ගංවතුර විපත

530

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ඊයේ නිකුත් කර තිබිණි. ඇත්තටම කඩා වැටුණේ එසේ මෙසේ වැස්සක් නම් නොවේ. එය දකින විට බිය ජනිත වෙයි. ඉන්දියාවේ අධික උෂ්ණය නිසා දුසිම් ගණනින් මිය යන විට මෙරට ගංවතුර නිසා ජීවිත ගණනාවක් අහිමිවී තිබේ. මහා ගංවතුර බියක්ද මතුව තිබේ. ලෝකය දැන් වෙනස්ම තැනක් බවට පත්ව තිබෙන්නේ මේ කාලගුණ වෙනස නිසාය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. ඇත්තටම මිලිමීටර් 150 නොව 300 ඉක්මවා යන වැසි පතිතවේ. අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශය යටවී ඇති ගංවතුර මීට පෙර ඇතිව තිබෙන්නේ වසර 80කට පෙරය. එනිසා මේ අත්දකින්නේ වෙනකවරදාවත් නොවූ තත්ත්වයකි. වැස්ස, ගංවතුර, නියඟය, නාය යෑම් ස්වාභාවික විපත්ය. නමුත් වෙනදාට වඩා ස්වභාවික විපත් අධික සමයකි. අප ජීවත්වන අද ලෝකය දැනටමත් 1C කට මඳක් අධික මට්ටමකින් උණුසුම්ව ඇති බව අලුත්ම සංඛ්‍යා මගින් පෙන්නුම් කෙරෙයි. දැනට සිදුවෙමින් පවතින තත්ත්වය දිගටම පෙරට ගියහොත් මිහිතලය තවත් උණුසුම් අතට හැරීම වැළැක්විය නොහැකි අනිවාර්ය ප්‍රතිවිපාකයක් වනු ඇත. මෙරට මහා වැසි ඇතිවන්නේ ද ඉන්දියාවේ මැතිවරණ සේවකයෝ අධික උණුසුම නිසා පාරේ වැටී මිය යන්නේ ද මේ හේතුව නිසාය. මෝසම් වැසි වඩා ප්‍රචණ්ඩ වී තිබේ.

ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ගේ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සහ ජීවන මට්ටම්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය කර තිබුණේ මීට වසර කිහිපයකට පෙරය. ඒ තත්ත්වය කෙළින්ම අද අපි අත්දකිමු. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ ලෝක බැංකු වාර්තාවේ දැක්වුණේ 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ යා හැකි බවය. 2050 විපත අපි දැන්ම අත්දකිනවාද යන්න ගැන සැකයක් ඇතිවන්නේ මේ අධික වර්ෂාව සමග ඇතිවූ විපත් ගැන අසන්නට දකින්නට ලැබෙන විටදීය. ශ්‍රී ලංකාව මුහුදෙන් වට වී ඇති කුඩා රාජ්‍යයක් වන හෙයින් නිරන්තරයෙන් සුළි කුණාටුවලට ලක් විය හැකි අතර මුහුදු ජල මට්ටම නිරන්තරයෙන් ඉහළ යා හැකි ය. එමගින්, වර්ෂාපතන රටාවල වෙනස්කම් සිදුවීමේ පැහැදිලි අවදානමක් පවතී. පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි, මිනිස් ක්‍රියාකාරකම් නිසා ගංවතුර ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු කීපයක් තිබේ. වගුරු බිම් ගොඩ කිරීම, කැලෑ එලි පෙහෙළි කිරීම, වගාබිම් සඳහා කැලෑ එලි කිරීම, නිසි සැලසුමකින් හෝ ඉදිරි දැක්මකින් තොර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හා අසීමිත ප්ලාස්ටික් භාවිතයයි. නාගරික ප්‍රදේශවල කානු උතුරා ගොස් පාරවල් යටවන්නේ කවර හේතු නිසා ද? ඒ කානු හිරවී ඇත්තේ ප්ලාස්ටික් බෝතල් හා වෙනත් අපද්‍රව්‍ය නිසාය. මේ නිසා ඇතිවන සුළු ගංවතුර නිසා සිදුවන්නේ ද බරපතළ පාඩුවකි. දැන් මහා වැස්සට නොව පොඩි වැස්සටත් යටවන මාර්ග ඇත්තේ මහජනයා ඉතාම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට කුණු බැහැර කිරීම නිසාය. ඒවා කානුවල හිරවීම නිසා ජලය බැස යන්නට මාර්ගයක් නැත. මේවා ලෙහෙසියෙන්ම වළක්වා ගත හැක්කේ ආදර්ශමත්ව නිසි ලෙස කසළ බැහැර කිරීමෙනි. තමන් ගැන පමණක් සිතීමෙන් කිසිවෙකුට යහපතක් අත්වන්නේ නැත. එය විපතකි. මඩේ බැස යන විට මේවා කල්පනා කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment