ගජමුතු සහ කඳුළු තුළ හමුවන කවිමුතු

37

‘‘ගජමුතු සහ කදුළු’’ නන්දසිරි කීඹියහෙට්ටි කවියාගේ කුළුදුල් කාව්‍ය සංග‍්‍රහය යි. එය 2020 වසරේදී මුද්‍රණයෙන් එළිදකින්නට යෙදුණි. එම සංග‍්‍රහය කියවීමෙන් පසුව පොතින් දෑස් ඉවත්කර හිස් අවකාශය තුළ නැවත එම කවි විඳීමේ සෞන්දර්යාත්මක නිමේෂයේදී මතුකරගත්, වින්දනාත්මක කවි මුතු කිහිපයක ආවර්ජනය මේ සටහනේ අරමුණයි.

කෙනෙකු තමා නියැළෙන රැකියාව මතින් ඔහු හෝ ඇය මත පවරා ඇති වගකීම් සමුදාය මගින් සම්පාදනය කර දී ඇති සීමාවන්ට කොටු වී ගන්නට සිදුවන තීන්දු තීරණය සිය හෘද සාක්ෂියට එකඟනොවීම හේතුවෙන් මානසික කඩා වැටීම්වලට ගොදුරුවන පිරිස් අප අතර නැතිද? ලෝකයේ දැවැන්තම රක්ෂණ සමාගම කුමක් දැයි යන පැනයට සිසුවාගේ පිළිතුර ‘‘අම්මා’’ යන්නය. ලකුණු පටිපාටියේ එවැනි පිළිතුරක් සටහන් වී නොමැති බැවින් ‘‘රතු පෑන උරණ වී ලොකුම ලොකු බින්දුවක්’’ දරුවාට ලබාදෙයි. එහෙත් උක්ත කවියේ කථක ගුරුතුමාගේ හෘදය සාක්ෂිය, දරුවාගේ පිළිතුර කෙරෙහි තම ප‍්‍රතිචාරය පිළිබඳව වැළපෙන්නේ තම මව සිහිවීමෙනි.

‘‘අදත් මං එනතුරා

බෙදු බත නොවළදා

පාරේ ඇස් දෙක තියන්

අනේ මග බලාගෙන

ඉන්නවා අම්මා’’ (පි.23)

කවියකින් රසිකයා වෙත සමීපවන කථකයාගේ හෝ කවියට පාදක වන චරිතය විඳින වින්දනය ඒ ආකාරයෙන්ම රසිකයා වෙත සංවේදනය කිරීමේ සහකම්පනීය ගුණයෙන් යුතු කාව්‍ය නිර්මාණ රැසක් මේ කාව්‍ය සංග‍්‍රහය තුළ හමුවෙයි. තමා කලලයක් ව මව් කුසේ සිටිනා අවධියේදීම තම මව හැර ගිය, උප්පැන්නයට නම දීමටවත් නොපැමිණි සිය තාත්තාව දියණියක කෙසේ හඳුනාගන්න ද? තාත්තාගේ වෙන්න ඇති නමක් නැති මේ සොහොන නමින් අපට හමුවන කවිය එවන් දියණියක සිය පියා පිළිබඳව හඳුනාගන්නා ආකාරය,රසිකයාගේ චෛතසිකය දෙදරවන්නට සමත්වෙයි.

‘‘උප්පැන්න සහතිකේ බලන කවුරුත් අහන

කොටුව තාමත් හිස්ය

තාත්තාගේ නම ලියන

පොටෝ එකක්වත් නැතිව

ගඩොල් විතරක් තියෙන

තාත්තාගේ වෙන්න ඇති

නමක් නැති මේ සොහොන’’ (පි.26)

තාත්තාගේ ඡායා මත‍්‍රයක්වත් නොමැති ඇයට ඔහුගේ නම ලිවිය යුතු වූ තැන්වල කවදත් වූයේ හිස්තැනකි. ඒ හිස්තැන භෞතික මෙන්ම අධ්‍යාත්මය වසාගත් පාළු හිස්තැනකි. ඔහු නිදන තැන සොයා දියණිය කනත්තට ගිය විට හමුවන රුවක් හෝ නමක් නැති සොහොන තාත්තාගේ වියයුතු යැයි ඇය කරන නිගමනය, මව් පියවරු

හැරගිය දරුවන් පිළිබඳ ව එම දරුවන්ගේ පැත්තෙන් සිතන්නට සමාජයට බලකරන්නා වැනිය.

