ගණිකා වෘත්තියට යෙදවූ මුතුරාජවෙල

4759

කාත් කවුරුත් නැති සුරූපී කාන්තාවක් හුදකලාව සිටින බව ආරංචි වූ සැණින් සල්ලාල පිරිමින් උත්සාහ කරන්නේ ඇය ගණිකාවක බවට පත්කිරීමටය. මුතුරාජවෙලට සිදුවී ඇත්තේද එම කෙළියම ය. අවුරුදු හත් දහසක් පරණ මේ වගුරු බිම බස්නාහිර පළාතේ තෙතමනය නඩත්තු කරමින් චිරාත් කාලයක් ඔහේ තිබිණ. ශිෂ්ටාචාරයේ කොටසක් වශයෙන් ගොවිතැනට පුරුදු වූ ලාංකිකයෝ මෙයට අවුරුදු දහස් ගණනකට පෙර මුතුරාජවෙලේ කොටසක් වගා කළහ. අවුරුදු දහස් ගණනකට පසු මේ රටේ මිනිස්සු එයින් තව කොටසක් ගොඩ කළහ. මුතුරාජවෙල වගුරු බිම මෙයට අවුරුදු 7000 ට පෙර තිබුණේ හෙක්ටයාර් තුන්දහසක් විශාල මඩ වගුරක් ලෙසය. මිනිසුන් ශිෂ්ටත්වයට පත්වීම, රෙදි ඇඳීමට පටන් ගැනීම, බත් කෑමට පුරුදුවීම, ගෙවල් සෑදීම ඇරඹීම, නිවාස යෝජනා ක‍්‍රම සඳහා ඉඩම් පවරා ගැනීම, ගොල්ෆ් ගසන්නට පුරුදුවීම, හෙලිකොප්ටර් අංගන තැනීම වැනි හේතු ගණනාවක් නිසා මේවන විට මුතුරාජවෙල සතුව තිබූ ආරම්භක හෙක්ටයාර් 3000 න් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් දාහක් පමණි. ඉතිරි හෙක්ටයාර් 2000 මිනිසුන් විසින් ගිල දමනු ලැබ ඇත.

 පරිසර කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල වගුරු බිම ගොඩකර හෙලිකොප්ටර් යාඞ් එකක් සෑදීම සඳහා අනුමැතිය ලබා දීමක් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ. ඇතැම් පුද්ගලයන් මුතුරාජවෙල තෙත් බිමට අනවසරයෙන් ඇතුළු වී එම පරිසර පද්ධතිය කා දමන බවට සාක්ෂි කෝපා කමිටුවට ලැබී ඇත. මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් 65102 ක්, පර්චසය රුපියල් 500 බැගින් මිලට ගැනීමට මෙයට කලකට පෙර එක්තරා ඉඩම් සංවර්ධන සමාගමක් කටයුතු කළේය. එය නීති විරෝධී ගනුදෙනුවක් බව පසුව හෙළිවිය. නීති විරෝධී ගනුදෙනුවකදී බඩු ගත්ත අය මෙන්ම බඩු වික්ක අයද වග උත්තරකාරයෝ වෙති. අපගේ වැටහීමට අනුව මෙහි වැඩිම වැරැද්ද ඇත්තේ බඩු ගත් අය නොව බඩු වික්ක අය අතය. උදාහරණයක් වශයෙන් කසිප්පු කර්මාන්තයේදී කසිප්පු මිලට ගෙන පානය කරන්නාට වඩා ලොකු වරදක් කරන්නේ කසිප්පු පෙරන්නාය. කුඩු ගහන අයට වඩා කුඩු විකුණන අයට පනිෂ්මන්ට් එක සැරය. මෙය සාමාන්‍ය ව්‍යවහාරික තත්ත්වයයි. මුතුරාජවෙලින් පර්චසයක් රුපියල් 500 ට විකුණන බව ආරංචි වූ විට එහි දිව ගොස් තම වාරය එනතුරු පෝලිමේ සිටගෙන සිටීමට ඕනෑම ජාවාරම්කාරයෙක් කැමතිය. එහෙත් ජාවාරමා එතනට දක්කාගෙන එන්නේත් ඔහුගෙන් මුදල් ලබා ගන්නේත් ආණ්ඩුවය. මෙහිදී අප විසින් ආණ්ඩුව ලෙස හඳුන්වනු ලබන්නේ මුතුරාජවෙලින් ඉඩම් විකිණීමට අවසරය ලබාගෙන තිබෙන රජයේ ආයතනයයි. මෙතැන් සිට පටන්ගන්නේ

