ගම්මඩු මංගල්‍යය – උඩරට සම්ප්‍රදාය

69

නැවුම් තාක්‍ෂණික කලාපවලට පිවිසෙමින් ඇතැම් විට ඒ තුළ සිරකරුවන්ද වෙමින් සිටින නූතන ශ්‍රී ලාංකිකයාගේ සමාජ සංස්ථාව, ක්‍රම ක්‍රමයෙන් පාරම්පරික උරුමයන්ගෙන් බැහැර වෙමින් සිටින බව අවිවාදිතය.

ඒ අතරතුර එම උරුමයන් තම සංස්කෘතික කලාපයන්හි සිට රැක ගැනීමටත්, අනාගත පරපුරට උරුමකර දීමටත් ඇපකැපවී වෙහෙස වන සාම්ප්‍රදායික කලා ශිල්පීහු මතු මතුත් සමස්ත ජාතියේම ගරු බුහුමනට ලක්විය යුත්තෝය.

ඒ අයුරින් අපේ උරුමයන් රැක ගැනීමට වෙහෙසවන සාම්ප්‍රදායික නර්තන ශිල්පියකු, විහාර චිත්‍ර හා මූර්ති ශිල්පියකු හා ලේඛකයකු වශයෙන් විශ්වාභිනන්දන සහ කලාවේදී ප්‍රසාදිනී සම්මානලාභී ඊ. කේ. හේමතිලක බණ්ඩාර කලාකරුවා හඳුන්වාදිය හැකිය.

ගම්මඩු මංගල්‍යය - උඩරට සම්ප්‍රදාය

ඔහුගේ නවතම නිර්මාණ කාර්යය වශයෙන් ‘ගම්මඩු මංගල්‍යය උඩරට සම්ප්‍රදාය’ (GAMMADU MANGALLAYA – Kanndyan Tradition) නමැති ඉංග්‍රීසි – සිංහල ද්විභාෂිත ඡායාරූප සටහන් ග්‍රන්ථය හඳුන්වාදිය හැක.

“ගම්මඩු මංගල්‍යය – උඩරට සම්ප්‍රදාය” ග්‍රන්ථය ශ්‍රී ලංකා – ජාතික උරුම භාරය (Nataional Trust) විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එහි ද්විභාෂාවෙන්ම විස්තර ඉදිරිපත් කර තිබීම හේතුවෙන් අතීතයෙන් උරුමවූ මේ විශිෂ්ඨ සංස්කෘතිකාංගය පිළිබදව ජාත්‍යන්තරය පවා දැනුවත් කිරීමට නිරවi මග පෙන්වීමක් සිදුකරන බව අපගේ අදහසයි.

ඊ. කේ. හේමතිලක බණ්ඩාර ලේඛකයා මීට ඉහත දී ඉතිපුර හොලොම්බුව, සංකල්ප හා බැදුණු ජනශ්‍රැතිය, පi සාහිත්‍ය ඉතිහාසය අන්තර්ගත කොට ලියූ සලඹ අලංකාරය, ස්ත්‍රීපුර විහාර වංශය, අත්ත කියපු රසකතා (පැරණි ජන කතා එකතුව), උමග දිගේ ස්ත්‍රී පුරයට ගිය අපූරු ගමන, පුරාණ හෙලයන්ගේ විශ්මිත වෙදකම වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ කීපයක්ම සිංහල පාඨක ප්‍රජාව හමුවට

රැගෙන ආවේය. වර්තමානයේ ඔහු මාකොළ, සපුගස්කන්ද තුරු සෙවණ පෙදෙස් පිහිටි “සෙනෙහස සවිය” අධ්‍යාපන ආයතනයේ චිත්‍ර කලාව විෂය භාර ගුරුවරයා වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකා ජාතික උරුම භාරයේ සභාපති මහාචාර්ය නිමල් ද සිල්වා මෙම කෘතියට පෙරවදන සපයමින් මෙසේ පවසයි.

“පත්තිනි දේවිය පිළිබද ඇදහිලි, විශ්වාස එදා සිට අද දක්වා පවතී. මහනුවර කෑගල්ල ඇතුළු රටපුරා විහිදී ගිය පත්තිනි දේවාල බොහෝමයක් සක්‍රීයව පුද පූජා පවත්වමින් අදද පවතින අතර මෙය ජන විඥානයට ඇතු`ළත් කරන ලද්දේ ඒ වටා ගෙතුනු ආශ්චර්යමත් කතාන්දරය විසිනි.

ජනතාව තුළ පත්තිනි කතාන්දරය කෙරෙහි භක්තියක්, කුතුහලයක්, සංවේදී බවක්, විශ්වාසයක් ගොඩනඟා, විවිධ පුද පූජා ක්‍රම නිර්මාණය කොට සම්ප්‍රදායක් බිහිකොට ඇත.

විවිධ පළාත්වල මෙම ඇදහිලි ක්‍රම වෙන් වෙන් ආකාරයෙන් පවත්වන අතර උඩරට සම්ප්‍රදායේදී එය කලාත්මක මුහුණුවරකින් ජනතාවට ආශ්වාදයක් ලබාදීමේ විශේෂිත නිර්මාණයක් බවට පත්කොට ඇත. පත්තිනි දේවිය සඳහා පවත්වන ගම්මඩු මංගල්‍යය නාට්‍යානුකාරීව ඉදිරිපත් කරමින් උඩරට උරුමයේ, සම්ප්‍රදායේ විශේෂාංගයක් ලෙස තවමත් එක් පරම්පරාවක් මුල්වී පවත්වාගෙන යෑම සතුටට කරුණකි.

මෙම පොතෙන් බලාපොරොත්තු වන්නේ මෙම ගම්මඩු සම්ප්‍රදාය පිළිබද වාර්තාකරණයත්, දැනුමත්, සංස්කෘතිකමය ආස්වාදයත් පාඨකයාට ලබාදීමයි.

ශ්‍රී ලංකා උරුම භාරය මෙවැනි අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබ`ඳ සොයා බැලීම හා අධ්‍යයනයන් ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වේ. මේ සියල්ල ජාතියේ උරුමයන්ය. ඒවා රැක ගැනීම අද පරම්පරාවේ යුතුකමක් වන්නේය.”

හේමතිලක බණ්ඩාර ලේඛකයා “උඩරට ගම්මඩු මංගල්‍යය” පිළිබඳව මෙසේ පවසයි.

‘නාට්‍යමය අවස්ථා බොහෝ සේ දැකිය හැකි උඩරටට ආවේණික ගති ලක්‍ෂණවලින් යුතු පැරණි ශාන්තිකර්මයක් ලෙස උඩරට ගම්මඩු මංගල්‍යය නම් කළ හැකියි. මෙහි මූලික අරමුණ කෘෂිකර්මය මුල්කරගත් ගොවිතැන්, අස්වනු ආරක්‍ෂා කර ගැනීම, වසංගත රෝග සමනය කරගෙන ජනතාවට සෙත් ශාන්තිය උදාකර දීමයි.

නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් සහ ගම්බාර, සූනියන්, අලුත්නුවර, දේවතා බණ්ඩාර හා වීරමුණ්ඩ දෙවිවරුන් මෙහිදී පුද ලබනවා. එහිදී දෙවියන් වෙනුවෙන් පූජා කර්ම (තේවා) 18 ක් සිදුකෙරෙනවා.

එහි ආකෘතිය දෙස බැලීමේදී තේවා දහඅටට අමතරව දේව පූජා, ආශිර්වාදයන්, භාරහාර ඔප්පු කිරීම් ඉවත් කළ පසු ඉතිරි වන්නේ පත්තිනි දේවතාවිය අවසන් ජන්මයේ උපත ලැබීම හා තෙද බලපෑම යන නාට්‍යමය අංගයනුයි.

උඩරට ගම්මඩුවේ විශේෂත්වය වන්නේ දිවයිනේ අනෙකුත් ගම්මඩු තුළ දක්නට නොමැති අයුරින් පත්තිනි කතාව නාට්‍යමය අංගයන් දෙබස් සහිතව ඉදිරිපත් කිරීමයි.

කෝට්ටේ යුගයේ විසූ වීදාගම මහා මෛත්‍රීය හිමියන් ඇතුළු ශිෂ්‍ය පිරිස විසින් පiයෙන් ලියන ලද මීට අදාළ කතා ප්‍රවෘත්ති හඳුන්වනු ලබන්නේ “පන්තිස් කෝල්මුර” යන නාමයෙනුයි. එම කාව්‍යාවලිය තුළින් කතා 35 ක් ගෙන එනවා. ගම්මඩු මංගල්‍යයේදී මෙම කතා කීපයක්ම නාට්‍යානුසාරයෙන් දැකගත හැකියි. ගමක සාදන මඩුවක සිදුකෙරෙන උත්සවයක් බැවින් ‘ගම්මඩුව’ කියා අදහස් වුවත් එයට වඩා ගැඹුරු යථාර්ථයක් අර්ථ ගන්වමින් එහි කෙරෙන සුබ කටයුතු නිසාම හතර කෝරලේබද උඩරට ගම්මඩුවට ‘ගම්මඩු මංගල්‍යය’ යැයි ප්‍රකාශ කෙරෙනවා.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment