මිල වැඩි කළද තවමත් වෙළෙඳපොළේ තමන්ට මිලට ගැනීමට ලාෆ් ලෑස් නොමැති බවට ජනතාව මැසිවිලි නඟති.
මේ සම්බන්ධව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී පැවසුවේ රට තුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළෙන් ගෑස් මිලදී ගැනීමට බැංකු ණයවර ලිපි විවෘත කළද තමාට ඊට අදාළව ඩොලර් ලබා නොදෙන බවය. එක් ගෑස් තොගයක් ගෙන්වීමට අවම වශයෙන් ඩොලර් මිලියන 10ක් පමණ ණයවර ලිපි සඳහා අවශ්‍ය බව ද පැවසූ ඒ මහතා, ඩොලර් හිඟය දැඩි ලෙස මෙයට බලපා ඇතැයි පැවසීය.
එබැවින් තමාට ඩොලර් ලබා නොදෙන්නේ නම් ලාෆ් ගෑස් සමාගම රජයට පවරාගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයි ද වෑගපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙරට ගෑස් වෙළෙඳපොළේ 20% ක් පමණ ලාෆ් ගෑස් භාවිත කරන අතර ඉකුත් අගෝස්තු මස මුලදී වෙළඳපොළේ එම ගෑස්වල හිඟයත් නිර්මාණය විය. අර්බුදය පාලනය කිරීම සඳහා ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට රජය එම සමාගමට අවසර ලබාදුන්නේය.
ඒ අනුව එම වර්ගයේ කිලෝග‍්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරයක් රුපියල් 363 කින් සහ කිලෝග‍්‍රෑම් 5ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 145 කින් මිල වැඩි කරනු ලැබීය.
උපාලි ද සේරම්