 දුරදිග යන කතාවකි. ආණ්ඩුවේ ආයතනයක් පටන්ගැනීම සහ බුලත් විට කඩයක් පටන් ගැනීම අතර වෙනසක් පවතී. බුලත්විට කඩයක් දැමීමට අවශ්‍ය තැනැත්තාට උදේ පාන්දර පිටකොටුවේ කැලෑ මාර්කට් එකට ගොස් බුලත්, පුවක්, හුණු, දුම්කොළ මිලට ගෙනවුත් බුලත් විට සාදා උදේ හත වනවිට කඬේ වැඩ පටන් ගැනීමට පුළුවන. එහෙත් ආණ්ඩුවේ ආයතනයක් පිහිටුවන විට ඒ සඳහා කැබිනට් පේපර් දැමිය යුතුය. කැබිනට් මණ්ඩලයෙන් අවසර ලබාගත යුතුය. ආයතනය පිහිටුවීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාගත යුතුය. ඒ ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය නම්මාගත යුතුය. එබැවින් මුතුරාජවෙල ඉඩම් පර්චසය රුපියල් 500 ගණනේ විකිණීම හෙලිකොප්ටර් යාඞ් එකක් නොව දෙකක් හැදීම තරමටම ලොකු ප්‍රොජෙක්ට් එකකි. මුතුරාජවෙල ඉඩම් විකුණන ආයතනය රාජ්‍ය ආයතනයක් නම් කාට දඬුවම් කළ යුතුද යන ප‍්‍රශ්නය හටගනී. මෙම නඩුව විසඳීම සඳහා කැඳවිය යුත්තේ කැකිල්ලේ රජතුමාය. එවිට ආණ්ඩුවට දඬුවම් නොකර, ඉඩම් පර්චස් එක රුපියල් 500 ගණනේ විකුණූ දවසේ එතැන ගැවසෙමින් සිටි කඩලකාරයෙක්, වඬේකාරයෙක් හෝ සාරවිට වෙළෙන්දෙක් අල්ලා හිරේ දමා ෆයිල් එක වසා දැමිය හැකිය.

 මුතුරාජවෙල වැනි පරිසර පද්ධතීන් හඳුන්වනු ලබන්නේ ඩසරටසබ ප්ියස ක්බා හෙවත් කන්‍යා වගුරු බිම් ලෙසය. එනම් අදූෂිත වගුරු බිම් ලෙසය. මිනිස්සු තම කුපාඩිකම මතුවීම නිසා මෙබඳු වගුරු බිම් පුරුද්දට දූෂණය කරති. මුතුරාජවෙල යනු කසිප්පු කාරයන්ගේ ප‍්‍රාන්තයකි. බස්නාහිර පළාතේ ගෝඩා හැලි වලින් වැඩිම ප‍්‍රමාණයක් තිබෙන්නේ මුතුරාජවෙල වගුරු බිම් අස්සේ ඇති ළිප් ගල් මතය. කසිප්පු නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන අපද්‍රව්‍ය සියල්ලම බැහැර කරන්නේ මුතුරාජවෙලටය. මුතුරාජවෙල යනු ඡුන්ද පදනමකි. මේ නිසා එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව දේශපාලනය කරන සියලූම දෙනා කසිප්පුකරුවන් රැුක ගැනීමටත් ඔවුන් පරිසරයට කරන හානිය නොදැක සිටීමටත් පුරුදු වී සිටිති. මුතුරාජවෙල රැුක ගැනීමේ සටන මෙයට අවුරුදු 15 ට පමණ පෙර මේ රටේ පරිසරවේදීන් විසින් ආරම්භ කරන ලදී. මෙහි ඇති ජෛව විවිධත්වය කෙතරම් ද යත් ඉන්දියාවට සහ ලංකාවට පමණක් ආවේණික උනහපුළු වර්ගයක් ද ඇතුළුව විවිධ වන ජීවීන් 125 වර්ගයකට වඩා මෙහි වාසය කරති. මේ භූමිය රැුක ගැනීම සඳහා අති උත්තම මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් ද වැඩට බැස ඇති බව දැනගන්නට තිබේ. මුතුරාජවෙල ඇතැම් ප‍්‍රදේශවල කතෝලික ප‍්‍රජාව බහුලය. මේ අගනා භූමිය දූෂණය නොකර සිටීම සඳහා ඔවුන් නම්මා ගැනීමට කාදිනල්තුමාට පුළුවන. මේ ගැන කතා කළ යුතු තවත් බොහෝ දේ තිබේ. ඒවා ඉදිරි දිනක කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment