කුඩා ජල විදුලි බලාගාරයක් තනන්ට යෑම නිසා ගම් දෙකක් විරසක වුණු, සංඝ භේදයක් ඇති වුණු, ආකර්ශනීය පරිසරයට ද හානියක් සිදුවන්නට යන ප්‍රදේශයක් සොයාගෙන පසුගියදා අපි කොත්මලේට නුදුරු පූඬළුඔයට ගියෙමු. කොත්මලේ ජලාශයට දියවර රැගෙන එන පූඬළුඔයේ ඉතා අලංකාරම දිය ඇලි පිහිටන ස්ථානයක සාදන්නට කටයුතු කෙරෙන මෙම කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය “කුඹල්ඔළුව- පූඬළුඔය කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය” ලෙස හඳුන්වනු ලබන්නේ එය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඹල්ඔළුව-කඩදොරපිටිය ග්‍රාමයේ ස්ථාපිත කෙරෙන බැවින් නමුත් ඊට අපි අපගේ පහසුවතකා “කරන්නාගොඩ කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය” යැයි කියන්නට කැමැතිය. මන්ද, මෙම බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාවට නඟන Rivinmo Hydro (Pvt) Ltd සමාගමේ සභාපතිවරයා ලෙස බොහෝ ලිපිගනුදෙනු සඳහා අත්සන් තබනු ලබන්නේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නමින් නිසාය.
මෙසේ පූඬළුඔයේ බෑවුම් සහිත ස්ථානයක කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් “පත්තු වන්නේ” ප්‍රදේශයේ ජනතාව කියන පරිදි 2016 දී පමණය. සැබෑය, නමුත් ඊට අදාළ ශක්‍යතා වාර්තා, පරිසර ඇගයීමේ වාර්තා, කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි යනාදිය ගන්නට විවිධ ආයතන ඇමැතීමේ දී ඊට අවස්ථා කිහිපයකදී විරෝධතා පැමිණීම මත අවස්ථා දෙකක දී යෝජිත බලාගාර ස්ථානය වෙනස් කරන ලද බව වාර්තාවේ. එනම් එක අවස්ථාවකදී මෙම බලාගාරය යෝජනා වන්නේ පූඬළුඔය-නාවලපිටිය මාර්ගයෙන් පහළටය. නමුත්, තුන්වන වර සහ මෙවර එය යෝජනාවී ස්ථිර වී ඇත්තේ එම මාර්ගයෙන් ඉහළට සහ ප්‍රකට දිය ඇලි දෙකක් ඇතුළු තවත් කුඩා දිය ඇලි 8ක් පවතින පූඬළුඔයේ අලංකාර ප්‍රදේශයකට නොහොත් සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගත් ස්ථානයකට ඉහළිනි. මේ නිසා ම මෙම ස්ථාන සඳහා ප්‍රවේශය ඇති වැවහේන ගම්මානයේ ජනයා සහ ඊට ආසන්න විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු ජනයාගේ නොසතුටට මෙම බලාගාර ව්‍යාපෘතිය හේතුවී ඇත. ඔවුන් පවසන්නේ මේ නිසා ස්වාභාවික පරිසරය, පූඬළුඔයේ ජෛව විවිධත්වයට මින් හානියක් සිදුවන බව හා නියං සමයේදී පවා ජලය නොසිදෙන පූඬළුඔයේ අදාළ ප්‍රදේශය ගම්මුන් සහ සංචාරකයන්ගේ නාන තොටුපළක් ලෙස භාවිතයට ගන්නා බැවින් මේ සියල්ලට ම බලාගාරය තර්ජනයක් වනු ඇති බවයි.
මෙම බලාගාරය තැනීමෙන් ලබන ආර්ථික ලාභයට වඩා වැඩි ලාභයක් මෙහි දිය ඇලි නැරඹීම ඇතුළු සංචාරක කර්මාන්තයෙන් ලබාගතහැකි බව විහාරාධිපති කොත්මලේ සුමේධානන්ද හිමියෝ පවසති. ඇතිව තිබෙන තත්ත්වය මත “පූඬළුඔය සුරැකීමේ සංවිධානය” නමින් සංවිධානයක් ද බිහිව ඇති අතර, මේ වනවිට එම සංවිධානය විසින් මෙම “කරන්නාගොඩ කුඩා ජල විදුලි බලාගාරය නොහොත් කුඹල්ඔළුව- පූඬළුඔය කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය”ට එරෙහිව අවස්ථා කිහිපයකදී තම විරෝධතාව ප්‍රකාශ කර, අදාළ අංශ ලිඛිතව දැනුවත් කර ඇත. “පරිසර යුක්ති කේන්ද්‍රය – Centre for Environment Justice- CEJ˜” සමග අප ගිය නිරීක්ෂණ චාරිකාවේදී මෙම විරෝධතාකරුවන් හමුවන්නට අපට අවස්ථාව හිමිවූ අතර, කොත්මලේ සුමේධානන්ද හිමි සභාපති තනතුර දරන “පූඬළුඔය සුරැකීමේ සංවිධානයේ” කැඳවුම්කරු ඇතුළු නිලධාරීන්ගේ සහ සාමාජික අදහස් ලබාගන්නට ද අපට අවස්ථාව ලැබිණි. ඒ යෝජිත බලාගාර පරිශ්‍ර භූමිය සහ “වැවහේන ඇල්ල” සහ “එගොඩවෙල ඇල්ල” යන සුන්දර දිය ඇලි ද දැක බලාගනිමිනි. අප එහි ගිය දිනය වැහිබර දිනයක් වූ බැවින් මෙම දිය ඇලි පමණක් නොව, පූඬළුඔය ද වැඩි දිය කදම්බයක් රැගෙන එන අයුරු අප දුටුවේ පූඬළුඔය, වැවහෙන පාලම අසල සිටමය. එසේම දිය ඇලි අටක් අනතුරට පත්කරනවා යැයි කියන මෙම ජල බලාගාරය පිළිබඳව මෙම පාලම අසල ගසක් මත දැවැන්ත පුවරුවක් සවිකර එමගින් විරෝධතාකරුවන් කියා සිටින්නේ “මුදලට-නිලයට-බලයට වැනසෙන සුන්දර දිය ඇලි 8 සහ ස්වාභාවික පොකුණු රැසකින් සමන්විත පූඬළුඔය සුරකිමු” යනුවෙනි. එහි අදාළ දිය ඇලි 8 ම ඡායාරූප මගින් ප්‍රදර්ශනය කර ඇත.
කෙසේ හෝ ප්‍රශ්නයනම්, ඒ වනවිටත් තවත් දෙතුන් දෙනකු වැවහේන පාලම මත යතුරු පැදිවලින් පැමිණ අප ගැන විමසිලිමත්ව සිටිනු දක්නා ලැබිණිය. අප තරමක් තැති ගන්වනු ලැබූ මෙම සිදුවීම පිළිබඳව වැවහේන ගම්මානයේ උදවිය අපට කීවේ මෙසේ පැමිණ සිටින අයවලුන් මුදලට ගැතිව මේ විනාශකාරී ව්‍යාපෘතියට කඩේ යන ඉහළ ගම්මානයක් වන කඩදොරපිටිය ගමේ පිරිසක් බවයි. ව්‍යාපෘතියට ඉඩම් ලබාදෙන්නේ මෙම ගම්මානයේ පිරිසකි. අදාළ විරෝධතාකරුවන්ගේ තොරතුරු, ඡායාරූප ලබාගත් අප ව්‍යාපෘතියට අදාළ තවත් ලිපි ලේඛන ලබාගැනීමෙන් අනතුරුව පිටත්ව යන අතර තුර අපගේ වාහනය හඹා ආ ඉහත කී යතුරු පැදිකරුවන්දෙදෙනකු අපගේ වාහනය නවතා තමන්ගේ පැත්තෙන් අදහස් දැක්වීමට ද අවස්ථාව ලබාදෙන ලෙස අපට පැවසීය. අපගේ එකඟතාව පරිදි, අදාළ කුඩා ජල විදුලි බලාගාර සමාගමේ කොළඹ කාර්යාලයේ අයකු සම්බන්ධීකරණ කරමින් අදහස් දැක්වූ “පණිවිඩකරුවන් දෙදෙනා” පැවසුවේ මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයට සෙතක් සැලසෙනවා මිස කිසිදු අවැඩක් සිදුනොවන බවයි.
රැකියා අවස්ථා සහ තවත් වාසි රැසක් අත්වෙන බවද, ව්‍යාපෘතියට අදාළ ඉඩම් පිහිටි ස්ථානයට යාබද කඩදොරපිටිය විහාරස්ථානයේ හිමි ඇතුළු තම ගම්මානයේ බහුතරය මෙම ව්‍යාපෘතිය කෙරෙනවාට කැමති බවද ඔවුහු පැවසූහ.
“ඉඩම් ලබාදෙන්නේ අපිනම් වෙන කාටවත් විරුද්ධ වෙන්න ඕන නැහැ. අනික පහළ ගමේ අයට මේකේ බලපෑමක් නෑ. අපි මේ ළඟදිත් කොළඹ ගිහින් කරන්නාගොඩ මහත්තයා ඇතුළු බලාගාර නිලධාරීන් හමුවුණා. ඊට අපේ පන්සලේ විහාරාධිපති හාමුදුරුවොත් සහභාගී වුණා. අපේ විරෝධයක් මේකට නෑ. අනික මම තව කුඩා ජල බලාගාරයක සේවය කරන නිසා මම මේවා ගැන හොඳට දන්නවා. අපට මේ ගැන අත්දැකීම් තියෙනවා. ඔය කියන විනාශයක් පූඬළුඔයට හෝ දිය ඇලිවලට ඇතිවන්නේ නැහැ. එයාල ඔය දිය ඇලි කිව්වට ඕවට අපි නම් දිය ඇලි කියල කියන්නෙත් නෑ. ඒවා නිකං වතුර වැක්කෙරෙන පොඩි පොඩි අගල්. දිය ඇලි දෙකක් තියනවා ඇත්ත.” බවද සරත් විජේකෝන් නමැති පුද්ගලයකු අපහා සමග පැවසීය. ඔහු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සක්‍රීය දායකත්වය සපයන පුද්ගලයෙකි. කොටින්ම කාලයක් තිස්සේ වැවහේන පාලම සිට දිය ඇලි 8ක් නැරඹීමට භාවිත කළ ඔය ඉවුර දිගේ ඇති කැලෑ අඩි පාර වසා දමා අද (සංචාරක ව්‍යාපාරය) අවහිර කර ඇත්තේ ද ඔහුම බව ඔහුම පවසයි. ඔහු කියන්නේ ඒවා පෞද්ගලික ඉඩම් බව හා එම ඉඩම් බලාගන්නේ තමන් බවය.
මේ අනුව මෙම “කරන්නාගොඩ විදුලි බල ව්‍යාපෘතිය” නිසා කඩදොරපිටිය සහ වැවහේන ගම් උඩුපිල සහ යටිපිල ලෙස බෙදී සිටින්නේද…? දෙපසම විහාරාධිපතීන්ලා වහන්සේලා දෙපසට බෙදී ඇත්ද යන්න අපට දැන් ඇති ප්‍රශ්නයයි. සාමාන්‍යයෙන් කුඩා ජල විදුලි බලාගාර නිසා ඇතිව තිබෙන පාරිසරික සහ සමාජයීය ප්‍රශ්න දැන් අපි හොඳින් අත්විඳිමින් සිටින්නෙමු. හුදෙක් රටේ විදුලි අර්බුදයට විසඳුමක් සඳහා නොව, හිතවතුන් පාක්ෂිකයන් සතුටු කරන්නට සහ ඔවුන්ට හැදෙන්නට අවස්ථාවක් ලබාදෙන මෙම කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නිසා ඉවක් බවක් නැතිව වනාන්තර සහ භූමිය විනාශය, ඔය සහ දියපාරවල් හරස් කර වතුර ලබාගෙන විදුලි බලාගාරය දක්වා වතුර ගෙන යන්නේ නළ මාර්ගයෙන් බැවින් ස්වාභාවික දිය දහරාවේ යම් කොටසක් සිඳී යෑම උග්‍ර පාරිසරික ඛේදවාචකයකි. මෙම තත්ත්වය මත අදාළ දිය පාර භාවිත කරන්නන්ට ජලය නොලැබීමය. දිය ඇලි පිහිටන කලාපයක් නම්, එම දිය ඇලිවලට ජලය නොලැබීමෙන් ඒවායේ සක්‍රියතාව බිඳවැටේ. එහි ප්‍රතිඵලයනම් සංචාරක ආකර්ෂණය නොලැබීමයි. එය වෙනම සමාජයීය, පාරිසරික අර්බුදයකි. නමුත් විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන්නාට සෑම ජල බිඳුවක්ම සල්ලි මවන උල්පතකි. ටර්බයින් යන්ත්‍රයට වතුර ඇදවැටෙන ආකාරයට ම ඔහුට හෝ ඇයට, සමාගමට මුදල් ගලා එයි. කොටින්ම පූඬළුඔයෙන් ඔවුන්ට ගලනු ඇත්තේ මුදල්ය. ඒනිසා කුඩා ජල විදුලි බලාගාර සහ පාරිසරික වටිනාකම් අතර ගැටුමක් ඇත. යටිපිල නොහොත් වැවහේන ගම්මාන වැසියන් කියන්නේ ඒ ගැනය.
කෙසේ හෝ විරෝධතා තිබියදීත් යෝජිත බලාගාර කළමනාකාරීත්වය තම බලාගාර අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමට මේ දිනවල වෙහෙස දරති. ඒ එක පැත්තකින් පුද්ගලයන්, කණ්ඩායම්, ගමක්-දෙකක්, පන්සලක් හාමුදුරුවන්වහන්සේ නමක් දිනාගැනීමෙනි. ඒ සඳහා ඔවුහු අපේක්ෂා කරන්නේ කුමන ලාභ ප්‍රයෝජනය ද අප දන්නේ නැත. ඒ සඳහා කළමනාකාරිත්වය ඔවුන්ට හිලවු කරනු ඇත්තේ කුමක්ද යන්නත් අපට පැහැදිලි නැත. කෙසේ හෝ උඩුපිල නොහොත් විදුලි බලාගාරයට පක්ෂව කටයුතු කරන පෙරකී පුද්ගලයන් දෙදෙනා කියා සිටියේ සමහර නිලධාරීන් මෙම ව්‍යපෘතියට විරුද්ධව කටයුතු කරන්නෙත්, අදාළ අවසරය නොදෙන්නෙත් ඔවුන් ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලා සිටි නමුත් අල්ලස් නොදීම නිසා බවයි.“නිලධාරීන් අල්ලස් ඉල්ලනවා. අපේ සර් අල්ලස් දෙන්න කැමැති නෑ. ඕනනම් ගමේ අයට ගෙයක්-දෙකක් හදල දෙන්න සර් කැමැතියි. ඒකට අකමැති නිසා තමයි සමහරු මේ විරෝධතාවට සහාය දෙන්නේ සහ අපේ බලාගාර වැඩේට අවසර නොදෙන්නේ” යැයි ඔවුහු කියති. ඔවුන් කියන්නේ මෙම බලාගාරය නිසා ප්‍රදේශයට දියුණුවක් මිස අවැඩක් නොවන බවත්, දිය ඇලි නොසිඳෙන බව හා පූඬළුඔයේ ජලය ගලායෑමට මේ මගින් හානියක් නොවන බවය. කෙසේ හෝ කුඩා ජල විදුලි බලාගාර නිසා ඇතිව තිබෙන හානිදායක තත්ත්වයන් අප දැනටමත් ඉතා හොඳින් දන්නා බැවින් ජල බලාගාර ගැන අපට හෝ රටේ ජනතාවට අමුතුවෙන් කියාදෙන්නට උවමනාවක් නැත.
මේ මගින් ප්‍රදේශයේ දියුණුවක් ඇතිවී යම් පිරිසකට රැකියා අවස්ථා ද තවත් පිරිසකට වක්‍ර ආදායම් මාර්ග ද ලැබෙන බවත් ඇත්තකි. මීට පක්ෂ විහාරාධිපති උන්නන්සේලාට සහ අපට මෙහිදී අදහස් දක්වුවන්ට ද බලාගාර බලධාරීන් නොහොත් ඔවුන්ගේ “සර්”ලා සලකනු ඇති. නමුත් පරිසර පද්ධතියට හා පූඬළුඔයට සිදුවන යම් හානියක් වේනම් ඒවා යළි හරවන්නට නොහැකිය. මීට අදාළව හුවමාරු වී ඇති ලිපි පිළිබඳව සලකා බැලීමේදී දැනටමත් මේ සඳහා කොන්දේසිවලට යටත්ව බොහෝ රාජ්‍ය ආයතන විසින් අවසර ලබාදී ඇති බව පැහැදිලිය. කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා ඊට තම අවසරය දී ඇත්ද යන්න පැහැදිලි නැත. නමුත් අපට කියන්නට ඇත්තේ මෙතැන නොවිසඳුණු ප්‍රශ්නයක් ඇති බවය. එනම් බලාගාරය ගැන සතුටු නැති පිරිසක් සිටින බව හා ඔවුන් මෙම ව්‍යාපෘතිය දැනට යෝජිත ස්ථානයට අකමැති බවය. එනම්, “පූඬළුඔය සුරැකීමේ සංවිධානය” කියන්නේ තමන් කුඩා ජල විදුලි බලාගාරවලට අකමැති නොමැති නමුත්, කරුණාකර මේ හදන බලාගාරයෙන් තම ගම්මාන ප්‍රදේශයට පාරිසරික වශයෙන් හානි නොකර පූඬළුඔයේම වෙනත් තැනකට රැගෙන යනවාට තමන් අකැමති නොවන බවයි. කොත්මලේ සුමේධානන්ද හිමියන්ට අමතරව මෙහිදී අදහස් දැක්වූ සංගමයේ කැඳවුම්කරු ඉන්දික රාජපක්ෂ සහ ධම්මික නුවන් යන අය ඒ බව ඉතා පැහැදිලිව කියා සිටියහ. දැනටමත් තමන් මීට විරුද්ධව කතාකරන බැවින් තමන් තර්ජනයට ලක්ව ඇති බවද අධිකරණ කටයුතු මගින් තමන්ගේ කට වහන්නට බලාගාර හිමිකරුවන් සහ ඔය කියන ඇතැමුන් කටයුතු කරමින් සිටින බවද ඔවුහු පැවසූහ.
“අප ඉල්ලා සිටින්නේ අදාළ පරිසර ඇගයීමේ වාර්තා, ශක්‍යතා වාර්තා සකස් කරන අය සහ මධ්‍යම පරිසර අධිකාරිය, කොත්මලේ ප්‍රාදේශීය ලේකම්, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇවිත් අපිත් එක්ක ම මේ ස්ථානයට ගිහින් බලල කියන්න මේ ව්‍යාපෘතිය ප්‍රදේශයට හොඳ ද, නරක ද කියල. පරිසරයට, සංචාරක ව්‍යාපාරයට ගැළපෙනව ද නැද්ද කියලා. නමුත් කවුරුවත් එන්නේ නෑ. අපට හොරෙන් තමයි ඔක්කොම කරන්නේ” යැයි ද “පූඬළුඔය සුරැකීමේ සංවිධානය” කියයි.
බලාගාරය අයත් සමාගමේ සභාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ අත්සනින් හුවමාරු වූ මීට අදාළ ලිපිලේඛණ ද මෙහිදී “පරිසර යුක්ති කේන්ද්‍රය – Centre for Environment Justice- CEJ˜, අපගේ මෙම නිරීක්ෂණ චාරිකාවට පහසුකම් සැලසූ DIAKONIA ආයතනය” ඇතුළු අප මාධ්‍යවේදීන්ගේ අවධානයට යොමුවුණු අතර ඔහු විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින “නෝ ඔබ්ජෙක්ෂන්” ලිපිය ද ඒ අතර වන නමුත් බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් මිලදී ගැනීම තීන්දු වී ඇතත් මීට එරෙහිව “ඔබ්ජෙක්ෂන්” නොහොත් බරපතළ ‘එරෙහිවීමක්’ ඇති නිසා වඩා හොඳින් මේ ගැන තීරණයක් ගන්නා ලෙස මීට අදාළ බලධාරීන්ට අප යෝජනා කරන්නට කැමැතිය. ඒනිසා අප හඳුන්වන පූඬළුඔය කරන්නාගොඩ කුඩා ජල විදුලි බලාගාරය නොහොත් “කුඹල්ඔළුව – පූඬළුඔය කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය” නැවත අධ්‍යයනය කරන්නට හා සලකා බලන්නට සිදුවන තැනක ඇති බව අප නිරීක්ෂණය කළ කාරණාය.
ජගත් කණහැරආරච්චි