බොහෝමයක් පාස්පෝට් අරන් තියෙන්නේ ගෙදර තියාගන්නලු
2023 වසරේ නිකුත් කළ පාස්පෝට් ප්‍රමාණයෙන් භාවිත කොට ඇත්තේ 23% ක්: ඉතිරි පාස්පෝර්ට් 77% ක්ම භාවිත කර නෑ
– ආගමන විගමන හිටපු පාලක
නොවැම්බර් මාසය අවසානය දක්වා ටෝකන් ලබාදී අවසන් හදිසි අවශ්‍යතාවන් සඳහා සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන එන්න
ආගමන විගමන පාලක ජනරාල් (වැඩ බලන) සී. එම්. ඩී. නිලුෂා බාලසූරිය
පාස්පෝට් ගන්න පෝලිම තිබුණට වීසා ගන්න පෝලිම් නෑ
පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් දෙන්න රුපියල් 5000 ක් අය කරලා
යස ඉසුරු සොයන්නට මෙතර සිට එතෙර යන්නට වැඩිදෙනකු තැත් කරන්නේ මෙරට වියදමේ හැටියට ලැබෙන ආදායම හිඟවෙන නිසාවෙනි. ආණ්ඩුවේ රස්සාවක්, පුද්ගලික අංශයේ රස්සාවක් හෝ වේවා දැන් වැඩිමනක් අයට එහි ලබන වැටුප මාසයක් ජීවත්වීමට තබා සතියකටත් මදිය. කුලීකරුවකුට, වතුකම්කරුවකුට ලැබෙන දවසේ වැටුප යන්තමින් එදා වේල පිරිමසා ගන්නටත් ප්‍රමාණවත් නැත. බොහෝ අය මේ ඔක්කොම පැත්තකට දමා ඒජන්සි කරුවකුගේ පිහිටෙන් හෝ රජයේ කොරියන්, ජපන් ආදී විභාග ලියා විදෙස් ගත වන්නේ කෙසේ හෝ තම ජීවිතය හෝ පවුල ගොඩදමා ගැනීමටය. වැඩිදුර අධ්‍යාපනයට, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෙනී සිටීමට, විවිධ සංචාර සඳහා යන අයද විදෙස් ගත වන්නන් අතරය.
මේ හේතුවෙන් බත්තරමුල්ල පාස්පෝට් කන්තෝරුවට නම් වැඩ රාජකාරි බහුලය. වැලනොකැඩී ඇදෙන ජනතාවත්, ඈත දුරබැහැර පළාත් වලින් පෙර දිනයේ සිට පැමිණ පෝලිම්වලට වී සිටින පාස්පෝට් අයදුම්කරුවන්ගෙන් බත්තරමුල්ල පාස්පෝට් කන්තෝරුව පිරී ඉතිරී යන්නේය. මෙසේ පැමිණෙන ජනතාවගෙන් නැගෙන දුක් මැසිවිලි, චෝදනා වලින් අඩුවක් නැති පාස්පෝට් කන්තෝරු භූමිය එකම ගාලගෝට්ටියකි. රජය මගින් හදිසි අවශ්‍යතා ඇති අය පමණක් පාස්පෝට් ගන්නට පැමිණෙන ලෙස කොතරම් අවවාද කළත් පාස්පෝට් කන්තෝරුවේ පෝලිම් දකින විට එම අවවාද කනකටවත් නොගන්නා බව පෙනී යන්නකි. මේ වනවිට රජය මගින් නැවත වතාවක් online ක්‍රමවේදය හඳුන්වා තිබුණද තවමත් එහි ඇත්තේ නොසන්සුන් බවකි. මින් පෙරද පාස්පෝට් කන්තෝරුවේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව අප විශේෂාංග ලිපියක් මගින් පළකළ අතර පසුගිය දිනක අප එහි ගිය අවස්ථාවේදී ද අතුරු සිදුරු නැතිව පිරීගිය පාස්පෝර්ට් කන්තෝරුවේ සෙනඟ දුටු විට හැඟී ගියේ මෙතරම් ප්‍රමාණයක් විදෙස් ගත වන්නේ ද යන්නය. ඒ පිළිබඳ විමසා බැලූ විට ඇත්තෙන්ම එය එසේ නොවන වග කීමට කාරණා බොහෝය.
