ගම්පහ යටවුණේ මධ්‍යම අධිවේගය නිසාද?

245

තරංග රත්නවීර

කොරේ පිටට මරේ…’ කොවිඞ් මාරයා වේගයෙන් රට පුරා දිවයමින් මිනිසුන් පොකුරු, පොකුරු ග‍්‍රහණයට ගන්නා පසුබිමක නිරිත දිග මෝසමත් මුරණ්ඩු විය. දින කිහිපයක් එක දිගට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහවැලි, කැලණි, නිල්වලා, කළු ගංගා මෙන්ම අත්තනගලූ ඔය ද පිටාර ගැලීමෙන් මෙරට ප‍්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට විය. කොවිඞ් මාරයා යට කරගෙන දෙගොඩ තලා ගිය ගංවතුර හේතුවෙන් මේ ලිපිය සටහන් තබන මොහොත වන විට පවුල් දෙලක්‍ෂ හැත්තෑදහසකට වැඩි සංඛ්‍යාවක් අවතැන් වී, මුළු රටම කම්පනයට පත් කරවමින් කෑගල්ල, දෙවනගල ප‍්‍රදේශයේ එකම පවුලේ සිව්දෙනකු සහ තවත් ප‍්‍රදේශ කිහිපයක පුද්ගලයන් දහනවදෙනකුට ජීවිත අහිමි වී ඇති බව වාර්තා වේ. තවමත් අවදානම් තත්ත්වය පහව ගොස් නැත. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල නාය යෑමේ අවදානම තවදුරටත් තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබිණි. එවැනි ආපදා තත්ත්වයකදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්පහ ප‍්‍රදේශය පෙර නොවූ ගංවතුරකින් යට වූ බව එම ප‍්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ.

‘‘මට වයස අවුරුදු 69 යි. මගේ ජිවිත කාලය පුරා ගම්පහට බලපෑව ලොකුම ගංවතුර තමයි මේ. ගම්පහ, ජාඇල පාරට මායිම්ව අපේ නිවස පිහිටා තියෙන්නෙ උස් ස්ථානයක. මෙච්චර කාලයකට ගංවතුරට යට වුණේ නෑ. ඒත් මේ වතාවේ අපේ වත්තට වතුර දැම්මා…’’ අප සමඟ එසේ අදහස් පළ කළේ නොයෙල් ඞී. පෙරේරාය. ඔහු ගම්පහ ප‍්‍රදේශයේ හිටපු ප‍්‍රසිද්ධ ජනතා නියෝජිතයෙකි.

gampaha2පට්ටියගම, අලූත්ගම, ඉහළගම, මැදගම සහ පහළගම යන ගම්මාන පහකින් එකතු වූ ප‍්‍රදේශය ගම්පහ ලෙස හඳුන්වනු ලැබේ. මේ ගම්මාන පහේම සීමාවෙන් ගලා බසිනා සහ ගම්පහ ආසනය මායිමෙන් ගලා යන අත්තනගලූඔය පිටාර ගලන සෑම වැසි තත්ත්වයකදීම ගම්පහ යට වන බව සත්‍ය කතාවකි. එම ගංවතුර අවදානම් තත්ත්වය හඳුනාගත් මෙරට පාලනය කළ ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් කුණ්ඩිවිල ඇළ සකස් කර මහා පරිමාණයෙන් ගම්බිම් යට නොවන ආකාරයටත්, පිටාර ජලය කුඹුරු යායට ගලා බසිනා ආකාරයටත් ජල ප‍්‍රවාහන පහසුකම් ඇති කර තිබිණි. නුවරඑළිය නගරය හැරුණුකොට ඉංග‍්‍රීසි පාලන සමයේ මෙරට නිර්මාණය කර ඇති සැලසුම් සහගතම නගරය ගම්පහය. අද ගම්පහ දුම්රිය නැවතුම්පොළ නමින් හැඳින්වෙන එදා ඉංග‍්‍රීසි ආණ්ඩුව යටතේ ඉදි වූ හෙනරත්ගොඩ දුම්රිය නැවතුම්පොළ පළාතේ පැරැණිතම දුම්රිය ස්ථානයක් බවද සැබෑය. එමෙන්ම ඉංග‍්‍රීසි පාලන සමයේ මෙරට ප‍්‍රථම රබර් පැලය සිටුවීමට තෝරාගෙන ඇත්තේ ද ගොඩ, මඩ සරුසාර භූමියක් සහිත ගම්පහ ප‍්‍රදේශය බව ඉතිහාසයේ සඳහන්ය. එහෙත් මේ වන විට ජලය බැස ගිය ඇළ මාර්ග අවහිර කරමින්, ගොඩ මඩ සරුසාර බොහෝ ඉඩම් අනවසරයෙන් ගොඩ කර ගොඩනැඟිලි ඉදිකර ගම්පහ කොන්ක‍්‍රීට් පුරවරයක් බවට පරිවර්තනය කර ඇති බව ගංවතුරෙන් පීඩාවට පත් වී සිටින ප‍්‍රදේශවාසීහු අපට කීහ.

‘‘ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පිහිටි ප‍්‍රදේශය ඉස්සර මහා කැලෑවක්. ගෝන්නුත් ඉඳලා තියෙනවා. බණ්ඩාරනායක පාසල, ගම්පහ රෝහල කඳු ආශ‍්‍රිත භූමිවල ඉදිකරලා තියෙන්නෙත් ප‍්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වය සැලකිල්ලට අරගෙන. ඒත් පසුකාලීනව ප‍්‍රදේශයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන, අධ්‍යාපන ආයතන ගොඩනැඟිලි ඉදිකරලා තියෙන්නෙ ඇළ මාර්ග පහත් බිම් මහා පරිමාණයෙන් ගොඩ කරලා. ඒ කාලේ ගම්පහ ස්ථාන කිහිපයක වතුර ගලන පොදු ළිං තිබුණා. දැන් ඒ ළිං සේරම වහලා, ඒවා මත ගොඩනැඟිලි හදලා. අපේ ගමේ පොදු ළිඳ වහනවට විරුද්ධව කතා කළාට මට මරණිය තර්ජනත් ආවා. ගම්පහ නගරයේ උපකාරක පන්ති ගොඩනැඟිලි බොහෝමයක් ඉදිකරලා තියෙන්නෙ පහත්බිම් ගොඩ කරලා. ඒ සන්දියේ පහළගම ජාඇල පාරේ ගෙවල් තිබුණේ නෑ. නිතර යට වෙන ප‍්‍රදේශයක්. පට්ටියගම, අලූත්ගම, ඉහළගම, මැදගම ගම්මානවල සේරම ජලය එකතු වෙන්නෙ පහළගමට. එම ප‍්‍රදේශයේ සාරවත් කුඹුරු යායවල් තිබුණා. දැන් ඒ සේරම කුඹුරු ඉඩම් ගොඩ කරලා ගෙවල් හදලා. වතුර බහින්න තැනක් නෑ. ගම්පහ රෝහල ඉදිරිපිට කෙටල ඇළෙන් තමයි ගම්පහ නගරයේ සේරම ජලය බහින්නෙ. නගරයේ සේරම කුණු හෝදගෙන යන්නෙත් ඒ ඇළෙන්. අවට බොහෝ නිවාසවල කුණු කාණු හරවලා තියෙන්නෙත් කෙටල ඇළට. කුමාරතුංග මාවතේ කනත්තෙ වළවල් හාරනකොට මිනී ඇටකටු, අපද්‍රව්‍ය මතු වුණාම ඒවා ගිහින් දාන්නෙත් කෙටල ඇළට. දැන් ඒ ඇළ සම්පූර්ණයෙන් කුණු ගොඩක් වෙලා. වතුර බහින්නෙ නෑ. ඇළ දිගට කුණු ජරාව එකතුවීමත් එක්ක අපේ ගමේ ළිංවලට අසූචි මිශ‍්‍ර වෙලා වතුර බොන්නත් බැරිව ගියා. අවුරුදු ගාණකින් මේ ඇළ සුද්ධ කරලා නෑ. ගම්පහ නගරය, පහළගම, කොස් ඕවිට කැකුළන්ගොඩ, මාකිලන්හන්දිය දිගටම යට වෙන්න ප‍්‍රධාන වශයෙන් බලපෑවේ කෙටල ඇළේ ජල බස්නය අවහිරවීම. ඒ වගේම ගම්පහ නගරය සමීපයෙන් ගමන් කරන කොළඹ-කුරුණෑගල අධිවේගී මාර්ගයත් මෙවර ගංවතුර වැඩිවීමට ප‍්‍රධාන හේතුවක් වෙලා තියෙන බව පේනවා. වෙනදා ගංවතුර ගලන දිසාව මෙවර වෙනස් වෙලා නගරයට වතුර ගැලීම වැඩි වුණා…’’ ගම්පහ සමඟ වියපත් වූ නොයෙල් ඞී. පෙරේරා මහතා ප‍්‍රදේශයේ දැනමුත්තෙකි. ඉතිහාසයෙත්, වර්තමානයෙත් ගම්පහ යට කිරීමට පාදක වූ සියලූම අවිධිමත් ඉදිකිරීම් ගැන ඔහු දැනුවත්ය. එහෙත් ඔහු අප සමඟ කතා කළේ සීමා මායිමේ සිට බව අපට වැටහිණි.