උත්ප‍්‍රාසය ද කවියට රස කාරකයකි. කවියක් කියවා එහි ඇති උත්ප‍්‍රාසය ග‍්‍රහණය කරගන්නා රසිකයා කවිය කියවූ මොහොතේ මෙන්ම ඉන් පසුවත් සමහර විටක එකී කවියේ හා සමාන චරිතයක් හමු වූ විටක හෝ කවියේ වූ අදහසට සමාන අදහසක් අසන්නට ලැබුණ විටකදී ද පෙර කවිය සිහිකර නැවත පෙර උත්ප‍්‍රාසය රසය ම විඳින්නේය. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං (පි.55) සහ ‘‘අමිල හිමිගේ නොමිල බණ’’ (පි. 35.36 ) 37) ආදී කවි නිර්මාණයන් අපූරු උත්ප‍්‍රාසජනක කවි නිර්මාණ ලෙස හඳුන්වාදීමට පුළුවන.

එම කවියේ මාතෘකාව පවා රසික මුවට සිනා නගයි. කවියට මාතෘකා යෙදීමේ දී කාව්‍යාත්මය පිළිබඳව ඉ`ගි පළකිරීම රසිකයාට කවියට ඇතුළුවීමේ ආලෝක ධාරා විදාලයි. එම කාරණය පිළිබඳව කවියා දක්වා ඇති අවධානය, කවියාගේ කාව්‍ය භාවිතයේ පුළුල් පරිචය ප‍්‍රදර්ශනය කරයි. බල්ලන්ගෙන් ප‍්‍රවේශම් වන්න (පි.33) තුන් මහේ දානෙට ඇවිත් යනකල් (පි.62) එවන් මාතෘකා කිහිපයකි.

ස්තී‍්‍රත්ත්වය පිළිබඳව සමාජ මතවාදයන් විචාරාත්මක ව කියවීමක් සහිත කවි සිත්තම් කිහිපයක් ද අපට මෙම කාව්‍ය සංග‍්‍රහයේදී රස විඳින්නට ලැබේ. අන්තඃපුර ළඳකගේ දොළදුක, (පි.31) නඩුකාසි නැති සැමියෙක් (පි.47) දිළිඳු බවේ විෂම චක‍්‍රය (පි. 48) අබිනික්මන (පි.64) සහ ‘‘සතර සිල්’’ (පි.44) ඒ සඳහා උදාහරණ කිහිපයකි.

‘‘සතර සිල්’’ යනු ඊනියා සුචරිතවාදී සමාජයට අතුල් පහරකි. සිල් පද හතරක් රකින නමුත් පස්වැන්න අත්හරින බව ප‍්‍රසිද්ධියේ කියන කථකයා පිළිබඳව අමුතු හැඳින්වීමක් ඇවැසි නැත. ඇයගේ කාර්ය, (පංච සීලය) පහම කඩනා උන්, නතර කරගෙන සැනසීම බව ඇය පවසයි. ඒ නතරකර ගැනීම යනු බහු අරුත් ගම්‍ය කරන නතරකර ගැනීමකි.

‘‘රිසි රිසි තැනින් නැමී

ඇඟමස් කිරා විකුණමි

දහඩියට පියරු දා

ශ‍්‍රමය විකුණා වැටුප් අරගමී’’

මේ කවියේ කථක කාන්තාව දෙස අප කවියා හෙළන සහකම්පනිත පරිකල්පනය පාවුලෝ කොයියෝගේ ‘‘මිනිත්තු එකොළහේ කතාන්දරය’’ තුළ අපට හමුවන ‘‘මරියා’’ ට හෝ දෙනගම සිරිවර්ධනයන් ගේ ‘‘අයෝමා’’ ට හෝ ඒ කතුවරුන් හෙලූ අති මානුෂීය දෘෂ්ටියට වඩා වෙනසක් නොමැති බව අපගේ අදහසයි. උත්තම පුරුෂ ඒක වචනයෙන් ලියැවී ඇති එකී කවියේ ආකෘතිය ද අප සිත් බැඳ ගනී. සිංහල බසින් පංච සීලයේ පිහිටුවන හ`ඩ තානය කවියට ආලෝකයක් එකතු කරයි. මේ කුඩා කවි සිතුවම පිළිබඳව තව බොහෝ දේ කියන්නට ඇත. එහෙත් නවතිමි. එම කවිය සමගම කියවා ගත හැකි සමාජ සාරධර්ම නම් ආටෝප හමුවේ මිනිසත්කම දියවී ගිය අවස්ථාවක උපන් කවියක් ලෙස

‘‘සේපාලිගේ බොඩිය’’ (පි. 72) නමින් හමුවන කවිය පෙන්වා දිය හැකිය.

චිරන්තන සාහිත්‍ය විකල්ප ලෙස කියවීම හරහා නව අරුත් ගැන්වීම අභ්‍යාසය කරන කවියෙක් මේ කාව්‍ය සංග‍්‍රහය ඇසුරේ අපට මුණ ගැසෙයි. අපරාදේ මං අරගත්තේ සක‍්‍රයාගේ ගුලි තුන’’ යනුවෙන් කම්පාවෙන ගුත්තිලගේ පාපොච්චාරණය (පි.76) සහ ‘‘සතර පෙර නිමිති’’ (පි.68) සහ පටාචාරාගේ කතා පුවතේ එන දරුවා පැහැරගත් ‘‘උකුස්සා ගේ පාපෝච්චාරණය’’ (පි.71) නම් කවි ඒ සඳහා උදාහරණය.

තනේ මවු කිරි ශිරා වියැළී

කිරිපිටිත් මිල වැඩි නිසා

මං හිතුවේ ලොකු පුතා දියඹට

විසි කළේ නුඹ මය කියා

කමා කළ මැන පටාචාරා

දෙස් දෙවොල් මට නොපවරා

දෙවෙනි දරුවා බේරගන්නයි

නුඹෙන් ඩැහැගත්තේ වහා

පුරාණෝක්තිය අතික‍්‍රමණය කොට නව්‍ය මුහුණුවරකින් ප‍්‍රතිනිර්මිත කවියක් ලෙස ‘‘උඹ ගිහින් හිමිනමට කියාපන් මයෙ දුක’’ (පි. 69) යන හිසින් හමුවන කවිය හඳුනාගත හැක.

උලකුඩය දේවියගේ පුත් ප‍්‍රශ්නය විභීෂණ දෙවියන්ට යම් අයුරකින් අමතකව ගියහොත් යළි සිහි කඳවන පිනිස විභීෂණ දෙව් මෙහෙසියව සහ දෙව් පුතුව ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස සැළලිහිණියා වෙත උපදෙස් ලැබෙයි. ඒ අනුව සැළලිහිණියා විභීෂණ දෙවියන් අමතා ‘‘සුරත් පළ ගෙනාවෙමි දඹ පඳුරුවල වැඩුන කෝ ඔබේ පුතා කුරුටු ගී බලි අඳින යනුවෙන් විමසන්නේය. අප කවියාට අනුව විභීෂණ දෙවියන් පුත‍්‍ර සම්පත්තියෙන් තොරය. ඒ නිසාම දෙව් මෙහෙසියද සිටින්නේ ‘‘යකින්නක වෙස් රැගෙන උපවාසයක ය.’’ නාබියට පා ඇ`ගිලි තුඩු තබා දරු උපද්දන මහබඹා නොවන විභීෂණ දෙවියන් ද අසරණය.