පසුගිය වසරේ නිකුත් කළ පාස්පෝර්ට් වලින් 77% භාවිතා නෑ
මෙය කියන්නේ අප නොව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මගිනි. ඒ අනුව 2022 කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන්නේ 2022 වසරේ සියලු වර්ගවල පාස්පෝට් 911,689ක් නිකුත් කොට ඇති බවයි. එනම් 2018 සිට 2022 දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කොට තිබෙන පාස්පෝර්ට් සංඛ්‍යාව 2,678,765කි. එම දෙපාර්තමේන්තු මගින් 2023 වර්ෂයේදී පාස්පෝර්ට් 849,829 නිකුත් කොට තිබෙන අතර එය 2022 වසරට සාපේක්ෂව පාස්පෝට් 61,928ක හෝ 6.79% ක අඩුවීමකි. එමෙන්ම සාමාන්‍යයෙන් පාස්පෝට් එකක ආයු කාලය වසර දහයකි. අස්ථානගතවීම්, විනාශවීම් හෝ වෙනත් හේතුවක් නිසා පාස්පෝට් එක අහිමි වුවද පාස්පෝට් සඳහා මෙතරම් ඉල්ලුමක් ඇතිවීමට හේතු කාරණා සොයාබැලිය යුතුය. පසුගිය වසර කිහිපය දෙස බැලීමේදී 2022 වසරේ පාස්පෝට් 911,689 නිකුත් කළද මෙරටින් රැකියා සඳහා පිටත් වී ඇත්තේ 311,000කි. 2023 වසරේ රැකියා සඳහා විදේශගත වී ඇත්තේ 230,000 ක පිරිසකි. එයට අමතරව උසස් අධ්‍යාපනය සඳහා වසරකට 10,000-12,000 අතර පිරිසක් ලංකාවෙන් පිටවී ගොස් ඇත.
ආගමන විගමන පාලකවරයා කියන හැටියට 2023 වසරේ නිකුත් කළ පාස්පෝට් ප්‍රමාණයෙන් රටින් බැහැර වීමට භාවිත කොට ඇත්තේ 23% ක් වැනි ඉතා අවම ප්රමාණයකි. ඔහු කියන්නේ ඉතිරි පාස්පෝර්ට් 77%ක්ම භාවිතයට ගෙන නැති බවය.
පාස්පෝට් ගන්නේ ඇත්තටම රට යන්නද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (ඌ) සහ (එ) ව්‍යවස්ථාවන්වල ශ්‍රී ලංකාව තුළ යෑම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමට සහ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට ශ්‍රී ලාංකිකයකුට හිමිකම් ඇත්තේය යනුවෙන් සඳහන් වේ. ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට පාස්පෝට් එකක් ලබාගැනීමට කිසිදු බාධාවක් නැත. එහෙත් අප කියන්නට යන්නේ මේ වනවිට බහුතරයක්ම පාස්පෝට් එක ගන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිම් වල සිටියාට ඒ සියලු දෙනාම විදෙස්ගත නොවන බවයි. අප එසේ කියන්නේ අද සමාජයේ වැඩිදෙනකු ක්‍රියා කරන්නේද සමාජයේ පවතින රැල්ලට අනුව නිසාය. එය අනුවණ කමකි. එහෙත් මේ කතාව තමන්ගේ අවශ්‍යතාවයට විදෙස් ගත වන්නන්ට වලංගු නොවන බවද සිහිපත් කළ යුතුය. (ආසාවට පිටරට රැකියා සඳහා නොයන බව අපි දනිමු.) එසේ නම් මේ කතාව වලංගු වන්නේ කිසිදු සැලසුමක් නොමැතිව විදෙස් ගමන් බලපත් ගන්නට පෝලිම් ගානේ කල්මරණා අයටය. එයින් ප්‍රයෝජන ගන්නේද රටෙහි අස්ථාවර බවක් නිර්මාණය කර එයින් දේශපාලන වාසි ගන්නා උදවිය ය. මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් තිබියදීත් එම කාර්ය යම්කිසි මට්ටමකට සිදුකළ ද එහි ගැටලුකාරී තත්ත්වයක් හටගන්නේ නිස්කාරණයේ එහි වෙත පැමිණ පෝලිම්වල පෙළගැසෙන පුද්ගලයන් නිසාය.
පාස්පෝට් කතන්දරය තවත් අලුත් ගේමක්ද?
මෙරට පාස්පෝට් කතන්දරේ ඇත්ත තත්ත්වය එයයි. එවන් තත්ත්වයක් තිබියදීත් ආගමන විගමන කාර්යාලය එකම මිනිස් හිස් ගොඩකින් පිරී ඉතිරෙන්නේ ය. ඇත්තෙන්ම මෙතරම් පිරිසක් ආගමන විගමන කාර්යාලයට පැමිණෙන්නේ කුමක් සඳහාද? පසුගිය 2022 වසරේද ආගමන විගමන කාර්යාලයේ පාස්පෝට් පෝලිම් තුළ පැවතියේ මෙවැනිම තත්ත්වයකි. එයට හේතුව පවතින ආර්ථික තත්ත්වය බවද අපි දනිමු. කොරෝනා වසංගතයත් සමග මෙරට මුහුණ පෑ දරුණුතම ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස බොහෝදෙනකු විදෙස්ගතවීමට තීරණය කළහ. එයට අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ගැනීමට පෝලිම් තුළට වී සිටි ජනතාව පසුගිය කාලය පුරාවටම අප අනන්තවත් දැක ඇත්තෙමු. පසුගිය දින කිහිපයේදී ද පාස්පෝට් කන්තෝරුවේ තිබූ අධික තදබදය හා මහජන විරෝධය ගැන මාධ්‍ය මගින් ප්‍රචාරය කරද්දී එහි පෝලිම් තුළ සිටි පිරිස දැක්වූ කරුණු අනුව මෙය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සැලසුම් කරන ලද්දක් ද යන්න සිතිය හැකිය.
පාස්පෝට් ගන්න සෙනඟ හිටියට වීසා ගන්න කට්ටිය නැතිලු
බත්තරමුල්ලේ පාස්පෝට් කන්තෝරුවේ පෝලිම් නිරීක්ෂණය කරන්නෙකුට හැඟී යන්නේ ලෝකයේ කිසිදු රටක නැති තරමේ උනන්දුවක් ලංකාවේ ජනයාට පාස්පෝට් සඳහා තිබෙන බවය. ඇත්තෙන්ම එහි පවතින පෝලිමට සාපේක්ෂව වීසා පෝලිම්ද තිබිය යුතුය. ඒත් මෙරට පවතින තානාපති කාර්යාල කිහිපයකටම අප ගියද එවැනි පෝලිම් එහි දක්නට නොලැබිණි. අඩුම තරමේ ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට වත් පෝලිමක් තබා එහි සේයාවක්වත් නොමැත. මීට කලකට පෙර ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ පෙරවරුවේ තරමක පෝලිමක් දැකගන්නට තිබුණද දැන් එහි පෝලිම් දක්නට නැත. තවද මේ වන විට යුරෝපීය රටවල් සඳහා වීසා ලබාදීමේ දී පාස්පෝර්ට් සහ අයදුම්පත්‍ර භාර ගැනීම VFS වැනි පෞද්ගලික ආයතනවලට පවරා තිබුණද එම ආයතන තුළද මේ කියන තරමේ පෝලිම් තදබදයක් නැත. එසේ නම් පාස්පෝට් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෙතරම් පිරිසක් පෝලිම් ගැහෙන්නේ කුමකටද? පසුගිය කාලය තුළ දින ගණන් පෝලිම්වල රැඳී සිටිමින් පාස්පෝට් එක ගත්තේ තමා සන්තකව තබාගැනීමට පමණක් ද යන්න අප ඇසිය යුතුය. කෙසේ වෙතත් පසුගිය රජය විසින් නියමිත කාලයට පාස්පෝට් ඇණවුම් භාර නොදීමෙන් උද්ගත වූ පාස්පෝට් ප්රශ්නය මහජනයා වෙත පැටවිය නොහැක. වත්මන් මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කියන්නේ ද පසුගිය මස ඔක්තෝබර් 23 වන විට පාස්පෝට් 50,000ක් පමණ ලැබුණු බවය. තවද පාස්පෝට් 100,000ක් පමණ මේ මාසයේදී ලැබීමට නියමිත බව ඔහු කියන්නේය. බොහෝ විට එම පාස්පෝර්ට් ලැබීමත් සමග මෙම පාස්පෝට් හිඟය යම්තාක් දුරට මගහැරෙනු ඇතැයි ද ආණ්ඩුවේ විශ්වාසය ය.
පාස්පෝර්ට් දෙන්න නැවතත් ආපු ඔන්ලයින් ක්‍රමය
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් පවතින අර්බුදය විසඳීමට නැවතත් කලින් පැවැති ඔන්ලයින් ක්රමවේදයම හඳුන්වාදී ඇත. ඒ අනුව පසුගිය 6 වැනිදා සිට නව මාර්ගගත ක්‍රමය යළිත් ක්‍රියාත්මක බැවින් ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනයක් වෙන්කරවා ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල් (වැඩ බලන) සී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය පසුගිය (04දා) පැවසුවාය. ඇය ඒ පිළිබඳව වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නකි.
“දිනයක් වෙන්කරවා ගැනීමට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබාදෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන්කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන්කරවා ගැනීමට පුළුවන්. 6 වැනිදායින් පසුව දිනයක් වෙන්කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා.”
හදිසි විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ද එය සඳහා සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන ආ යුතු බවද ආගමන විගමන පාලක ජනරාල්වරිය කියයි.
“ඇත්තෙන්ම හදිසි අයෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවය තිබුණත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබාගැනීම සිදුකළ යුතුයි. ඒ දිනය ලබාගන්න කොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබාගත්තා. නමුත් ඊට කලින් මට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අවශ්‍යතාවය තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවය සනාථ කරන්න පුළුවන් ලියකියවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්. අපි මේ වෙනකොට ඒ වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුව හමුවට ඔබගේ අවශ්‍යතාවය සනාථකරගන්න කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබාගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා මාධ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූට ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේ ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න නොපමාව සූදානමින් සිටිනවා.”
ඇය කියන්නේ පාස්පෝට් පෝලිම් දෙසැම්බරයේ සිට අවසන් කරන බවත්, මේ වනවිටද නොවැම්බර් මාසය අවසානය දක්වා ටෝකන් ලබාදී තිබෙන අතර එසේ ටෝකන් නිකුත් කළ අයට පමණක් එදිනට විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි බවය.
මින් පෙරද ඔන්ලයින් ක්‍රමයක් දින වෙන්කරදීම සඳහා පැවතුණ ද වත්මන් රජය එය අසාර්ථක වූයේ මන්ද යන්න සොයාබැලුවා ද යන්නද අප ඇසිය යුතුය. එහෙත් මේ කියන පාස්පෝට් පෝලිමට රටේ සිව්දෙසින් පිරිස බත්තරමුල්ලේ පාස්පෝට් කාර්යාලයට පැමිණීමත් එක් හේතුවකි. එසේ නම් කළ යුත්තේ පාස්පෝට් ලබාගැනීමට කොළඹට පැමිණීම අඩු කිරීමට නිසි ක්‍රමවේද සැකසීමය. ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිටත් ක්‍රියාත්මක ප්‍රාදේශීය කාර්යාල හතරක් පවතින්නේය. මහනුවර, කුරුණෑගල, මාතර සහ වවුනියාව යන ප්‍රදේශවල මේ කියන කාර්යාලද පිහිටා ඇත්තේ ය. එහි අඩුපාඩු ඇත්නම් සකස් කොට එකී පළාත් වලින් පාස්පෝට් අයදුම් කරන පිරිස් එම පළාතේ ඇති ප්‍රාදේශීය කාර්යාලවලට යොමුකර කොළඹ ආගමන විගමන කාර්යාලයේ තදබදය අවමකර ගත හැකිය.
මුදලට විකිණෙන පෝලිමේ ‘ප්ලේස්’
පසුගියදා අනාවරණය වූයේ පාස්පෝට් කන්තෝරුවේ ඉදිරිපිට ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බවය. එහි ඇත්ත නැත්තද සොයාබැලීම පිණිස පාස්පෝට් කාර්යාලයේ සංචාරයක යෙදුණු අපට පාස්පෝට් පෝලිම මුදලට විකිණෙන බව එහි පෝලිමේ සිටි බොහෝදෙනකු කීහ. ඔවුන් කියන්නේද තමන් පෙර දිනයේ සිට පාස්පෝට් කාර්යාලයට පැමිණියේ පෝලිමේ මුල් තැනක් කෙසේ හෝ අල්ලා ගන්නට බවය. එහෙත් ඔවුන් කියන හැටියට වංචනිකයන් පිරිසක් විසින් පාස්පෝට් ටෝකන් දෙන පෝලිමේ වැඩිමනක් තබා ඇත්තේ ඔවුන්ගේම පිරිසය. ඔවුන් එහි කරන්නේ පෝලිමේ තැන් අල්ලාගෙන මුදලට විකිණීමය. දිනපතාම පාහේ පාස්පෝට් ගන්නට, ඉදිරි දිනයක් වෙන්කර ගැනීමට දෙදහකසටත් අධික සෙනඟක් එහි සිටින අතර එහිදී ඉදිරි දිනයක් ලබාගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000කට ආසන්න පිරිසකටය. එහෙත් පෙර දිනයේ එම පෝලිම්වලට පුද්ගලයන් තබා පෝලිමේ ඉදිරිපෙළ අල්ලා තැරැව්කරුවන් ‘කාක්කන්’ එය විකුණන්නේ කහකොණ්ඩ පක්ෂියා සිටින කහපාට සල්ලි කොළ වලට ය. බොහෝ විට විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ජාවාරම්කරුවන් විසින් පෙර දිනයේ හෝ එදින පාන්දර ජාමයේ සිට තබා දහවල් කාලයේදී එම ස්ථානය පාස්පෝට් අයදුම්කරුවන්ට විකුණන්නේ ය. බොහෝ අයදුම්කරුවන් කියන හැටියට ඔවුන් මේ සෙල්ලම පසුගිය කාලය පුරාවටම ජයටම කළ බව දැන් සනාථය. අප මෙම සටහන අවසන් කරන්නේද පාස්පෝට් ගන්නට අනුරාධපුරයේ සිට පැමිණි අයෙකු කී කතාවකිනි.
“අපි කොච්චර දුර ගෙවාගෙනද එන්නේ පාස්පෝට් එක හදාගන්න. මම පෝලිමට ආවේ ඊයේ. රෑ ගතකළෙත් මේ කාර්යාලයේමයි. ඒත් මට බැරිවුණා පෝලිමේ ඉස්සරහ අල්ල ගන්න. ඒත් ඒකට මේකෙ වෙනම සෙට් එකක් මෙහේ ඉන්නවා කියලා මම දැනගත්තා. ඒ අය කරන්නේ බිස්නස් එකක්. අනික ගොඩක් මිනිස්සු මේ අයට අහුවෙනවා. ගොඩක් වෙලාවට පාස්පෝට් එක හදිස්සි මිනිස්සු ගාණ කීයක් වුණත් කමක් නෑ කියලා පෝලිමේ තැන අරගන්නවා. ඒ විතරක් නොවේ ගොඩක් අය පාස්පෝට් එක ගන්න ඇවිත් ඉන්නේ හරියට රට යනවද නැද්ද කියලවත් තීරණයක් නැතිව. ඒ අයත් එක්ක කතාබහ කරන කොට අපට තේරෙනවා. ඒකත් මෙතන සෙනඟ පිරෙන්න එක කාරණාවක්. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ පාස්පෝට් කන්තෝරුවේ එළියේ ඉන්න වෙනම කොටසක්. ඉතින් මේක අපි කාට කියන්නද? අපි කියන්නේ අලුත් රජයෙන් හරි ඉක්මනින්ම මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියලා.” ඔහු එසේ කියන්නේ පාස්පෝට් කන්තෝරුවේ මෙතෙක් සිදුවූ වංචාව, දූෂණය දුරුකොට ඇඳුනුම්කම් හා හිතවත්කම් මත අවිධිමත් ලෙස පාස්පෝට් නිකුත් කිරීම ඉතා කෙටි කාලයක් තුළ අලුත් ආණ්ඩුව අවසන් කරනු ඇතැයි ද බලාපොරොත්තු ඇතිවය.
රමින්ද මාවතගේ