නයි. දිස්ත්‍රික්ක 20 ක ජනයා 20,000 ක් පමණ පීඩාවට පත්කරමින් ඇදහැලෙන වැස්ස නිරිත දිග මෝසමේ සක්‍රීය වීම නිසාම සිදුවන්නක් පමණක්ද…? වර්ෂාවේ පෙර නොවූ විරූ තීව්‍රතාවක් ඇතිව තිබෙන්නේ ඇයි…? යන ප්‍රශ්න මෙහිදී මතුවේ. පෙරේදා (02) අලුයම ඇහැළියගොඩ ප්‍රදේශයට ලැබී තිබුණු වර්ෂාපතනය මිලිමීටර් 427.5 කි. ඒ එදින රටට ලැබුණු වැඩිම වර්ෂාපතනයයි. එසේම ඊයේ (03) අළුයම වැඩිම වර්ෂාපතනයක් ලැබුණු වරකාපොළ අගය මිලිමීටර් 246.5 කි. මෙසේ අධි සාන්ද්‍රීය වර්ෂාවක් එක ස්ථානයකට ඇදහැලෙන අවස්ථා අප මීට පෙරද අත්විඳ ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම රට තුළ ආපදා අවස්ථා නිර්මාණය වී ඇත. එනම්, දිය දහරා උතුරා, කඳු නාය යාම් වාර්තා වූ අතර, මෙවර අපට වැඩිම බලපෑම් සිදුකරනු ලබන්නේ ගංවතුර මගිනි. එනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් දිස්ත්‍රික්ක 9 කට රතු නිවේදන මගින් අනතුරු හඟවා ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මිලිමීටර් 150 ඉක්මවන තද වැසි වාර්තා විය හැකිය යන අනාවැකි අභිබවා විටෙක එම ප්‍රමාණය දෙගුණ වී මිලිමීටර් 300 ද ඉක්මවා යන වැසි පතන වාර්තා වේ.

කෙසේ හෝ රටට වැසි ලැබීම පිනකි, වාසනාවකි. දැඩි දාහයෙන් ගත කළ කාලයේ අප ඉල්ලා සිටියේ වැසි ය. ඊට මදි නොකියන්නට සොබාදහමෙන් වැසි ලබාදී ඇත. ඉන්දියාවට සාපේක්ෂව බලන කල සැබැවින්ම අපි වාසනාවන්තයෝ වෙමු. නමුත්, සැබෑව නම්, විටෙක අප ඉල්ලන වර්ෂාව නමැති වාසනාව ද, පෑවිල්ල නමැති වාසනාව ද අප වෙත පැමිණෙන්නේ මීට දසක කිහිපයකට ඉහතදී අපට ලැබුණු ලෙස සාමාන්‍ය අයුරින් නොව, දැඩි තීව්‍රතාවකිනි. අප ඊට දේශගුණික විපර්යාසයේ (Climate Change) “ආන්තිකන් දේශගුණික තත්ත්වයන්” යයි කියමු. එනම් පායන්නට ගත් විට බිම ඉරිතලා, ජල බිඳක් සොයාගැනීමට නොහැකි වන තරමට පෑවිල්ලත්, වහින්නට ගිය විට ඉතා කෙටි කලකදී තීව්‍ර වැසි පතනයක් සිදුවීමත් ඉහිදී සිදුවේ. මේවා වාර්තාගත මට්ටමෙන් සිදුවීම, “දේශගුණික අනාථයින්” බිහිකිරීමට තරම් හේතුවක් වන අතර, ජනමාධ්‍යයට මේ මගින් අලුත් ප්‍රවෘත්ති නිර්මාණය කරයි. සැබැවින්ම ඇහැළියගොඩ වර්ෂාපතනය නිසා අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ පුවක්පිටිය ඇතිවූ ගංවතුර තත්ත්වයත්, වරකාපොළ වර්ෂාපතනය නිසා වරකාපොළ – මීරිගම-වේයන්ගොඩ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයත් එහි නියත ප්‍රතිඵලය.

ඒ කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ පළාත් ප්‍රමුඛව දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 20 කට බලපාන ලද තද, මහ වැසි සහ ගංවතුර අර්බුදය කාලයත් සමග සාමාන්‍යකරණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. එහි නියත ප්‍රතිපලය ආපදා ය. සමස්තයක් ලෙස ගතහොත් දිවයිනේ සියලුම ගංගා, ඇළ, දොළ පෝෂණය කරන පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව නිසා ඒවා මෙවර උපරිම ජල මට්ටම් වාර්තා කර ඇති අතර, ඒ සියලුම ගංගා පහත් බිම් පාහේ ජලයෙන් යටවී ඇත. ඉදිරි දින කිහිපයේදී වර්ෂාපතනය සාමන්‍ය තත්ත්වයට පැමිණ ජන ජීවිතය හොඳ අතට පැමිණෙනු ඇත. එනමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු ලක උදවියට හෙට උදාවන ලෝක පරිසර දිනය ගංවතුරේ ගසාගෙන ගොස් ඇති බවක් පෙන්නුම් කරයි. එනිසාම මෙවර ලෝක පරිසර දින තේමාව වෙනස් කරමින් දේශගුණික විපර්යාසවලින් ගැලවෙන්නේ කෙසේද..? ඊට අනුහුරු වන්නේ කෙසේද..? වැනි සාම්ප්‍රදායක මාතෘකා ගැන යළි යළිත් කතා කරන්නට අවස්ථාව උදාවනු ඇත. නමුත් අප ස්වභාවික ආපදා සඳහා සත්‍ය වශයෙන්ම මුහුණ දෙන්නේ කෙලෙස ද යන්න විමසීම සඳහා මෙවන් අවස්ථා ප්‍රයෝජනයට ගැනීම ඉතා වැදගත්ය.