‘‘මගේ ඔළුව ගිනි ගත්ත වෙලාවක මට එවන

ගිනි කබල ඔතන ඇති දමාපන් ඔය හසුන’’

ඔහු සිතා සිටින්නේ තොටගමුවට ගොස් (රහල්) හිමි බැහැදැක ගුරු කමක් කරගන්නට ය.

‘‘බොහෝ අය දැන ගනියි ලීවොතින් හසුනක

උඹ ගිහින් හිමිනමට කියාපන් මයේ දුක’’

‘‘ගජ මුතු සහ කඳුළු’’ නම් හිසින් හමුවන කවියේ කථකයා අලි දඩයම්කරුවෙකි. දඩයම්කරු සූදානම් නැති මොහොතක සිය ගේ පැළට අලියෙකුගේ ප‍්‍රහාරයක් සිදුවෙයි. එය අලි පැටියෙකුගේ ප‍්‍රහාරයකි. එයින් මිදීමට වැටි වැටි දුවන කථකයා එම අලි පැටියා අමතා නුඹත් අප්පච්චි මෙන්ම ප‍්‍රහාරකයෙක් දැයි විමසයි. ජන කවියේ ඇති සංවාද කවි ආකාරය සිහිගන්වන, නිරායාසව ගලායන සරල වදනින් කියැවෙන එම කවියේ අවසන් කොටසින් කියැවෙන අලි පැටියාගේ කතාව රසික ඇසට දුක් කඳුලක් එකතු කරන්නට සමත් වෙයි.

කඳුලක් තරම් බර නැති සෙනෙහසින් වට

පලයක් නොමැත මේ ගජමුතුවලින් මට

අම්මා මළා ඇගේ දෙන ළඟතියන්නට

අප්පච්චිගේ ඇත් දළ දෙක දියන් මට

කාව්‍ය සංග‍්‍රහය මුලදීම අපට හමුවූ ලෝකයේ දැවැන්තම රක්ෂණ සමාගම කුමක්දැයි ඇසූ පැනයට ‘‘ඒ අපේ අම්මා’’ යනුවෙන් ලියූ දරුවාත් මියගිය සිය අම්මාගේ දෙන සමීපයෙන් තියන්නට තාත්තාගේ දළ දෙක ඉල්ලන අලි පැටවාත් දෙන්නාම දන්නා දැවැන්තම එකම රක්‍ෂණය හා ප‍්‍රති රක්‍ෂණයත් අම්මා මිස වෙන කුමක් ද?

ළමා කාලයේ සිටම විවිධ ආකාරයෙන් කවිය ඇසුරු කළ අප කවියා, උසස් අධ්‍යාපනය හා රැකියාව නිසා කවියෙන් දුරස්ව හිඳ නැවත කවි ලොවට එන්නේ වසර විස්සකට පසුව බව සිය කතුවර සහටනේ සඳහන් කරයි. වසර විස්සකට පසුව වුවද ඔහු පැමිණ ඇත්තේ හිස් අතින් නොවන වග සත්‍යයකි. ඔහු කාව්‍ය ලොවට රැගෙන එන්නේ වටිනා කවි මුතු පිරි මල්ලකි. ඒවා ගජ මුතු වලට වඩා කවියෙකුට හා කාව්‍ය රසිකයෙකුට වටිනා බව නොරහසකි. නන්දසිරි කීඹියහෙට්ටි කවියාගේ ඉදිරි කවි මුතු අස්වනු සරු වනු පිණිස සුබ පතමි.

නිරෝෂා ප‍්‍රනාන්දු

advertistmentadvertistment