පවතින අධික වර්ෂාවත් සමග ගම්පොල ප‍්‍රදේශයේ නිවාස හානි, පස් කඩා වැටීම් හා නායයෑම් සමග නිවාස ජලයෙන් යටවීම් 480 ක් සිදුව ඇති බව ගම්පොල උඩපළාත, දොළුව හා ගඟ ඉහළ කෝරලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආපදා සහන ඒකක පවසයි.
නිවාස හානි හා නායයෑම්වලට හසුව 8 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි. මින් සිවුදෙනකු දොළුව කොට්ඨාසයේ වැවතැන්න හා වාරියගල නිවාස කඩා වැටීම් නිසා සිදුවීම්ය.

ප‍්‍රදේශයේ මාර්ග පද්ධති විශාල ප‍්‍රමාණයකට හානි සිදුව ඇති අතර නායයෑම් හේතුවෙන් ගම්පොල අම්බුළුවාව හරහා මාවනැල්ල මාර්ගය හා ගම්පොල, වටදෙනිය හරහා කඩුගන්නාව මාර්ගය පෙරේදා (12 දා* සවස සිට වසා දැමීමට ද පියවර ගෙන තිබිණි.
අම්බුළුවාව මාර්ගයේ නායයෑම නිසා කිලෝමීටර් 2 ක් පමණ දුරට මහා මාර්ගය පුරා මඩ හා ගල් පිරී තිබීම නිසා ප‍්‍රදේශවාසීන්ට පාගමනින්වත් තම නිවෙස් කරා යෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

ගම්පොල, කහටපිටිය, බෝතලාපිටිය, කිරින්ද ඇතුළු ප‍්‍රදේශ කිහිපයක නිවාස 80 කට අධික ප‍්‍රමාණයක් ජලයෙන් යට වූ බව ආපදා ඒකක පවසයි.
දොළුව ආයුර්වේද රෝහලේ භූමියේ කොටසක් නායයෑමෙන් ඒ අසල නිවාස හානි සිදු වී ඇති අතර එම ප‍්‍රදේශයේ පවුල් කිහිපයක් ඉවත් කර තිබේ.

ගම්පොල ගල්ගෙඩියාව වසමේ වාරි ඇළ පිටාර ගැලීමෙන් ප‍්‍රදේශයට පිවිසෙන රත්වත්ත මාර්ගය කැඞී යෑම නිසා පවුල් 150 ක් ගමට කොටු වී ඇති බව ද එම වැසියෝ සඳහන් කරති.
ඉලංගවත්ත ප‍්‍රදේශයේ පමණක් නිවාස 48 ක් ජලයෙන් යට වී තිබිණි.
මෙම ආපදා තත්ත්වය සමග පවුල් 200 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබේ.
දොළුව ප‍්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න, සහකාර ලේකම් කෞශල්‍ය ජයරත්න, ගඟ ඉහළ ප‍්‍රාදේශීය ලේකම් චමිලා වීරකෝන්, උඩපළාත ප‍්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් ආපදා සහන නිලධාරීන් මෙම ආපදා ස්ථානවලට ගොස් සහන සැලසීමට පියවර ගෙන ඇත.
ගම්පොල – සුරංග දිල්හාන්