මේ ගෙවී යන මොහොත වන විටත් ලෝකය සිටින්නේ අර්බුදයෙන් අර්බුදයට ගොස් ඇති තත්ත්වයකය. එනම්, අප වැඩි වශයෙන් කතා කරමින් සිටි දේශගුණික විපර්යාස සහ ඊට පිළියම් සහ හැඩගැසීම් ගැන කතා කරනවාට අමතරව, පොලිතීන් – ප්ලාස්ටික් දූෂණයෙන් ලෝකය ගලවාගන්නේ කෙලෙස ද වැනි මාතෘකා ද දැන් කරළියට පැමිණ ලෝක අවධානය, ලෝක ක්‍රියාමාර්ග ඒ සඳහා යොමුකර ඇත. ඊට අදාළ තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ලෝකය විසින් ගනු ලැබීමට නියමිත බැවින් අපිද එහි කොටස්කරුවෝ විය යුතු වෙමු. එනමුත් ලෝකයේ පොදු සතුරා වන “ගෝලීය උණුසුම” සහ “දේශගුණික විපර්යාස” පිළිබඳ කතා බහ කිසිසේත් බැහැර කළ නොහැකි පසුබිමක අප සිටින්නේ විටින් විට අපට බැට දෙන “දේශගුණික විපර්යාස” බලවත් ලෙස අපට බලපාන නිසාය. “හරිතාගාර විමෝචනයේ ”Green House Effect˜ ප්‍රතිඵලයක් ලෙස ”ගෝලීය උණුසුම – ”Global Warming˜ වැඩිවී සිදුකරන දේශගුණික විපර්යාස යනු අද මිනිස් සංහතිය මරණ මංචකය වෙත ඇදගෙන යන ක්‍රියාවලියක් බවට පත්ව ඇත. ඒ අනුව, ලෝකයේ උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් ඉහළ යාම යනු උත්තර ධ්‍රැවයේ හිම කඳු (ග්ලැසියර) දියවී මුහුදු මට්ටම වැඩිවී තෙත්බිම් හා මිරිදිය ලවණකරණය වී ආහාර, පානීය ජලය හිඟවීම, මිනිස් ජනාවාස ආපදාවට ලක්වීම පමණක් නොව, පෙරකී පරිදි ආන්තික දේශගුණික තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයි. අප මේ අත්විඳිමින් සිටින බොහෝ ආකාරයේ ස්වභාවික විපත් එහි නියත ප්‍රථිපල වේ. එනිසා මෙම විපත් අඩුකරගැනීම සඳහා මෙන්ම, ලෝකය මිනිසා ඇතුළු සියලු ජීවීන්ට ජීවත්වීම සඳහා සුදුසු තැනක් බවට පත්කිරීම සඳහා ලෝකය එකඟතාවකට පැමිණ සිටී. එහි ප්‍රමුඛ අරමුණ වන්නේ ගෝලීය උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට නොදී තබාගැනීමයි. ඒ සඳහා 2015 පැරිස් සම්මුතිය මගින් “තිරසර ගෝලීය ඉලක්ක – ”Sustainable Goals˜ 17 හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාව ඇතුළු සියලු පාර්ශ්වික රටවල් මෙම ගෝලීය ඉලක්ක අනුව වැඩ කිරීමට බැඳී සිටී.

මෙවර ලෝක පරිසර දින තේමාව ”Land Restoration desertification and drought resilience˜ යන්නයි. එය “ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” ලෙස පරිසර අමාත්‍යාංශය මගින් සිංහලට නගා ඇත. 1972 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පවත්වන්නට යෙදුණු එක්සත් ජාතීන්ගේ මානව පරිසරය සුරැකීමේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුවය. කෙසේ හෝ මේ වනවිට ලෝක පරිසර දින 52 ක් අප සැමරීමට ලක් කර ඇති අතර අප දන්නා පරිදි අපගේ සංවර්ධන හා පරිසර ප්‍රතිපත්ති සකසන්නන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් වසර 52 ක්ම ලෝක පරිසර, දේශගුණික සමුළු නියෝජනය කරමින් කටයුතු කර ඇත හෝ කාලය කා දමා ඇත. අප තවමත් ආපදා අත්විඳිමින් සිටින අතර, නුදුරු අනාගතයේදීත් ඒවාට ගොදුරු නොවී ඉන්නට නොදැන මංමුලාවී සිටිමු. මෙවර ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත 16 ක් සහ අවතැන් මිනිසුන් කියන්නේ ඒ කතාවද..? එසේම “දේශගුණික අනාථයින්” ලෙස වදනක් “දේශගුණික විපර්යාස” සමග ශබ්ද කෝෂයට ඇතුළත්ව ඇති බව අප නිරන්තරයෙන් සිහියේ තබාගත යුතු කාරණයකි. එම කොටසට අපගේ නමත් ඇතුළත් විය හැකි අවස්ථාව බොහෝ බවද මේ පරිසර දින සැමරුමකට උදාවී ඇති මොහොතේ අප අමතක නොකළ යුතුය.

විමසුම – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment