ගංවතුර පාලනය කරන්න… – වයඹට වතුර ගෙනියන්න…

92



 * කැලණි ගඟ බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය වහා ක‍්‍රියාවට නගන්න

 * පරණ වුණත් අලූත් වැඩක් ගැන දිනේෂ් කතා කරයි.

ගංවතුර පාලනය කරන්න... - වයඹට වතුර ගෙනියන්න...

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන (කෝප්) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තා දෙකක් පිළිබඳ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී, විවාදයක් පැවැත්වුණ අවස්ථාවේ විශාල ජන කොටසකට අතිශය වැදගත් මාතෘකාවක් ඉස්මතු වුවද එය වඩාත් පළල්ව විද්වතුන් ඇතුළු මාධ්‍ය තුළින් රටට සන්නිවේදනය වූවා යැයි සිතිය නොහැක. එනම් ‘‘කැලණි ගඟ බහුකර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය” පිළිබඳ යළි මතුවූ අදහසයි. සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම විවාදයට එක්වෙමින් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහස් රැුසක් ඉදිරිපත් කළේය. ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය.

 ‘‘….ගං වතුර එනවා, යනවා. කෝටි ගාණක් අපි වැය කරනවා, වසරක් පාසා ගංවතුරට යට වෙච්චි දේවල්වලට වන්දි ගෙවන්න. නමුත් ලංකාවේ කැලණි ගඟ සම්බන්ධිත සංවර්ධන වැඩපිළිවෙළක් අද දක්වා ක‍්‍රියාත්මක වෙලා නැහැ. සාකච්ඡුා වුණා, හැම ආණ්ඩුවක් යටතේ ම සාකච්ඡුා වුණා. කේන්ද්‍රීය ගංඟාවක් ලෙස, බස්නාහිර පළාතට පමණක් නොව, සබරගමුව හා අනෙක් ප‍්‍රදේශ හරහා ගමන් කරන බහුකාර්ය ගංඟාවක් ලෙස, කේන්ද්‍රස්ථානයක් ලෙස මේ ගඟ දිහා බලන්න ඕනේ. කොළඹ නගරයට වතුර දෙන මේ ගඟ අපවිත‍්‍රවීමේ භයානකකම මේ කමිටුව හෙළිදරව් කරලා තියෙනවා. එයට අවදි වෙන්න කියලා අදාළ ආයතන, රාජ්‍ය සංස්ථා, ඉංජිනේරුවරු හා තීරණ ගන්නා උදවියට කියා පාන්න ඕනේ. එය ඇස් දෙකටම බලාගන්න පුළුවන් සමහර තැන්වලට ගියාම. අපි පැමිණිල්ලක් කළාට පැමිණිල්ල සලකන්නෙ නැහැ. වැරදි උත්තරයක් දෙනවා. පසු ගිය සතියෙත් කැලණි ගඟ අයිනෙන් යන ප‍්‍රධාන පාර ගෙඟ් වතුරවලට කඩා යෑමේ භයානක අනතුරකට පැමිණ තිබුණා. අපි ඒ ගැන කතා කළා. නමුත් ඊට සාධාරණ, ඇත්ත උත්තරයක් ලැබුණේ නැහැ.

 ඊළඟට ගරු කථානායකතුමනි…! මේ වාර්තාවේ තිබෙනවා, සොහොන් පිටි හේදි හේදී කැලණි ගඟට යන්න තිබෙන තර්ජනය ගැන. එවැනි දේ එළිදරව් කරමින් හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම වැදගත්. පරිසර අධිකාරිය මීට වඩා මැදිහත්වෙන ක‍්‍රියාදාමයක් ඇති අධිකාරියක් බවට පත්වෙන්න ඕනේ. අවශ්‍ය නීති මදි නම් ඒ නීති හදල දෙන්න ඕනේ අපි ”

 දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඉදිරිපත් කළ මෙම කෙටි කරුණු දැක්වීම තුළ රටේ සුවිශාල ජන කොටසකට බලපාන ප‍්‍රශ්නයක් සහ ඊට දිය හැකි විසඳුම ගැබ්ව තිබේ.

 මෙරට ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයෙන් ඇරඹි බහු කාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රම, මහවැලිය, වලවේ, නිල්වලා ආදී මහා ජලාශ  රැසක් මුල් කරගෙන කලින් කල, විවිධ ආණ්ඩු යටතේ, විවිධ නායකයන් යටතේ ක‍්‍රියාත්මක වුවද, කැලණි ගඟ පාදක කරගෙන එවැනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයක් කිසිවෙකුත් ක‍්‍රියාත්මක නොකළ බව මෙම කතාවෙන් යළි ඉස්මතුව තිබේ. මහා ජලාශයක් මුල් කරගෙන බහු කාර්ය යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කෙරෙන්නේ, නව ජනාවාස ඇති කිරීම, විදුලිබලය උත්පාදනය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, ගංවතුර පාලනය යනාදී බොහෝ සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමටය. කැලණි ගඟ සලකා බැලූවහොත් එය මෙරට විශාලම ගංගා වලින් එකක් වන අතර සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, කොළඹ නගරයට ආසන්නයෙන් මුහුදට වැටේ. එක පැත්තකින් බස්නාහිර පළාතටත්, අනෙක් පැත්තෙන් සබරගමුව පළාතටත් මායිම් වන කැලණි ගඟ ආශ‍්‍රිතව, බහුකාර්ය සංවර්ධන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වුවහොත් කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර ආදී දිස්ත‍්‍රික්කවල විශාල ජන කොටසකට විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ ප‍්‍රයෝජනයක් ලැබිය හැකි බව ඉතා පැහැදිලිය.

 විශේෂයෙන් කැලණි ගඟ පිටාර ගැලීම නිසා සුවිශාල ජන කණ්ඩායමක් වසරක් පාසා පීඩාවට පත්වන අතර ඔවුන්ට වන්දි ගෙවීමට සෑම රජයක් ම වැය කරන මුදල ඇති විශාලය. අනෙක් පැත්තෙන් කොළඹ හා තදාසන්න ජනතාව බීමට ජලය ගන්නා ප‍්‍රධාන ගංගාව වන්නේ කැලණි නදියයි. අනෙක් පැත්තෙන් කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය පිට කිරීම නිසා කැලණි ගඟ විශාල වශයෙන් දූෂණයට ලක්වෙමින් තිබේ. ‘‘කැලණි ගෙඟ් ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර විගණන වාර්තාවක්” ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව* විමර්ශනය කළ එක වාර්තාවක් වන්නේ මේ කැලණි ගංගාවේ දූෂණය පිළිබඳ වාර්තාවයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැලණි ගඟ ආශ‍්‍රිතව බහු කාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයක අවශ්‍යතාව අවධාරණය කළේ ඒ විමර්ශනය මාතෘකාව කරගනිමිනි.

 කැලණි ගඟ සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළහොත්, අනෙක් පැත්තෙන් ජල විදුලිය නිපදවීම පමණක් නොව එහි අතිරික්ත ජලය ගොවිතැන උදෙසා ලබාදිය හැකිය. ඇතැම් අවස්ථාවල විෂය සම්බන්ධ විද්වතුන් පෙන්වා දී ඇත්තේ කැලණි ගෙඟ් ජලය වයඹ දෙසට හැරවිය හැකි බවයි. පොළොවේ උස සලකා බලන කල එය ස්වභාවිකව සිදු කළ හැකි බවටද ඇතැම් විමර්ශකයන් පෙන්වා දී තිබේ. කොතරම් සාකච්ඡුා වී ඇතත් කිසිදු ආණ්ඩුවක් කැලණි ගඟ සංවර්ධනය නොකරන්නේ ඇයි? එවැනි තත්ත්වයක් තුළ ‘‘කැලණි ගඟ බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයක්” සම්බන්ධයෙන් විද්වතුන්, මහජන නියෝජිතයන් ඇතුළු ජනතාව අතර ප‍්‍රමාණවත් සංවාදයක් ගොඩනැගීම අතිශය වැදගත්ය.

 * ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ

ගංවතුර පාලනය කරන්න... - වයඹට වතුර ගෙනියන්න...
advertistmentadvertistment
advertistmentadvertistment