ගම්පෙරළියේ ජිනදාස සොයා සිංහලේ ගිය ගමන

354

සිංහල නවකථාව යථාර්ථවාදී අලුත් මඟකට යොමුකළ ගම්පෙරළිය නවකථාව බිහිවී 2022 වසරේ අපේ‍්‍රල් මාසයට අවුරුදු හැත්තෑඅටක් සපිරෙයි. එහි කියැවෙන කථාව මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ පියා ගේ පවුලේ පෞද්ගලික ජීවන තොරතුරුවලට හා කොග්ගල පරිසරයට ද සමීපවන අරුමය විවරණය කිරීම මෙම ලිපියේ අරමුණ වෙයි.

ගම්පෙරළියේ ජිනදාස සොයා ගෙන කරෝලිස් ගියේ නන්දාගේ හා මාතර හාමිනේගේ උපදෙස් අනුව ජිනදාස ගමට පිටත්කර හරිනු සඳහාය. පියල් සිංහලේ ගියේ ජිනදාස තවමත් ජීවතුන් අතර සිටින්නේ දැයි නිසැක තතු දැනගැනීම සඳහාය. දෙපාර්ශ්වයේම අරමුණ එක හා සමානය. ඒ වූකලි කුටුම්බ ජීවිතයේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමය. සිංහලේට හෙවත් බිබිල ප‍්‍රදේශයට ගිය ජිනදාසගේ අතුරුදන් වීම ගැන යටි සිතින් සතුටු වූ පියල් ඔහු පිළිබඳ තොරතුරු දැන ගැනීමට නන්දාටත් වඩා උනන්දු විය.

කරෝලිස් ජිනදාස සොයා බිබිලේට ද මීගහකිවුලටද එතැනින් ඇකිරියන්කුඹුරටද ගොස් ආරංචි මාත‍්‍රයෙන් ඔහු පිළිබඳව ලද තොරතුරු අනුව ජිනදාස බදුල්ල රෝහලේදී මියගිය බව දැනගන්නට ලැබුණේ යැයි නන්දා වෙත ලියා එවූයේය. නව යොවුන් වියේ සිටම නන්දා පැතූ පියල්ගේ බලාපොරොත්තුව ඉටුවිය. නන්දා සමඟ විවාහ පත්වී නොබෝ දිනකට පසුව ජිනදාස තවමත් ජීවත්ව සිටින්නේය යන ආරංචිය කන වැටුණු පියල් ද ඔහු සොයා ගියේය.

ජිනදාස රත්නපුරයෙන් මයිල දාහතරක් ඈත පිහිටි නියම්ගමක තේවතුර කඩයක සුළු වැටුපක් ලබමින් රැකියාවක් කරන්නේය යන හෝඩුවාව කන වැකුණ පියල් දියතලාවේ යන බව නන්දාට පවසා බිබිලේට ද ඇකිරියන්කුඹුරටද බදුල්ල රෝහලටද ගොස් සොයා බලා බදුල්ල රෝහලේදී මියගොස් ඇත්තේ නන්දාගේ පෙර සැමියා නොව අහංගම උපන් ජිනදාස නැමැත්තෙකු බවට නිසැක තොරතුරු දැනගත්තේය. ජිනදාස ජීවතුන් අතර සිටින බව දත් පියල්ගේ හැසිරීම ගම්පෙරළිය විවරණය කොට ඇත්තේ එය නන්දාට නොහැඟුණද පාඨකයාට හැඟෙන පරිද්දෙනි.

ගම්පෙරළියේ ජිනදාස සොයා සිංහලේ ගිය ගමන
ගම්පෙරළිය සිනමාට පටය රූගත කරන අවස්ථාවක ආචාර්ය ලෙස්ටර්, මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ පැමිණ…

නුඹේ සුවාමියාට අසාධ්‍යයි යනුවෙන් සඳහන්ව රත්නපුර රෝහලෙන් එවුණු විදුලිපත නන්දා අතට පත්වූයේ පියල් නිවසෙන් දුර බැහැරක ගොස් සිටියදීය. නන්දා සිය නැන්දණිය සමග රත්නපුර රෝහලට ගියේ අනතුරකට පත්ව ඇතැයි සිතූ පියල් බැලීම සඳහාය. එහෙත් එහිදී ඇය දුටුවේ බුරුසුවක කළු අශ්ව කෙඳි සිහිකරවන දළ රවුලකින් වැසූ මුහුණින් යුතු ජිනදාසගේ මළසිරුරයි. තම රියැදුරුගේ සහායද ඇතිව ස්වාමීන් වහන්සේලා හතර නමක් වැඩමවා පාංශුකූලය පිරිනමා ජිනදාසගේ අවසන් කටයුතු රත්නපුරයේදීම සිදු කළ නන්දා තම නැන්දණිය සමඟ ආපසු කොග්ගල නිවසට පැමිණියාය.

නන්දා රත්නපුරයට ගොස් ආපසු පැමිණ දෙදවසකින් පසු පියල්ද ගමට පැමිණියේය. අවුල්වුණු හිසක් ඇතිව පැමිණි පියල්ගේ සිත, ජිනදාස පිළිබඳ පුවත නන්දාගෙන් හා මවගෙන් ඇසීමෙන් සැහැල්ලු විය. (ගම්පෙරළිය 52 වන මුද්‍රණය 232 පිටුව)

ගම්පෙරළියේ ජිනදාස සොයා සිංහලේ ගිය ගමන

විසිවැනි සියවසේ මුල් භාගයේ දකුණු ලක කොග්ගල ගමේ ජීවත්වූ පවුලක සැබෑ තතු නවකථාවකින් අනාවරණය වන අපූරුව විස්මය දනවනසුලුය. ගම්පෙරළියේ සැබෑ කතා පුවත සනාථ කරන තොරතුරු රැසක් මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ බිරිය වූ පේ‍්‍රමා වික‍්‍රමසිංහ මැතිනිය ජීවත්ව සිටින කාලයේ එනම් මීට අවුරුදු විසි පහකට ඉහතදී අප සමග පැවසුවාය. ඇය කියු එක් අතීත තොරතුරක් මෙසේය:

‘‘මගේ මහත්තයගේ අක්කා කෙනෙක් බැඳපු පුරුෂයා තමයි ජිනදාස. පවුලේ අගහිඟකම් නිසා එයා වෙළෙඳාමක් කරන්න සිංහලේ යනවා යැයි කියා පිටත්වෙලා ගියා. ඒ කාලේ දකුණු පළාතේ අය වෙළඳාම් කටයුතු කරන්න ගියේ සිංහලේට. ඒ පළාත ගැන අපි කවුරුවත් දන්නේ නැහැ. එහේ ගියාට ජිනදාස ආපහු ආවෙම නෑ. තොරතුරක් දැනගන්න විධියක් නෑ. එහේ එයාට දරු පවුලකුත් ඉන්නවය කියන ආරංචියකුත් ලැබුණා.

ඊට ටික කලකට පස්සේ ටැලිග‍්‍රෑම් එකක් ආවා ජිනදාස රත්නපුර ඉස්පිරිතාලෙදී මියගිහින් කියලා. මහත්තයයි මගේ තාත්තයි කාර්එකෙන් රත්නපුර ඉස්පිරිතාලෙට ගිහින් එහේදීම ජිනදාසගේ අවසාන කටයුතු කරල ආවා. ගම්පෙරළියේ විස්තර වෙන්නේ ඒ සිද්ධිය තමයි. පේ‍්‍රමා වික‍්‍රමසිංහ මාතාව පැවසූ එම විස්තරයට අනුව ජිනදාසගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා කොග්ගල සිට රත්නපුරය බලා වික‍්‍රමසිංහ මහතා ගිය ගමන ගම්පෙරළිය නවකථාවේ නන්දාගේ මතකයට නංවා ඇත්තේ මෙසේය.

‘‘කෙළින්ම පානදුරයට ගිය මොටෝරිය එහිදී අතුරු පාරක් ඔස්සේ රත්නපුරය බලා ගමන් ගත්තේය. පානදුරෙන් නික්ම දෙපැයක් ගිය තැන මොටෝරිය ගමන් කළේ වනයක් ද රබර් වතු ද මැදින් වැටුණ මාවතකය. නදීන් හා ඇළවල් ද වැස්ස ද නිසාම නොව ඇස්වටය තෙක් කකුල් එරවන තරම් පරණලින් ගහන රුප්පා ද නිසා ඒ පෙදෙස හැම දවසෙහිම තෙතමනයෙන් යුක්ත වෙයි. ක්ෂිතිජය තෙක් පැතුරුණු මහ වනයෙන් වැසුණු කුඩා කඳු, චෛත්‍යයන්ගේ හැඩහුරුකම දැක්වෙන සේ කප්පාදු කරමින් එවන ලද මහ පඳුරු ලෙසිනි නන්දාට පෙනුණේ.
(ගම්පෙරළිය. 220 පිටුව)

පානදුර සිට හොරණ, ඉංගිරිය, ඉඩංගොඩ, කිරිඇල්ල ඔස්සේ රත්නපුරය කරා යන ගමනේ මඟ තොරතුරු නන්දාට පෙනුණ ලෙසින් කියවුණ ද ඒ සියල්ල වික‍්‍රමසිංහ මහතා දුටු සැටි වෙයි. තම සොහොයුරි ගේ සැමියාගේ මළගම ඔහුට ද වේදනා ගෙන දෙන්නට ඇත.

රැහැයියන්ගේ නාදය නියඟින් පීඩිත වනය නඟන විලාපයක් සේ මොටෝරියෙහි උන්නවුන්ට ඇසෙයි. ඒ විලාපය මැඩගෙන නැඟුණු හඬක් ඔවුන්ට ඇසුණේ කඳු දෙකක් අතරින් ගලා ඇවිත් බෝක්කුවක් යටින් ගොස් පල්ලමෙහි ග්ලගොඩක වැටෙන දිය දහරක් පසුකළ විට පමණි.
(ගම්පෙරළිය. 220 පිටුව)

ජිනදාසගේ අවසන් කටයුතු නිමකොට ආපසු කොග්ගල බලා යන ගමනේ තොරතුරුද නවකථාවෙහි ඇතුළත් කොට ඇත්තේ සංවේගය දනවන අයුරිනි.

‘‘මොටෝරියෙහි සිටියවුන් හොරණට ළඟාවෙන තෙක් ගම්මානයක් පසු කළේ කලාතුරකිනි.’’

‘‘පානදුරය පසුකොට කළුතරට ළඟාවූ නන්දාගේත් නැන්දම්මාගේත් සිත් ගත්තේ ගඟත් පාළමත් යන දෙකය. කළුතර දී දුටු ඇතැම් පැරැණි ගෙයක් හැඩහුරුකම් විසින් ද හැඩිදැඩි බිත්ති, කණු, උළුවහු, කවුළු යනාදිය විසින් ද කයිසාරුවත්තේ පරම්පරාවට හිමි ගෙයට සමානය.’’ (226,227 පිටු)

ගාල්ල, පානදුර, හොරණ හරහා රත්නපුරය බලා දිවෙන මඟ අවට පරිසරය පිළිබඳ ගම්පෙරළිය දක්වන මෙම තොරතුරු ගම්පෙරළිය ලියැවී දශක හත අටකට පසුව අද වුවද දැක්ක හැකිවීම අරුමයකි.

ගම්පෙරළියේ ජිනදාස පිළිබඳ පුවත ද වික‍්‍රමසිංහ පවුල පිළිබඳ පුවත ද සනාථ වන ඉතා වැදගත් තොරතුරක් මීට අවුරුදු පහළොවකට පෙර අපට බිබිලේ දී අසන්නට ලැබිණ. 1997 වසරේදී බිබිල වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයේ පැවති මාර්ටින් වික‍්‍රමසිංහ අනුස්මරණ සාහිත්‍ය උළෙලට අප සමඟ මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ බාල පුත් වෛද්‍ය රංග වික‍්‍රමසිංහ මහතා ද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ද සහභාගී වූහ. එහිදී සිසුන් පිරිසක් සමග එම උළෙලට පැමිණි යාබද විදුහලක විදුහල්පතිවරයෙකු රංග වික‍්‍රමසිංහ මහතා අමතා මෙසේ පැවසීය.

‘‘සර්, මම මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයාට අයිතිව තිබුණ ගල්කිස්සේ මවුන්ට් යන්ත‍්‍රාලයේ අකුරු ඇමිණූ ඩේවිඩ්ගේ පුතා. මේ පළාතට මාරුවෙලා ඇවිත් දැන් සෑහෙන කලක් ගතවෙනවා. ගම්පෙරළිය නවකථාවට මේ පැත්තත් සම්බන්ධයි. සිංහලේ වෙළෙඳාම් කරන්න ආ ජිනදාසගේ දරුවෝ දෙදෙනෙක් තවම ඇකිරියන්කුඹුර ගමේ ජීවත්වෙනවා. දැන් ඒ ගොල්ලොත් හුඟක් වයසයි.

බිබිලේ සිට කිලෝමීටර් දාහතක් දුරින් පිහිටි ඇකිරියන්කුඹුර අයත් වන්නේ බදුල්ල දිසාවටය. දැනුදු හේන් ගොවිතැන් කරන ගොවි ජනතාවක් වෙසෙන ඇකිරියන්කුඹුර, මාදෙගල, පුනාවින්න යන ජලාශත් අංකුඹුර පන්සල, ගල්ලෙන් විහාරය ආදී සිද්ධස්ථානත් මාදෙගල ඉපැරණි ඔසුවනයත් ආශ‍්‍රිත සොඳුරු ගම්මානයකි.

බටහිර නවකථා පුදන අපරට අනුකාරක විචාරයන් වරෙක ලැම්පඩුසාගේ ද ලෙපර්ඩ් නවකථාව ඇසුරින් ද තවත් වරෙක ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන නාටකය හා තවත් කෘති ඇසුරින්ද ලියන ලදැයි පැවසු ගම්පෙරළිය නවකතාවේ සැබෑ උපත කවරේදැයි ඉහත තොරතුරුවලින් හා මාර්ටින් වික‍්‍රමසිංහයන් ලියූ වෙනත් කෘතිවලින් ද මොනවට අනාවරණය වෙයි. ගම්පෙරළිය හා අනෙක් නවකථා හා කෙටිකථාවලට වස්තු වූ මගේ අත්දැකීම් යන මාතෘකාව යටතේ වරක් වික‍්‍රමසිංහ මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළ දේශනය ප‍්‍රකාශයට පත් වීමෙන් පසුව අපගේ නිර්මාණ හෙළාදකින අඳ බාල විචාරකයින්ගේ දුර්මත වැපිරීම මඳක් නතර විය.

ගම්පෙරළිය නවකථාවේ එන කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය නිර්මාණය වී ඇත්තේ එවක පොලිස් ඔපිසර (ගම්මුලාදෑනි) කෙනෙකු වූ තම පියාගේත් ආරච්චි වූ මහප්පා ගේත් චරිත ආශ‍්‍රය කොටගෙන බව තම ආත්ම චරිත කථාව වන උපන්දා සිට ග‍්‍රන්ථයෙන් හා වෙනත් ලිපිවලින් මාර්ටින් වික‍්‍රමසිංහ මහතා පෙන්වාදී තිබේ. ගම්පෙරළිය නවකතාවට පසුබිම් වූ භෞතික පරිසරය, එනම් හිරිගල් දේවාලය, පීත්ත පටියක් වැනි රේල් පාර, වික‍්‍රමසිංහයන් උපත ලද දැනුදු නිරුපද්‍රිතව පවත්නා මහගෙදර හා අවට පරිසරයේ තුරුලිය ලැහැබ්, නාමල් පූජා කරන පරගොඩ විහාරය ආදිය, එවක් පටන් සිදුවූ දශක අටක් පමණ වූ මහා සංවර්ධන පෙරළිය මධ්‍යයේ වුවද අදටත් ඉතිරිව පවතී. කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ ලියන මේසය වර්තමානයේ කොග්ගල මහගෙදර ප‍්‍රදර්ශනයට තබා ඇත. එය ගම්පෙරළියේ මෙසේ විස්තර වෙයි.

පරෙවි කූඩුවක් වැනි තට්ටුවකින්ද ගණන් පොත් හා රූල ද පෑන් පැන්සල් ද තැබීම පිණිස තුනට බෙදන ලද කාමර තුනක් වැනි තට්ටුවකින් ද යුතු පෙට්ටියක් ඒ මේසය උඩ විය. මුහන්දිරම් පෙට්ටිය ඇර පියන උස්සා එහි මුදුනෙහි හෙවු විගස දල්වන ලද වැටි දෙකක් සහිත හිටවන පහනක් සාදාගේ දෑතින් මේසය උඩට පැමිණියේය. (28 පිටුව)

මුහන්දිරම්, සාදා සහ හිටවන පහන අද ඒ සුවිසල් මේසය අසල නොමැතිවුවද පැරැණි ප්‍රෞඪ පරපුරක අභිමානය හා අවසානය ලොවට හෙළි කළ කොග්ගල මහා ප‍්‍රාඥයා භාවිත කළ පෑන්, පැන්සල්, රූල්, තීන්ත කූඩු ආදිය ඒ මේසය මත අද විරාජමානව වැජඹෙන්නේ විසිවැනි සියවසේ ලාංකේය සාහිත්‍ය කලාවේ මහා පෙරළියක් කළ තම වීරයා ගේ අභිමානය, අද යුගයේ වෙසෙන පරපුරට අනාවරණය කරන්නාක් මෙනි.

දයාපාල ජයනෙත්ති

ගම්පෙරළියේ ජිනදාස සොයා සිංහලේ ගිය ගමන
advertistmentadvertistment
advertistmentadvertistment