gampaha3ගම්පහ නපුරු ප‍්‍රදේශයකි. පස් කඳු, බොරළු කඳු බෙදාගැනීමට නොහැකිව, ඉඩම් ගොඩකිරීම් සම්බන්ධ ගැටලූවලට මිනිස්සු මරණ තිරිසන් ව්‍යාපාරිකයන්, ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කිරීමට අලූගෝසුවන් බදු මැරයන්ගෙන් අඩුවක් නැති ගම්පහ පහත්බිම් ගොඩකිරීම සම්බන්ධයෙන් කතා කිරීමේදී නොයෙල් මහතාගේ පරිස්සම්වීම සාධාරණය. එමෙන්ම තම ගම් ප‍්‍රදේශයේ පොදු ළිඳ වැසීම සම්බන්ධයෙන් කතා කිරීමේදී පැමිණි මරණ තර්ජන බිය තවම ඒ වියපත් සිතට දැනෙන බවද නොරහසකි. එහෙයින් නොයෙල් ඞී. පෙරේරාට සමුදී, ගම්පහ හිටපු නාගරික මන්ත‍්‍රිවරයෙක් මෙන්ම ගම්පහ විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපති ලක්‍ෂ්මන් වසන්ත අරංගල්ල මහතා ගංවතුර සම්බන්ධයෙන් කියන කතාවට දැන් අපි සවන් දී සිටින්නෙමු.

‘‘ගම්පහ නගරය යට වුණේ දීර්ඝ කාලයක ඉඳලා සිදු කරපු අවිධිමත් ඉදිකිරීම්වල ප‍්‍රතිඵලයක් නිසයි. වැහි වතුර එක්රැස්වන ස්ථාන, නගරයේ ජලය ගලා බසිනා සියලූ ස්ථාන වහලා ගොඩනැඟිලි ඉදිකරලා. ගම්පහ නගරයේ වතුර බහින්න පහළගම හන්දියේ තිබුණු ප‍්‍රසිද්ධ කුඹුරු ඉඩම මේ වන විට මිනුවන්ගොඩ පාර මායිමටම ගොඩ කරලා තියෙනවා. එම කුඹුරු යායෙන් පහළට වතුර බැස්ස ඇළත් වහලා. මේකලා හෝල් එක ඉදිරිපිට තිබුණු විශාල ඇළ දැන් අඩි දෙක, තුනකට සීමා කරලා ඉදිකිරීම් කරලා.

ගම්පහ මල්වත්ත පිටුපස ගල් ඇනිකට් එක ආසන්නයේ රිසිවේෂන් ඉඩමේ පෞද්ගලික ඉදිකිරීමක් කරලා, ඒ ඉදිකිරීම් ආරක්‍ෂා කරගන්න ඔයට ගල් දාලා. දැන් ගල් ඇනිකට් එක පූනිලයක් වෙලා. එතැනිං වතුර බැස්සම අඩු වුණාම නගරය පිටාර ගලනවා. යක්කල-ගම්පහ පාරේ ආනන්ද මාවත ඉදිරිපිට වෙල් යාය ගොඩ කිරීමත් එක්ක ජලය බැස ගිය ඇළත් වැහිලා ගිහින්. ඒ වගේ සියලූ ප‍්‍රධාන මාර්ග ආශ‍්‍රිත තිබුණු ජලය බැස යන පහත්බිම් ගොඩ කරලා ඉදිකිරීම් කරලා. මිනුවන්ගොඩ ගම්පහ ප‍්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ඉදිකළේ වෙල්යාය ගොඩ කරලා. වෙල ගොඩ කරන්නෙ නැතිව කණු මත පාර ඉදි කළා නම් ජල බැස්ම හොඳින් සිදු වෙනවා. මේ සියලූ අවිධිමත් ඉදිකිරීම් කරගෙන යන්න ආරක්‍ෂිත පසුබිම හදලා දුන්නේ ප‍්‍රදේශයේ හිටපු සහ දැනටත් ඉන්න දේශපාලනඥයන්. මේවට රජයේ අදාළ ආයතනත් වගකියන්න ඕනෑ. මේ රටේ සෑම නීතියක්ම ක‍්‍රියාත්මක වෙන්නෙ පොඩි මිනිහට විතරයි. මුදල්, බලය ඉදිරියේ නීතිය සුරුට්ටු වෙනවා. අසරණ ජනතාව නන්නත්තාර වෙනවා…’’ අරංගල්ල සහ නොයෙල් ඞී. පෙරේරාගේ කතාවෙන් පැහැදිලි වනුයේ් ගම්පහ ගංදියෙන් යටවීමට කොළඹ-කුරුණෑගල අධිවේගී මාර්ගයට භාණ්ඩ ප‍්‍රවාහනයට තාවකාලික මාර්ග ඉදිකිරීමට පස් පිරවීමට වඩා ගම්පහ ප‍්‍රදේශයේ පහත්බිම ගොඩකිරීම දැඩි ලෙස බලපා ඇති බවයි. එහෙත් දැන් අශ්වයා පැන ගොස් හමාරය. නැවත අශ්වයා කූඩුවට දමා ඉස්තාලය වැසීමට තරමක් අසීරුය. එහෙත් ජල බැස්ම විධිමත් ආකාරයෙන් ප‍්‍රතිස්ථාපනය නොකරන්න ගම්පහ ගංවතුරේ ගිලීම නතර කළ නොහැකිය.

‘‘මම මහණ වෙලා අවුරුදු හැටතුනක් වෙනවා. මගේ ජීවිතයට මෙවැනි ගංවතුරක් දැකලා තිබුණේ නෑ. මේක බරපතල තත්ත්වයක්. ගම්පහ, කිරිඳිවිට, අකරවිට, රත්මල්විට, ඔරුතොට ආදී ගම්මාන රැසක ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. අපිට පුළුවන් විදිහට කෑම, බීම සනීපාරක්‍ෂක පහසුකම් සම්පූර්ණ කරනවා…’’ පෙළගැසෙන කතාවට පහළගම, යටවත්ත රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පහළගම සෝමරතන හාමුදුරුවෝ ද අදහස් එකතු කළහ.

‘‘අපි මේ දවස් ටිකේම දිවා ? වෙහෙසෙමින් හතරපේරුවේ පීඩාවට පත් ජනතාවට පහසුකම් සලසනවා. මේ ගම්පහ මට හිතවත් ව්‍යාපාරිකයො වුණත් කිහිපදෙනෙයි උදව් උපකාර කරන්නෙ. මහ ලොකු ව්‍යාපාරිකයො, ජනතාව ගැන මහ ලොකුවට කතා කරන දේශපාලනඥයන්ගෙන් වචනයකින්වත් උදව් උපකාරයක් නෑ. විහාර කටයුතුවලට හැමදාම උදව් උපකාර වෙන පිරිස තමයි මේ පින්කමටත් හැකි පමණින් උපකාර වෙන්නෙ. පොඩි හාමුදුරුවෝ කෑම, බීම අරගෙන යන්නෙ ට‍්‍රැක්ටර්වල. අපිට පුළුවන් විදිහට මේ මිනිස්සුන්ට කන්න, බොන්න ටික දෙනවා. පහුගිය දවස් කිහිපයේ නාලක ගොඩහේවා බත් පැකට් බෙදලා තිබුණා. ගම්පහ නගරාධිපතිතුමා විපතට පත් මිනිස්සුන්ට උපකාර කරනවා. ප‍්‍රසන්නලා, මාන්නප්පෙරුමලා තව ඉන්න මැති ඇමැතිවරු, මන්ත‍්‍රීවරු මහා පිරිවර එක්ක ඇවිත් යනවා විතරයි. විපතට පත් මිනිස්සුන්ට බත් පැකට් එකක්වත් බෙදා දීලා නෑ. පින්කම් කරන්නත් මිනිස්සුන්ට පින් තියෙන්න ඕනෑ. පින් නැති මිනිසුන්ට පින් දෙන්න බෑ. ඒත් ගම්පහ යටවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන විවිධ මත ගැන සැලකිලිමත් වෙමින් පිළියම් යොදන්න ප‍්‍රදේශයේ දේශපාලනඥයන් කටයුතු කරන්න ඕනෑ. පහළගම සෝමරතන නායක හාමුදුරුවන්ගේ කතාව ද අගනේය.

උපන්බිමට ආදරයක් නැති කාලකණ්ණි පිරිසක් අවිධිමත් ලෙස පහත්බිම් ගොඩකරමින් ගොඩනැඟිලි ඉදිකිරීමේ විපාකයෙන් අද මහා ව්‍යසනයකට පත්ව සිටිනුයේ ගම්පහ අසරණ ජනතාවය. එහෙයින් ගම්පහ පහත් බිම් ගොඩ කිරීමට සම්බන්ධ වූ සියලූම දේශපාලූවන්, ඔවුන්ට වන්දිභට්ටකම් කරමින් ව්‍යාපාරික දොලපිදේණි පොදි ගසමින් කාලකණ්ණි සතුටක් භුක්ති විඳින රාජ්‍ය නිලධාරීන් සහ ගම්පහ පහත්බිම ගොඩ කරමින් ගොඩනැඟිලි ඉදිකර ඇති ව්‍යාපාරිකයන්, කණ්ඩායම් ගම්පහ ගංවතුරෙන් යටවීමට වගකිවයුතුය. එහෙත් මේ අවිධිමත් ඉදිකිරීම් ගැන සොයා බලා රටේ නීතිය ක‍්‍රියාත්මක කරවීමට කශේරුකාවක් සහිත දේශපාලනඥයන් සහ නිලධාරීන් මේ රටේ සිටී ද යන්න අපට ගැටලූවකි. එමෙන්ම ගංවතුර බැස ගිය පසු තම ගම්බිම් යට වී පීඩාවට පත් වූ බව මතකයෙන් අමතක කරන මිනිසුන් ජීවත් වන රටක මෙවැනි ව්‍යසන ද තවත් එක් සිද්ධියක් පමණක් බව ද කනගාටුවෙන් වුවද මතක් කර තැබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment